BJP නායකයෝ ඇමති බැසිල් හමුවෙයි

0

යුද්ධයේ නිමාවත් සමඟ උතුරේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම යටතේ උතුරේ තිබුණු සියළු කුඹුරු අස්වැද්දීමට පියවරගත් අතර වාරිමාර්ග නැවත ගොඩනගමින් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් විශාල යටිතල පහසුකම් සංවර්ධනයක් රජය මගින් සිදුකල බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.

අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මේ බව ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්‍ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුවේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ඇතුළු ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් අද 22 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හමුවූ අවස්ථාවේදීය. මෙම දූත පිරිසට ආචාර්ය සුරේෂ් ප්‍රභාකර් ප්‍රභූ, ආචාර්ය චාරි සේශාද්‍රි රාමානුජන්, ආචාර්ය ස්වාෂන් දාස්ගුප්තා සහ මහාචාර්ය මාධව නලපට් යන අය අයත් වූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නඟා සිටුවීමට ඔවුන්ගේ පූර්ණ සහාය ලබාදෙන බවට ප්‍රකාශ කල ඉන්දීය නියෝජිතයෝ යටිතල පහසුකම් දියුණුවීම හේතුකොට ගෙන ඉන්දීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට උනන්දුවක් දක්වන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කියා සිටියේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උතුරේ අවතැන්වූ ජනතාව දින 180ක් ඇතුළත නැවත පදිංචි කිරීමට රජයට හැකිවූ බවද බිම්බෝම්බ ඉවත් කිරීමේ ඉලක්කයන් කෙටි කාලයක් ඇතුළත සපුරා ගැනීමටද සමත්වූ බවය. උතුරු පළාත් සභාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට රජය නිරතුරුව කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

ඉන්දීය සහාය මත දුම්රිය මාර්ගය යාපනය දක්වා නැවත ඉදිකිරීම, යාපනයේ අංග සම්පූර්ණ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම, පලාලි ගුවන්තොටුපොල ‍පුළුල් කිරීම, නිවාස 50,000ක් ඉදිකිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් උතුරේ ක්‍රියාත්මක වන බව පැහැදිලිකල ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඉන්දීය රජයට සහ ජනතාවට ඒ පිළිබදව සිය කෘතඥතාවය පළ කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පිළිබදව නියම අවබෝධයක් තමන් වෙත ඇතැයි මෙහිදී අවධාරණය කල භාරතීය ජනතා පක්ෂ‍යේ ක්‍රමෝපාය කාර්ය කමිටුවේ ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, අධ්‍යාපන සේවය නඟා සිටුවීම, ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබදව රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් තමන් ඉහළින්ම අගය කරන බවය.

 1. 7. 8. 9.