මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ 03කට සෙත සැලසේ

0

දිවයින පුරා ගමත් නගරයත් යාකරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් රට පුරා ක්‍රියාත්මක කරන ග්‍රාමීය පාලම් 210 ප්‍රථම අදියට යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකරන පාලම් 11න් පාලම් ගණනාවක කටයුතු මේවන විටත් නිමාවට පත්වෙමින් තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 03කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08ක ඉදිවන මෙම ග්‍රාමීය පාලම් 11මගින් දිස්ත්‍රික්කයේ ලක්ෂ 03කට ආසන්න ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කරමින් සෙත සැලසෙන බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ පද්මනාදන් ප්‍රකාශ කළේය. ග්‍රාම සේවා වසම් 319කට අයත් පවුල් 131,764කින් සමන්විත මොණරාගල දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 494,160කි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන සංඛ්‍යාව 1,440ක් වන අතර දිස්ත්‍රික්කයේ සිටින දිවි නැගුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 46,699කි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මග නැගුමෙන් ගම නැගුමට වැඩසටහන මගින් ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර කරමින් ගමත් නගරයත් එක්කරමින් රට පුරා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්ක 14ක මෙම ග්‍රාමීය පාලම් වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම පාලම් ආරුක්කුවලින් තොරව යකඩින් ඉදිකර ඇත්තේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අන්දමිනි. මෙහි ප්‍රථම අදියර යටතේ ඉදිවන පාඩම් 210ට අමතරව දෙවන අදියර යටතේද ලබන වසර තුළදී පාලම් 1000ක් ඉදිකරනු ඇත.

ශ්‍රී ලංකාව ජනගහණයෙන් සියයට 75ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් එම ජනතාවගේ ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනගන මෙම ග්‍රාමීය පාලම් මගින් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන යෑමට බෙහෙවින් ඉවහල් වන ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉකුත්දා පැවසීය. මග නැගුම වැඩසටහනින් පාරවල් වැඩිදියුණු කිරීමෙන් පසු ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණුවී ඵලදායිතාවය ඉහළ තත්ත්වයකට පිවිසුනු බවද ග්‍රාමීය පාලම් ඉදිකිරීමෙන් වැවිලි සහ කෘෂි ආර්ථිකය දියුණුවී රටට විශාල ආර්ථික ප්‍රතිලාභයක් අත්කරමින් විශාල සංවර්ධනයක් සිදුවන බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකරන ග්‍රාමීය පාලම් 11න් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල් ගල් තැබූ පාලම් ගණනාවක වැඩ කටයුතු සියල්ලේම වැඩ දැනටමත් නිමාවී තිබේ. වැඩ නිමකර ඇති පාලම් අතර වැල්ලවායේ බලහරාව- කුඩාඔය, රන්දෙනිය හිගුරුකඩුව, පිටදෙනිය සහ පිටියවත්ත පාලම වේ. සෙසු සියළු පාලම්වල ඉදිකිරීම් ලබන සැප්තැම්බර් මස වන විට සම්පූර්ණයෙන්ම නිම කිරිමට කටයුතු යොදවා ඇතැයි ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු විතාන සෙනවිරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම පාලම් 11 ඉදිකිරීම් මගින් දහස් සංඛ්‍යාතික පාසැල් සිසුන්ටද, කෘෂි නිෂ්පාදකයින් ඇතුළු භෝග ගොවීන්ටද, කුඩා තේවතු හිමියන්ටද සෘජු ආර්ථික ප්‍රතිලාභ හිමිවනු ඇත.

02. Happy Villages at Monaragala Districts 03. Rural Bridge Construction at Monaragala District Balaharuwa-Kudaoya 4.. Rural Bridge Construction at Pitadeniya 05. Rural Bridge Construction at  Monaragala District Randeniya Higurukaduwa 07. Minister Rajapaksa inspect Rural old bridge at Monaragala District