උසස්‌ අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුව නොමඟ යවලා

0

වසර හතරක කාල සීමාවකින් සිය උපාධි පාඨමාලාව සම්පූර්ණකර ගැනීමට සම සෞඛ්‍ය උපාධි අපේක්‌ෂකයන්ට අවස්‌ථාව ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (03) ජනාධිපතිවරයා ඉදිරියේ එකඟතාව පළ කළ බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3 දා) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද මෙම එකඟතාවට පැමිණි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ ස්‌ථාවර නියෝග 23/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාගේ  මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවේදී සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නිපුණතා ඒකක 120 (ක්‍රෙඩිට්‌ 120) වසර තුනක්‌, වසර තුනහමාරක්‌ හෝ වසර හතරක්‌ ඇතුළත කැමැති ආකාරයට ලබා ගැනීමට සිසුනට අවකාශය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වු බවයි අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රශ්නය විසදු බවට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සම සෞඛ්‍ය සිසුන් පිරිසක්‌ හමුවු අවස්ථාවේ කියා සිටියා.

සම සෞඛ්‍ය සිසුන්ගේ ගැටලුව පිළිබඳ එම ශිෂ්‍ය නියෝජිතයන්ගේ සහභාගිත්වයක්‌ නොමැතිව වෙනත් පාර්ශ්ව සමගින් තීන්දු තීරණ ගැනීම ඵලදායි නොවන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත්තේ.

සම සෞඛ්‍ය ගැටලුව ගැන ආණ්‌ඩුව මේ දක්‌වා අවධානය යොමු කළේ නෑ. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකිනෙකට බෝලය පාස්‌ කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ආණ්‌ඩුව නොවේ. ඒ අය වෘත්තිය සමිතියක්‌. වෘත්තිය සමිතියක්‌ උත්සාහ කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්නයි. ළමයින් දින 164 ක්‌ උපවාස, සත්‍යග්‍රහ කළා. ආණ්‌ඩුව ඉවත බලා සිටියා. අද ප්‍රශ්නය ඉතාම හොඳ තැනකට ඇවිත්. ජනාධිපතිවරයා මැදිහත්වී තිබෙනවා. ඒ කියන්නේ ආණ්‌ඩුවේ මැදිහත්වීම. එජාපය මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බව දැනගෙන ආණ්‌ඩුව බය වුණා. ඒ නිසා උදේ පාන්දරම ජනාධිපති මැදිහත්වී සාකච්ඡා කර තිබෙනවා. ඒත් ගැටලුවට මුහුණ දී සිටින ශිෂ්‍යයින් සාකච්ඡාවට කැඳවා නෑ. ප්‍රශ්නය තියෙන්නේ වෙන තැනක. සාකච්ඡා කරන්නේ තව පිරිසක්‌. එහෙම කොහොමද ගැටලු විසඳන්නේ .

උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ගැටලුවට විසඳුම් දුන් බව. ඒත් ක්‍රෙඩිට්‌ 120 ක්‌ වසර තුනකදී ගන්න බැරි බවයි මේ සිසුන් කියන්නේ. මේ අයට අවශ්‍ය වසර හතරක උපාධියක්‌. මේ සිසුන්වත් සහභාගි කරගෙන ගැටලුව විසඳන ලෙස අපි ආණ්‌ඩුවට කියනවා.