ඉන්දිය සරණාගතයින්ට “ප්‍රභා ” සැමරුම තහනම්

0

එල් .ටී .ටී. ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිහිපත් කරමින් ලබන 18 සහ 19 එල් .ටී. ටී .ඊ. සැමරුම් උත්සව වලට සහභාගී නොවන්නැයි තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයිනට එරට ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇතැයි “ද හින්දු ”පුවත්පත ඊයේ (15) වාර්තා කලා.

ඉන්දීය වෙරල ආරක්ෂක බලකාය මඟින් ඒ සඳහා තමිල්නාඩුවේ විල්ලුපුරම්හි ශ්‍රී ලාංකා සරණාගතයන් රැදී සිටින කඳවුරක පෙරේදා (14) දිනයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වා තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

එම වැඩමුළුවට සහභාගී වූ ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ප්‍රධාන ආර් සේකර් ද හින්දු පුවත් පතට පවසා ඇත්තේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් ලබන 18 සහ 19 දිනවල සංවිධානය නොකරන්නැයි ලාංකික සරණාගතයන්ට දැනුම් දුන් බවයි.

එවැනි අනුස්මරනවලට සහභාගීවීමෙන් දෙමළ ජනතාව අතර සුහදත්වය බිදවැටීමට හේතුවිය හැකි බව ද පෙන්වා දේ. කඳවුරු වල වෙසෙන ජනතාව අතර අසමගිය ඇතිවන ආකාරයේ කිසිවක් නොකරන බව ද එම සරණාගතයන් ප්‍රකාශ කළ බව ඉන්දීය වෙරළ ආරක්‍ෂක නිලධාරියා ද හින්දු පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම තමා රැදී සිටින කඳවුරට නාදුනන කවරෙකු හෝ පැමිණියහොත් පොලිසියට මෙන්ම වෙරළ ආරක්ෂක නිලධාරීන්ට කඩිනමින් දැනුම් දෙන ලෙසට ඉන්දීය වෙරළ ආරක්ෂක බලධාරීන් එම සරණාගත ප්‍රජාවට දැනුම්දී ඇතැයි ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.මේ අතර පසුගිය දිනවලදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සදහන් කලේ මෙම පුද්ගලයා හමුදාව විසින් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම හමුදාවට චෝදනා කල බවයි.