පිටකොටුව බෝගහ…….

0

වේලාව සවස හතරට ආසන්න ය. කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ලබා නිවෙසට යමින් සිටි මා පිටකොටුව බෝගහ අසලින් බැසගත්තේ තවත් බස්රියක ගොඩවීම සඳහා ය. බෝගහ අසල බොහෝ සෙනඟක් වූහ. ඒ අතරින් මා නෙත ඇදීගියේ දැක පුරුදු මුහුණක් වෙතට ය. යන ගමන නතර කළ මා බෝගහ යටට ගියේ ඇය කවුරුදැයි මතකයට නංවාගනිමිනි.මේ තනූජා නේද?

මම ඇය හඳුනා ගතිමි. ඇය දෙස දෙතුන් වරක් බැලීමි. ඇය කළු පැහැති අව්කණ්ණාඩියක් පැලඳ ජැන්ඩියට හැදපැලඳ සිටින්නේ කාර්යාලයක සේවය කරන්නියක මෙනි.

තනූජා කැරෝකේ කෙල්ලකි. ඇය මට හමුවූයේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි කැරෝකේ ශාලාවකදී ය. ඒත් හිටි හැටියේ ඇය එතැනින් අතුරුදන් වූවා ය. පසුව සෝදිසි කර බැලීමේ දී දැනගන්නට ලැබුණේ ඇය එතැනට පැමිණි “කස්ටමර්” කෙනකුගේ මුදල් පසුම්බිය සොරා ගැනීම නිසා එතැන සේවයෙන් ඉවත් කළ බව ය.

“ඒකි ලස්සනයිනේ… ඉතින් මෙතැනට එන හුඟාක් පිරිමි ඒකිගේ දැලට අහුවෙනවා. කොහොම හරි කස්ටමර්ට හොඳට පොවලා බොක්කෙන් ලව් වගේ පෙන්නලා කස්ටමර් ගේ මොකකට හරි විදිනවා.”

ඇය ගැන විමසද්දී කැරෝකේ ශාලාවේ ආරක්ෂකයකු මට කීවේ එවැන්නකි.

සැබැවින්ම ඇය ලස්සන එකියකි. මම ද ඇයට රැවටුණෙමි. ඇයට ආදරය කළෙමි. ඇය ද මට පෙරලා ආදරය කළාය. එහෙත් ඇයට අතරමඟදී මෙසේ සේවයෙන් ඉවත් වීමට සිදුවිය. සිද්ධිය දැනගැනීමෙන් පසු මම සතුටුවූයෙමි. නැත්නම් ඇය මගේ ද කුමක් හෝ සොරකම් කරනු ඒකාන්ත ය.

“ඔය කෙල්ල ගල්කිස්ස කැරෝකේ එකකත් වැඩ කළා. එතැන වැඩ කරන කෙල්ලන්ගේ බඩු, පර්ස් උස්සලා එකපාරක් ගල්කිස්ස පොලිසියෙනුත් අල්ලන් ගිහින් රිමාන්ඩ් කරලයි හිටියේ. ඒත් ලැජ්ජා නැහැ. ආයෙත් ඇවිත් හොරකමමයි කරන්නේ…”

ආරක්ෂක නිලධාරියා කියන්නේ හැබෑවක් වෙන්න පුළුවන.

“ඔච්චර දැන දැනත් මොකටද ඔය කෙල්ලව වැඩට ගන්නේ…”

මම විමසුවෙමි.

“දන්නේ නැද්ද…. මේවා කරන එවුන්ටත් ඕනේ කෙල්ලොනේ. ඇහැට කනට පේන කෙල්ලක් හිටියම කස්ටර්මර්ස්ලාත් අතදිගහැරලා වියදම් කරනවනේ…”

එය ඇත්තකි. කැරෝකේ සමාජශාලාවල සිටි නළඟනන් වැනි කෙල්ලන් අතරින් කාගේත් ඇහැ ඇදීයන්නේ පිරිපුන් යුවතියන් වෙතට බව නොරහසකි.

ඒ අතරින් තනූජා වාසනාවන්ත එකියකි. ඇය හෙරක් වූවද ඒ බව නොදැන ඇය සොයා එන්නවුන් ඇය පතා එන්නවුන් බොහොමයකි. ඒ බව මම හොඳාකාරවම දනිමි.

එසේනම් තනූජා මෙතැන කරන්නේ කුමක්දැයි මට ගෙන ආවේ ප්‍රශ්නයකි. කාර්යාලීය සේවිකාවක් ලෙස ජැන්ඩියට හැඳපැලඳ මැය මෙතැන සිටින්නේ ඇගේ පෙම්වතකු හෝ එනතුරු ද…? මම ඇය ළඟට කිට්ටු කළෙමි. දෙනෝදාහක් දෙනා මා දෙසත් ඇය දෙසත් බලා යනු මට පැහැදිලිවම පෙනේ. ඒත් කළ යුතු දෙයක් නැත. මම උගුර පෑදුවෙමි. තනූජා එකවර හැරී මා දෙස බැලුවා ය.

“අඳුරන්න පුළුවන් ද….?”

“බැහැ.”

ඇය ගත් කටටම කීවාය.

“ඔයා තනූජානේ.”

“ආ.. ඔව්. ඔයා කොහොමද දන්නේ…?”

මම ඇයට අතීතය මතක් කර දුන්නෙමි. ඇය එය පිළිගත්තේ මහ හඬින් සිනාසෙමිනි.

“ඒක නෙමේ… ඔයා මොකද මෙතන…?”

“මම මේ බෝයි ෆ්‍රෙන්ඩ් එනකම් ඉන්නවා….”

“ආ ඇත්තද….? ඔයාට ඉතින් කීයක් කියලා ඉන්නවද…”

“ඒ ඉස්සරනේ හලෝ.. දැන් එහෙම නැහැ. හැබැයි එයත් අද එන්නේ නැහැ වගේ. දැන් කිව්ව වෙලාවත් පහුවෙලා.”

“ඉතිං, ඉතිං…”

ගෙදර යන ගමන මගේ සිතින් ද අමතක වී ගොසිනි. කළ කී දෑ මතක් කරමින් මම ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වීමි. ඒ වනවිටත් අපි පැය භාගයකටත් වැඩිය කතා කරමින් එතැන සිටියෙමු.

“ඔයාගේ කොල්ලා නම් එන එකක් නැහැ වගේ…”

“ඔව්… මටත් හිතෙන්නේ එහෙම තමයි.”

ඇය දිගු සුසුමක් පිටකරමින් කියන්නට වූවා ය.

“ඒක නෙමේ… ඔයා කොහේද යන්නේ ”

ඇය එසේ අසත්ම මට ඊට එකවර පිළිතුරක් දීමට හැකිවූයේ නැත.

“මම මේ නිකම්….”

“නිකම් ඉන්නවා නම් මගේ බෝඩිමට යමුද…?”

ඊට ද පිළිතුරක් දීමට නොහැකිව මම ඇය දෙස බලා සිටියෙමි.

“යමුද…? මොකද කියන්නේ….?”

“කමක් නැද්ද….?”

“අයියෝ නැහැ…. ඔයා ඇවිත් බලන්නකෝ කොහොමද තැන කියලා…”

මෙතෙක් කළ කී දෑ සියල්ල මගේ මතකයෙන් ගිලිහී ගොස් ය. ඒ සමඟින්ම ඇය ඉදිරියෙන් ගිය ත්‍රීරෝදරියක් නතර කළා ය.

“යමු බොරලැස්ගමුවවට”

ඇය ත්‍රිවිලර් රියැදුරාට කීවා ය. ඇය කියන පාරවල් දිගේ ඔහු ත්‍රීවිලරය පැදෙව්වේ ය.

“මොනව හරි බොන්න ගමුද..?”

“ඒ කියන්නේ…”

“අපි ගිහින් පොඩි ෆන් එකක් ගමු.”

“හරි මොනවද ගන්න ඕන…”

“මොනව හරි ගන්න…”

“ඒ කියන්නේ අරක්කුද…?”

“නැහැ ළමයෝ අරක්කු එපා…. ජින් හරි බකාඩි හරි ගන්න.”

මම ඇගේ කීමට අවනත වීමි. බකාඩි බෝතලයක් හා කට ගැස්මට කජු පැකට් කිහිපයක් ද ගත් මම ඇගේ ඉල්ලීම මත සිගරට් පැකැට්ටුවක් ද මිලදී ගෙන ත්‍රීවිලරයට දමා ගත්තෙමි. මොහොතකින් අපි ඇගේ ගෙදරට ළඟා වුණෙමු.

ඇත්තෙන්ම ඇගේ නවාතැන පිහිටා ඇත්තේ බොල්ගොඩ ගඟ ආසන්නයේ ය. ගඟ අපට හොඳින් දිස්වේ. ඇය නිවෙසේ සිටින්නේ තනිවම ය. යතුරු කැරැල්ල ගෙන දොර විවර කළේ ඇය විසින් ය. එය විශාල නිවෙසක් නොවුණත් කාමරයක් සාලයක් මෙන්ම බාත්රෑම් එකකින් ද සමන්විත ය.

“කොහොමද හොඳද තැන”

“නියමයි….”

“ගිහින් වොෂ් එකක් දාගෙන එන්න..”

“නැහැ මෙහෙම හොඳයි.”

“අනේ මේ ගිහින් වොෂ් එකක් දාගන්න…”

ඇගේ ඉල්ලීම ඉවත දමන්නට මට නොහැකි විය. ඇය ඊට පෙරැත්ත කිරීම ඊට හේතුවයි.

“අද හරිම රස්නෙයි…”

ඇයද ඇඟපත සෝදගෙන කොට කලිසමකින් සැරසී මා සිටි තැනට පැමිණියා ය. බෝතලය කඩා වීදුරු දෙකට බකාඩි හැලූ ඇය ඉන් අනතුරුව සිගරැට්ටුවක් දල්වා තොල්මත තබා ගත්තා ය. ඉන් දුම්රොටු වළලු කිහිපයක් මා මුහුණට පා කර එවූ ඇය මා දෙනෙත් ඉදිරියේම රඳවාගෙන බොහෝ දේ කීවා ය.

“කොහොමද මගේ ජීවිතේ ලස්සනද..?”

ඇය මගෙන් විමසන්නී ය.”

“හොඳයි. මාත් ආසයි මෙහෙම තනිවෙලා ඉන්න.”

“හැම මිනිහටම එහෙම ඉන්න බැහැ. තනිවෙන්න බැහැ. එක්කෝ ගෑනි මතක් වෙනවා. දරුවෝ මතක් වෙනවා. නැතිනම් දේපළ වතුපිටි මතක් වෙනවා.”

කියන කතාවට මා වැඩිපුර කළේ හූමිටි තැබීම පමණි. කියන දේ අසා සිටීම ඇය ලබන ලොකුම සතුට බව මට දැනේ.

බකාඩි බෝතලය කෙමෙන් කෙමෙන් හිස් වෙද්දී ඇගේ පදමද වැඩි වන්නට විය. ඇය ඉන්පසුව කළේ නන්දෙඩීමය.

“ඔයා දන්නවද මම මගේ ජීවිතේ හොඳ සැප ගත්ත කෙල්ලෙක්. එහෙම කෙල්ලෝ ක්ලබ්වල අඩුයි. උන් හම්බකරන හැමදේම වියදම් කරන්නේ දරුවන්ට. නැත්නම් හොර මිනිහට මට දරුවෝ නැහැ. මිනිහෙක් නැහැ. මම හම්බකරන දේ සේරම ෆන් ගන්න…”

බකාඩ් බෝතලයේ දැන් ඉතිරිව ඇත්තේ කාලක් පමණි.

“කෝ ඔයා ගන්නේ නැහැනේ…”

ඇය බලෙන් මෙන් මගේ වීදුරුව බකාඩ් වලින් පිරෙව්වා ය. දැන් මගේද රතු කට්ට පැන ගොසිනි. බමන මතින් හිස ඒ මේ අත කැරකෙනු මට දැනේ… ඒත් ඒ බවක් නොපෙන්වා සිටීමට මම වෙර දැරුවෙමි. ඇගේ බලකිරීම මත පුරවන ලද වීදුරුව එකවරම උගුරට හලා ගතිමි.

“අයියෝ හාබර් ගැහිල්ල ද ගහන්නේ”

ඇය මට නක්කලයක් ද දැම්මා ය. මම ඊට මුකුත්ම නොකීවෙමි. අවසාන වීදුරුව මගේ බමන මත තවත් වැඩිකරනු දැනේ… ඇය දැන් නොයෙක් දේ මට කියයි.

“ඔයා දන්නවද? මගේ අම්මා තාත්තා හොඳ වැදගත් පවුලක අය. අපේ ගෙදර තිබුණේ තිඹිරිගස්යායේ. අම්මත් මළා. තාත්තත් මළා. තාත්තට බස් විතරක් 13ක් තිබුණා. අද නෙමේ ඒ කාලේ ඒ සේරම ඉවරයි. නැත්තටම නැතිවුණා.අන්තිමට මම කැරෝකේ ආවා. මාව හොරෙක් කළා….”

“ඇයි ඔයා හොරකම් කළේ නැද්ද…”

“ඇත්තටම කළේ නැහැ. පස්සේ උන් මාව රිමාන්ඩ් කළා.”

ඇය කියන්නේ ඇත්තක් ද බොරුවක් ද මම නොදනිමි.

“අන්තිමට මට ඔය සේරම එපා වෙලා තමයි පාරට බැස්සේ…”

“ඒ කිව්වේ…”

“ඒ කියන්නේ පාර…. පාර… ඒකට බැස්සා.”

මට ඇය කියන දේ නොතේරුණි. මම ඇගෙන් නැවත නැවත ඒ ගැන විමසූවෙමි. ඒත් ඇය මට කෙලින් උත්තරයක් නොදුන්නා ය. ඇත්තෙන්ම කීවොත් කෙලින් ඉඳගෙන උත්තරයක් දීමට බැරි තරම් ඇයට වෙරි ය.

“දැන් ඕවා වැඩක් නැහැ… අපි…”

මා දන්නේ එපමණකි. මට මතකද එපමණකි. එතනින් එහාට වූ කිසිවක් මම නොදනිමි.

අවටින් ඇහෙන කිචි බිචි නාදයට මම හීන් සැරේ දෙනෙත් විවර කළෙමි. හතරවටින් හොඳටම එළිය වැටී තිබිණි. මම දෙනෙත් පිසදා අවට බැලුවෙමි. හිරු මුදුන් වෙමින් තිබිණි. ඉදිරිපස එල්ලා ඇති ඔරලෝසුව දෙස බැලිමි. වේලාව නවයයි තිහට ආසන්න ය.

“කෝ… මෙයා”

තනූජා පෙනෙනතෙක් මානයක නැත. හිස්වුණු බකාඩි බෝතලය මෙන්ම සිගරැට් පැකට්ටුවද බිම වැටී ඇත. ඒ සමඟම හතරට නවන ලද තුණ්ඩු කෑල්ලකි.

“ඔයාට ගොඩාක් තෑන්ක්ස්.”

මම ඉන් අන්ද මන්ද විමි. මට ඇගේ කතාව තේරුම් ගත නොහැකි ය. මම මුදල් පසුම්බිය බැලුවෙමි. එය එලෙසම සාක්කුවේ ඇත. මම එය විවර කළෙමි. ඒත් එහි තිබූ මුදල් නැත. මට සියල්ලම තේරුම් ගියේ එවිට ය. ඒ හෙරට මම ද කොටුවිමි. ගෙදර යන්නට ගිය මට මෙය හොඳ පාඩමක් බව වැටහිණි. හීන් සීරුවේ එතැනින් පිටතට පැමිණ මා කෙළින්ම කාර්යාලයට ගියේ සිදුවූ දේ ගැන පසුතැවිලි වෙමිනි.

කීර්ති මෙන්ඩිස්