Home / කලා / Subjectivity Love සහ Love

Subjectivity Love සහ Love

මෝසෙස් ස්වකීය මිසරවාසීන් සමඟ (මිසරය තුළ වහලුන් වූ සැබෑ භූමියෙන් වියුක්ත වූ වාසීන් සමඟ) පොරොන්දු දේශය නම් වූ තම නිජබිම සොයා විප්‍රවාසී වූ කල, මෝසෙස් දෙවියන් සමඟ ගණුදෙනු කළේය. ඔව්!! දර්ශනයට අනුව නම් වාස්තවික විඤ්ඤාණය සමඟය. මෝසෙස් ස්වකීය සහෝදර දේශවාසීන් වෙනුවෙන්ම දෙවියන්වහන්සේ සමඟ ගනුදෙනු කළේය. ඔහු එලෙස තම සහෝදර දේශවාසීන් අතර දෙවියන්වහන්සේගේ මැදහත් පණිඩිඩකරුවා වූ බව බයිබලයෙහි නික්මයාම ග්‍රන්ථයෙහිත් ඉන් පෙර ග්‍රන්ථය වන උත්පත්තියෙහිත්(නික්ම යෑම සමඟ සසඳා බැලීමේදී ඉතා කෙටියෙන්) සඳහන් වේ. මෝසෙස් දෙවියන්වහන්සේගේ ආලෝකය දුටුවේය. ‘දෙවියන් මෙසේ කරන්නට කීවා. මේවා නොකරන්නට යැයි කීවා. උන්වහන්සේ අද මා සමඟ මෙවැනි දේවල් කීවා‘යනුවෙන් මෝසෙස් තම විප්‍රවාසී සහෝදර සහෝදරියන් අතර මැදහත් පණිවිඩකරුවා බවට පත් වූ අයුරු බයිබලයෙහි උක්ත ග්‍රන්ථයන්හි සඳහන් වේ.

මිනිසෙකු ඉදිරිපිටින් කෘතියක් තැබීමෙන් අනතුරුව ඔහු/ ඇය එය කීයවීමට පටන් ගන්නේ නම් ලිංග භේදයකින් තොරව ඔහු එකී කෘතිය ඉදිරිපිට මෝසෙස් කෙනෙකු බවට පත් වන අතරම එකී කෘතිය තුළින් විගලිත වන ආලෝකය දෙවියන්වහන්සේගේ ආලෝකය බවට පත් වේ. එකී ආලෝකය දකිනුයේ මෝසෙස් බැවින් අපි එය මෝසේසියානු ආලෝකය යනුවෙන් නම් කරමු. නැසීගිය අපේ සාහිත්‍යය මිතුරා වන විචාරයෙහි (Reviews)යටපත් වීම තුළින් ඉස්මතු වූ කියවීම් (Readings) නම් වූ කලාව බිහිවනුයේත් පුද්ගලයන් කෘතීන් අභියස මෝසේසියානුවන් බවට පත්වීම කරණ කොටගෙනය. (නමුත් මා නම් වූ මෝසෙස් ඔබ නම් වූ මෝසෙස් විය යුතු යැයි කියා කිසි දිනක නොකියමි.එලෙස කියවුණහොත් සඳහටම මා ලිවීම නවතා දමමි. )

ඉතිං, පැහැදිලිව කියනවා නම් මෙකී ප්‍රවේශය ගනු ලැබුවේ මා නම් මෝසෙස් දමිත් උදයංග දහනායක නම් වූ හදවත් පාරවන ලියන්නාගේ පළමු කවි කෘතිය වන ‘තෙමි තෙමිම මම‘ගැන කතා කිරීමටය/ලිවීමටය. මා නම් එකී කෘතිය තුළින් දුටු මෝසේසියානු ආලෝකය ඉතා දීප්තිමත් එකකි. මුලින්ම අපි එකී කෘතියේ සමස්තය/(සමස්තය නොවන) සංක්ෂිප්ත කොට දක්වා බලමු.

ස්වකීය පළමු ප්‍රේමය අහිමි වූ (ඉන් විතැන් වූ) පෙම්වතෙකි.ඉන් අනතුරුව තව තවත් ගැහැණුන් ඔහුගේ ජීවිතය තුළින් ඇවිද යයි. ඒ එසේ වුවද ඔහු තම ප්‍රථම ප්‍රේමයට තවදුරටත් ආත්මීයව බැඳී සිටියි.අනතුරුව වාමාංශික පක්ෂ හැදෑරීමකට නතු වන (නතු කරවන) ඔහු, ඒ තුළින් සාහිත්‍යමය හා දේශපාලනික සංවාදයන්ට මැදි වෙයි.ඒ අතරතුරත් ඔහුගේ ජීවිතය මතින් විවිධ ගැහැණු ඇවිද යති. නමුත් තවදුරටත් ඔහු ස්වකීය ප්‍රථම ප්‍රේමයට පෙම් කරනු ලබයි. අනතුරුව ඔහු විශ්වවිද්‍යාලයට(කැළණියට) පැමිණෙයි. එහිදීත් ඔහු ඉකියක්ව සිරකොට ගත් සන්තාන ගත ආත්මීය ප්‍රේමය ස්වකීය මිත්‍ර සනුහරය හා බෙදාගනියි.ඒ අතරතුරත් නානාවිධ ගැහුණු ආත්ම ඔහුගේ ජීවිතය මතින් ඇවිද යයි. ඒ කිසිවකුට ආත්මයේ ගැඹුරු පත්ළට අත පොවන්නට නොහැකි වෙයි.ඔහුගේ ජීවිතය තුළ සදාකාලිකවම සක්මන් කරන්නේ පළමු ප්‍රේමයයි.

එ නිසාවෙන්ම රැකියාවක් කොට කොළඹ ජීවත්වී අධික ලෙස සාමාජීය හා ආර්ථිකමය වශයෙන් වෙහෙස වී අනතුරුව ඔහු ගම බලා යන විටත් සදාකාලිකව තම ජීවිතයේ සක්මන් කළ ඇගේ නිවසට යන පටු පාර දෙස නිරායාසයෙන්ම නෙත් හැරවෙයි. අවසානයේ ‘‘තෙමි තෙමිම මම”

මං යනු ඔබ මගේ හැම අංශුවෙහි එකතුවයි. හමු වූ සියල්ලෙහි නිමවුමයි.ඉතිං ඈ යනු ඔහුගේ ජීවිතය තුළින් ඇවිද ගිය ගැහැණුන් අතර සදාකාලිකවම සක්මනක නිරත වූ ගැහැණිය නොවන්නේද? අනෙකුත් ගැහැණුන් ඔහුගේ ජීවිතයෙන් ඇවිද ගිය කල, ආත්මීය ප්‍රේමය නම් වූ සංකීර්ණ මානව බැඳියාවට ප්‍රතිපක්ෂ වන පූර්වජ ෆ්‍රොයිඩියානු පියාගේ ඝාතනය තුළින් විගලිත සැබෑ ප්‍රේමය එය නොවන්නේද? Subjectivity Love සහ Love අතර වෙනසත් එයම වේ.පූර්වජ පියා සියලු ගැහැණුන් තමා සන්තක කරගන්නා කල ඔහු මරා දමා ගැහැණුන් බෙදා ගැනීම යනු ප්‍රේමයේ උත්කෘෂ්ඨතම අවස්ථාවයි. දමිත් ගේ කවි පොත අපට උත්ප්‍රාසයෙන් යුතුව කියනා එක් අංශු මාත්‍රයක් පමණි එය.

දියත උයනේ බංකුවක් මත ඈ සමඟය.ළා වට වාඩියක් දා තනිව සිටියෙමු.මහා දුකදුළක්ව අනාරාධිතව හද ගැබට රිංගූ ඈ මා උරහිස මත හිස හොවා ගෙන දෙඇස් වසාළන්නී, යෝගී ඇසිපිය වැසිල්ලකිනි.සෝ සුසුම්වල කර වටක් ගිල් වී දුමක් දල්වමි. සදාකාලිකවම දුම් පයිප්පයක් නොසොයා සිගරට්ටුවට පෙම් බැන්දෙමි.ඈ සාංදෘශ්ටිකවාදීය.ඒ නිසාවෙන්ම ප්‍රේමණීය ය.ස්වකීය අභිමතය වදන් මත තැවරුවේ නොසෙල්වීගෙනය.

පත්තු කරන්න. පයිප්පෙකින් වැඩක් නෑ….‘
ඈ උකුල මත පොතකි. ආත්මීය සුගන්ධය විගලිත වන කවි එකතුවකි. ‘තෙමි තෙමිම මම‘දමිත් උදයංග දහනායකගේය. ඈ එකී විලාපය අනාරාධිතවම පෙරලුවාය. මා දෑස පොතෙහි මුල් පිටුවක රැඳෙයි.

‘ඔබ ම‘හැර ගිය බැවින්
තව තව ද කවි බිහි වෙයි.
අප මුණ නොගැසුණා නම් මැනවැයි
එ කවි වලින් කියවෙයි….‘(තෙමි තෙමිම මම- මුල් පිටුවක)

ස්වකීය මූලය අපායේ නොවුණා නම් නීට්ෂේ බිහි වනුයේ කෙලෙසද? සදාකාලිකව අස්වයෙක් බදා වැළඳගෙන හැඬු නීට්ෂේ තම මූලය අපායේ තැන්පත් කළේ මක් නිසාද?. මම මටම මුමුණමි. පිළිතුරකි. ඈ ගෙනි.

‘සාරවත් ගසක් වෙන්න..ෂරතුස්ත්‍රා…තවත් ගෙඩි ඇතුළුව‘
තෙමෙන්නේ කෙලෙසද? මෙකී පාහර අධම (හදවතිනි. අපහාසායට නොවේ.) ලෙස හදවත් රිදවන්නා වූ දමිත්ට මෙකී කවි වැස්ස බිහි වීමට ඈ මුණ නොගැසුණා නම් මේ කව් බිහි වන්නේ කෙලෙසද? නමුත් ඈ නැවතුණේ ලැකානියානු කියවීමකය.
‘දන්නවද??.. ආදරේ කියන්නෙ සදාකාලික ගවේෂණයකට. ගහක් තියෙනවා. ගහ උඩින් පොළවට පහළට අතක් දික් කෙරෙනවා. පොළොවෙන් ගහටත් අතක් දික් වෙනවා. එකතු වීමක් නැහැ. ඒ දෙඅත් වල. ඒත් එකතු වුණා කියලා හිතනවා.‘
‘ආදරය.‘මම කියමි. ඈ මුහුණත මන්දස්මිතයකි.

ඈ කවි පොතෙහි තවත් පිටුවක් පෙරළා දමිත් දැමූ උද්ධෘතයක් පෙන්වයි.ජෝසුවාගේ හද පැරූ නවකතාවෙනි.විසේකාරි. එහි අවසාන වැකි කිහිපයයි. අවසන මෙලෙස සඳහන් වෙයි.

‘දන්නවද කොල්ලෝ අඩු ගාණේ මං ඔයාට කතාවක් වත් දුන්නා.‘(විසේකාරි-පරිවර්තනය ගාමිණී වියන්ගොඩ)
මම ඈට අග්‍රගණ්‍ය කවියා ජිබ්රාන් මතක් කළෙමි. මක් නිසාවත් නොව දමිත්ගේ සඳහන හා විසේකාරිය සමෝධානය පිණිසය. නමුත් සමෝධානයට පෙරාතුව උක්ත කියමන් ආත්මීයව විසංයෝජිත බැව් වටහා ගතිමි.

‘ස්වකීය විප්‍රයෝගයේ මොහොත එළඹෙන තෙක් තම සැබැඳියාවේ ගැඹුර ඔවුනට අවබෝධ වන්නේ නැහැ.‘
ඈ ඇදගත්තේ ඕෂෝවය. හරියටම මතක නෑ. ඒත් ඕෂෝ කියනවා කලාකාරයා කියන්නේ සදාකාලික ආභ්‍යන්තරික විඳවන්නෙක්ය කියලා.‘ ඇගේ පිළිතුරු මතම යැපෙමි.

‘පුරුෂාධිපත්‍යයයෙන් පීඩිත පිරිමි
දන්නෙ නැති රසයකි මේක
මං කැමති එහෙම
ඇගේ යටතෙම ඉන්න
ආදරේ තදින්ම දැනෙන්නේ එතකොට’ (පිටුව-34)

ඉතිං අපි තෙමෙන්නට පමා වන්නේ කුමකටද? දැන් මෙය දමිත්ගේ නොවේය. අපේය. එබැවින්ම අකීකරු ලෙස උක්ත ග්‍රන්ථයේ පිටු පෙරළමි. නමුත්.. ඈ සමඟ පමණක් නම් නොවේ.බහුපාර්ශවීය ආදරයක පහස ලැබුවෙමි. නමුත් ඉන් පෙරාතුව අමන තකතීරු පාරිශුද්ධත්වයක අතරමංවී සිටියෙමි. පාරිශුද්ධත්වය යනුවෙන් යමක් තිබෙන්නේද? අසමි, ඈ දෙඇස් දෙස බලා ගෙන. දමිතයාගේ හතරවෙනි කවිය අප අතරින් හොල්මනක් මෙන් ඇවිද ගියාය. ළ ගන්නා සුළුවටය. පුකක් නැටවුණ අපූරුව. දැක්කේ එය දෑසින්ම ය.

ජීවයක් ඇතුළෙ ජීවයක් වගේ
බලවත් ඔබේ ඇස්
ඔව්
ඉල්ලුවේ නුරාවම තමයි. (පිටුව-18)

ඈ වාඩිලාගෙන සිටියාය. අවසන මා නළලත සිඹ බැස යන්නට පිටුපස දොර දෙසට ඈ ඇවිද යන කල අවසාන සීටයේ වාඩිගත් කොල්ලෙක් මුමුණයි තමනට ම, මටත් ඇසෙන්නට. නොඇසෙන්නට. බඩුව…. බඩුව….
‘වල් කෙල්ල‘ ඔබ
කාගෙත් ඇසුරට ඇදෙන
මම විතරක් නෙමෙයි
මගෙ මිතුරනුත් දකින.(පිටුව-18)

කවුළු දොර හැරලමි. අනාරාධිතව ආ සඳ එළියක් භුක්ති විඳිමි.සන්තානගත වන්නේ ඈය. අතීත මතක පරපුරුවක සිටය. නමුත් ලොව සිටින්නේ ඈ පමණද? මුමුණමි. මම මටම. සදාකල්හිම.

‘ප්‍රථම ප්‍රේමයේ මළ සිරුරු හොවාගෙන
යන්නේ කුමටද ගෙන් ගෙට
සොයා යන්නට අබ ඇට
ගිහින් බැලුවොතින් අභ්‍යවකාශෙට
දැකගන්න හැකි වේවි අපිටම
ගිණිය නොහැකි ග්‍රහ වස්තු අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
ප්‍රකෝටි ගණනක් සත්වයන් අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
කෝටි ගණනක් පෙම් සිහින අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය. (පිටුව-19)

මධු සාදයකි. මිතුරන් අතරත පෙර දිනයක පැවති මගේ රමණ ක්‍රීඩාවක් ගැන කථාවකි. කථිකයෙක්මි. පාපොච්චාරණයකි. ඈ පශ්චාත් විවරය කෙතරම් උණුසුම්ද යැයි මම ශුක්‍රාණු විගලිත සිනහවකින් ඔවුනට පැවසුවෙමි.අවසන එක මිතුරෙක් ‘ඕක නවත්ත ගනින්’ යැයි කීවේය. ගෙදර ආ විටය දැනුණේ. ඌ නිවැරදි බවත් මා වැරදි බවත්.

‘ ටිකක් නිස්කාංසුව හිතනකොට
ඔබ නෙවෙයි වැරදිකාරයා මම
තොඳොල් වචනෙන් ඔබ දොඩනායුරු
සියොළඟ දැවටෙන අයුරු
කිය කියා හිනාවෙවී මිතුරන්ට
කුණු අතුල්ලලා නා ගත්තා මම (පිටුව-23)

මුනින්තලාව ඇඳක් මත වැතිර සිටියෙමු. පංකාව කැරකුණේ සිතද රැගෙනය.අවසන ඈ මා දෙස බලා මා මුහුලස මතින් ඈ අතැඟිලි යවයි. මීට පෙරාතුව දිනකදී අහම්බෙන් අපි මුණ ගැසුණෙමු. බස් රථයකදී ය.

මිනිසුන් තෙරෙපෙන බස් එහෙක
ඉඳගෙන
ළඟ ළඟ එකම අසුනක
ඔබේ පෙම්වතා ගැන කතාබහ කරන්නට
අපි හමුවුණේ හරි අහම්බෙන්. (පිටුව-38)

‘දමිත්ගේ පොත අබියසදී පමණක් නොව සෑම සැබෑ යැයි කියා හැඟෙන (කොපි කැට් නොවන) පොතක් ඉදිරිපිටදී ම මෝසේසියානුවෙකු බවට පත් වෙනු.’
ආලෝකය නිසැකවම දෘශ්‍යමාන වනු ඇත.

බාසුරු ජයවර්ධන- ([email protected])

Check Also

අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්

මේ රේඩියෝව පිළිබද කතා කලොත් ආසියාතික රටක් පළමු වරට දිනා ගත් Radio Standard of Excellence යන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබේ.අඛණ්ඩව විසිහතර පැයේම සජීවි අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක අත්දැකීම මුළු ලෝකයටම ලබා දෙමින් සිදු කළ විශිෂ්ඨ සේවය ඇඟයීම වෙනුවෙන් අමෙරිකානු Web Marketing Association's WebAward 2013 ආයතනය විසින් තමයි මෙම සම්මානය ලබා දිලා තියෙන්නේ.