කල් අෆාර් නගරය අයි .එස්.අයි.එල් ත්‍රස්තවාදීන් අතට

0

ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි . එස් .අයි .එල් ත්‍රස්තවාදීහු ඊයේ (17) එරට තවත් නගරයක් අත්පත් කර ගෙන තිබේ.

ත්‍රස්තයන් විසින් අත්පත් කර ගනු ලැබුවේ , උතුරු දිග ඉරාකයේ සිරියානු දේශසීමාව අසල පිහිටි කල් අෆාර් නැමති නගරයයි.ත්‍රස්තයන් මේ වන විටත් උතුරු දිග ඉරාකයේ නගර රැසක් අත්පත් කර ගෙන සිටින අතර බෑග්ඩැඩි අගනුවර අල්ලා ගැනීමට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

ඉරාක හමුදාව සහ හමුදාව සමඟ ස්වේච්ඡාවෙන් එක් වී සිටින තරුණයන් ද මේ වන විට ත්‍රස්තයන්ට එරෙහිව සටනක එක් වී සිටින බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි .ත්‍රස්තවාදීන් කල් අෆාර් නගරය අල්ලා ගත්තේ ඉරාක ගුවන් හමුදාව ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (16) ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟය .

ඉරාක රජය කියා සිටියේ එම ප්‍රහාරයෙන් ත්‍රස්තයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව ය .මේ වනවිට ඉරාක රජය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉරාන හමුදා ප්‍රධානින් කණ්ඩායමක් ද බෑග්ඩැඩි අගනුවරට පැමිණ සිටින බව පැවසෙයි .

ඇමෙරිකා හමුදා ප්‍රධානීන් ද ඉරාක රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය . අවශ්‍ය වුවහොත් සතුරු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද තමන් ද සහය දෙන බව ඇමෙරිකාව පවසා තිබේ.