මුල් ගල් පැලවෙන යුගයට තිත

0

රට තුළ වේගවත් සංවර්ධනයක් සිදුවන විට එහි ජිවත්වන්නේ අධ්‍යාත්මික සංවර්ධනයක් නොමැති පිරිසක් නම් භෞතික සංවර්ධනයෙන් සිදුවන ළුලදායිතාවයක් නොමැති බව නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි පවසයි . නියෝජ්‍ය කතානායකවරයා මෙම අදහස් පළකළේ ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ පැවති මහින්දෝදය තාක්ෂණික පීඨයට මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය කතා නායකවරයා ,

රජය භෞතික සංවර්ධනය වේගවත්ව සිදු කර ගෙන යනවා. අද සෑම තැනකම දිනපතා විවෘත කිරීම් මුල්ගල් තැබීම් සිදුවෙනවා. මීට කාලයකට ඉහත දී වගේ මුල් ගල් පැල වෙන කාලයක් නොවෙයි මේ ගෙවෙමින් පවතින්නේ. දේශපාලන වුවමනා මත නොව අවශ්‍යතාවය මුලික කරගෙන මුල්ගල් තබන යුගයක් මෙය. අධිවේගී මාර්ගය පැමිනීම නිසා මේ වන විට රටේ නගර වාණිජ නගර බවට පත්වෙමින් තිබෙනවා. එම වාණිජ්‍ය නගර වල තරඟකාරීත්වයට මුහුණ දිය හැකි දරු පරපුරක් සෑදීම රජයේ වගකීමක්.

මෙම යටිතල පහසුකම් සැලැසෙන විට භෞතික සංවර්ධනය ඇති වේවි. ලෝකයේ ඇති වන දියුණුවට සාපේක්ෂව රට තුළ භෞතික සම්පත් දියුණු වුවද අපේ දරුවන් තාක්ෂණයට සමීපවිය යුත්තේ ශ‍්‍රී ලාංකික සාරධර්ම හා ගුණාංගයන් ඇතිවයි. අපි ලබන දියුණුවේ ප‍්‍රතිඵල ඇත්තේ එවිටයි. රජයක් ලෙස අපි කිසිම අවස්ථාවක පාසල සංවර්ධනය නොකර නගරය සංවර්ධනය කිරීමකට යොමු වන්නේ නෑ.

වත්මන් සමාජය තුල ජීවත් වන දරුවන්ට ඇති බාධක කම්කටලූ එමටයි. මේ නිසා බොහෝ දරුවන් පහසුවෙන් නොමඟට යොමු වීමට පුළුවන් . මේ සියළු බාධක මැඩගෙන ඉදිරියට යාමට දරුවන්ට ගුරුවරුන්ගෙන් ලැබෙන ශක්තිය අති විශාලයි. දරුවාගේ හදවතට හා මනසට කතා කල හැක්කේ ගුරුවරයාටයි. එම නිසා නවීන තාක්ෂණයේ හොඳ නරක දරුවාට කියා දී අධ්‍යාත්මක සංවර්ධනයෙන් හෙබි දරු පරපුරක් හැදීමේ වගකීම ගුරුවරයා මත පැවරෙනවා මෙන්ම ඔවුන් එය අද ඉටු කරමින් සිටිනවා.

(නිමල් අලගේවත්ත )