ආණ්ඩුගැති කලාකරුවනි මධුමාධව හරිද?

0

මුස්ලිම් ජනයාට පහරදීම ආරම්භ කළ අලූත්ගම බොදු බලසේනා රැස්වීමේදී සිංහලයාගේ මනුස්සකමට මුස්ලිම්වරුන්ගෙන් කිසිදු සැලකිල්ලක් නැති බව සභාවට මතක් කර දී තිබුණේ මධුමාධව අරවින්ද විසිනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිය ප‍්‍රකෝපකාරී කතාවේ එක් තැනක මධුමාධව උපුටා දක්වයි. ‘‘මෙහෙම ගියොත් මුස්ලිම් කාරයන් ඉදිරියේ සිංහලයන්ට දණ නමන්න සිදුවෙනවා. ඒ නිසා ඒ ගෙනුදෙනුව බේරාගන්න වෙනවා.’’ මධුමාධව එසේ කියන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හ`ඩින්ම ප‍්‍රකෝපකාරී බසක් උපයෝගි කරගෙනය.

මධුමාධව ලංකාවේ කලාකරුවෙකි. ඔහු කලාකරුවකු වී සිටින්නේ රටේ පාපයක් නිසා විය යුතුය. පාපය වන්නේ රටට කලාකරුවන් යැයි කියාගත් මෙවැනි අන්තවාදීන්ගෙන් බණ අසන්නට සිදුවී තිබීමයි. කලාකරුවාට සමාජ වගකීමක් ඇතැයි යන්න ප‍්‍රකට අදහසකි. සමාජ වගකීම වන්නේ මහජාතියේ පැවැත්ම උදෙසා තවත් ජාතියක් පාගා දැමීමට අන්තවාදී කොටස් උසිගැන්වීම නොවේ. ගලගොඩඅත්තේ සේම ජූනි 15 වැනිදා බොදු බලසේනා රැස්වීමේදී මධුමාධව කර තිබෙන්නේද එයමය. මෙම උසිගැන්වීම් කෙළවර වූයේ ජීවිත හා මහත් දේපළ විනාශයකිනි. ඉන් නොනැවතී සිංහල මුස්ලිම් දෙපිරිස් අතර යළි හැදිය නොහැකි මට්ටමේ විරසකයකි. ඒ විරසකය සමාදාන කරන්නට ගලගොඩඅත්තේ හෝ මධුමාධව කි‍්‍රයා කරනවාද? තමන් කළ කී දෑ සාධාරණීකරණය කරන්නට උපාය උපක‍්‍රම තෝරනවා විනා ගලගොඩඅත්තේ හිමි නම් අන් යමක් සිද්ධියෙන් පසුව කළේ නැත. මධුමාධව කිසිම විදියකින් සිද්ධියෙන් පසුව කට ඇර තිබුණේ නැත.

ලොව පුරා කලාකරුවන් කලාව කිරීම පසෙක තබා මධුමාධව සේ තම තමන්ගේ රටවල්වල ඉන්න අන්‍යාගමිකයන් පෙළන්නට ජනතාව උසිගැන්වූයේ නම් සිදුවන්නේ කුමක්ද? එය මහා විනාශයකට මුළ පුරන්නක් විය හැකිය. ලෝකයේ අපි දන්නා කලාකරුවන් නම් එසේ කර නැත. එහෙත් කලාකරුවකු ලෙස පෙනී සිටින මධුමාධව ලංකාවේදී එය කළේය. ඔහු හෙළ උරුමයේ සාමාජිකයෙකි. ඉකුත් ඡන්දයේදී හෙතෙම කීවේ තමන්ට දිනන්නට සිංහල බෞද්ධ ඡන්ද පමණක් ප‍්‍රමාණවත්, අන්‍ය ජාතික හා අන්‍යාගමික ඡන්ද නුවමනා බවය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු පළාත් සභා ඡන්දයෙන් පරාජය වූයේය. දැඩි මුස්ලිම් විරෝධයකින් පෙළෙන බව පෙනෙන හෙතෙම මුස්ලිම්වරුන් සමග ගනුදෙනුව බේරාගන්නට ගියේත් ඥානසාර හිමි ගිය පාරේමය. සිය කතාවේදී මධුමාධව එස්.මහින්ද හිමියන්ගේ කවියක් ද කීවේය. ඒ, කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ යන පදයෙන් ආරම්භ වී ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද සිහලූන්නේ යන පදයෙන් අවසන් වන කවියයි.

මහින්ද හිමියන් එය ලියූ වකවානුවට ඒ කවි හරි ගියත් වර්තමානයට එවැනි කවි ගාවා ගැනීම පවා නිරර්ථක පටු අදහසක් වර්තමානය තුළට ආරෝපණය කර ගැනීමකි. අප උස් නිදහස දිනාගත යුතුය. උස් නිදහස යැයි හඳුන්වන තත්ත්වය දිනා ගත යුත්තේ දේශපේ‍්‍රමය මුවාවෙන් චෞර රාජ්‍යයක් බිහිකිරීමටද?, සුළුපිරිසක් ගසා කා ම`ඩිතර කරන, බහුතරයට සයින් පීඩිතව මර්දනයෙන්ද බැට කන්නට සිදුවන සමාජයක් වර්තමාන හා අනාගත පරපුරට දායාද කිරීමටද?, සිංහලයන්ගේ උස් නිදහස පිණිස සටන් කරන්නට මධුමාධවලා උපදෙස් දුන් පසු කළ සටනේදී මුස්ලිම්වරු සිව්දෙනෙක් ඝාතනය වූහ. මේ රටේ සිංහලයන්ගේ කෙස් ගහ පවා වැඩ කළේ එසේය. හිස්මොළ තිබියදී යන්න අපට අදාළ කරගත නොහැකිය. මන්ද හිස් මොළ තිබුණේ නම් ඥානසාර හිමි සහ මධුමාධව වැන්නන් කියන බණ අසා සිංහලයන් මෙවැන්නකට පෙළඹෙන්නේ නැත. හිස් මොළ නොතිබුණේම ඥානසාර හිමිට හා මධුමාධවට බව සිදුවූ මහා ඛේදයෙන් පෙනේ.

බොදු බලසේනා සංවිධානයේ තේමා පාඨය වන්නේ ‘‘ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව’’ යන්නය. එහි තේරුම සිය ආගමේ අභිවෘද්ධිය උදෙසා ප‍්‍රභේද ඉක්මවා සත්‍ය දැකීමය. බුද්ධාගමේ චිරස්තිථිය උදෙසා පිහිටට තිබෙන්නේ බුද්ධ දර්ශනයම මිස අන් යමක් නොවේ. බෞද්ධ අදහසට අන්‍යාගමිකයනට හානි කළ නොහැකිය. ඊට හානි කළ හැක්කේ බෞද්ධයන්ටමය. ඒ බෞද්ධ අභිවෘද්ධිය සඳහා යැයි කියමින් ශරීර යකඩ පොලූ හා වෙඩි උණ්ඩ භාෂාවෙන් කතා කිරීමෙනි. ගලගොඩඅත්තේලා හා මධුමාධවලා අලූත්ගමදී සිදුකළේ එයයි. ප‍්‍රභේද ඉක්මවා සත්‍ය දැකීම යනු අන්‍යාගාමිකයන් ඝාතනය කර බෞද්ධයන් රැකීම නොවේ. ප‍්‍රභේද ඉක්මවා සත්‍ය දැකීම යනු බෞද්ධ දාර්ශනික හරය තේරුම්ගෙන එහි ප‍්‍රතිපත්ති රැකීමය. ගලගොඩඅත්තේ හිමියන් හා ලංකාවේ සමාජයේ කලාකරුවකු ලෙස පෙනී සිටින මධුමාධව සිදුකර තිබෙන්නේ එය නොවේ. බෞද්ධයන් අනුසෝතගාමීත්වයට කැඳවා ඔවුන් සකලවිධ අරුතින්ම පාරාජිකා කිරීමය.

මෙහිදී ලංකාවේ කලා සමාජයේ හැසිරීම කවරාකාරද යන්න විමසා බැලීම වටී. කලා සමාජය මධුමාධවගේ අනුසෝතගාමී භාවිතය නැතහොත් මුස්ලිම්වරුන් සමග ගනුදෙනුව බේරාගන්නට ජනයා උසිගැන්වීම අනුමත කරනවාද? ඇතැමුන් එසේ කරන බව හැ`ගී යන්නේ මෙම ඝාතන සංස්කෘතියට එරෙහිව වචනයක්වත් ප‍්‍රකාශ නොකිරීම නිසාය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා වටා භ‍්‍රමණය වන ආණ්ඩු හිතවාදී කලාකරුවන් මෙහිදී හොර නින්දේ ගැලී සිටිනු පෙනේ. කලාකරුවකු මෙැවනි අන්තවාදයකට තල්ලූ වීම ප‍්‍රතික්ෂේප කරන්නට තරම්වත් කොන්දක් තියන එක් කලාකරුවකුවත් ජනාධිපතිවරයා ළග නැත. ඒ සියල්ලෝ ජනපති, ගෝඨාභය, ඥානසාර, මධුමාධව චක‍්‍රයේ අඩුවැඩි වශයෙන් සරති. ධර්මසේන පතිරාජ ප‍්‍රමුඛව කලාකරුවන් කණ්ඩායමක් තවත් කළු ජූලියක් එපා යනුවෙන් හඩක් නැ`ගීමට එකතුවීම පවා ආණ්ඩුවලට කහින වැටකොළු පතෝල කලාකාර බුරුත්තක් සිටින රටකට මහත් අස්වැසිල්ලක් බවත් කිව යුතුය.

රාවයට ලිව්වේ විමලනාත් වීරරත්න