Home / කලා / “රැය තවම තරුණයි”
INDIKA UDUGAMPOLA_lankanewsalert_10_10_2014-Recovered

“රැය තවම තරුණයි”


කොදෙව්වෙන් ඔහු පිටව ගියේ, එය ප්‍රසාරණයට අත් වැලක් වීමට බව දැන් පැහැදිළිය. සිනමාවේ උපත සිදු වූ ප්‍රංශය නියෝජනය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකිකයෙකු තම සිනමා නිර්මානයක් එළඹෙන සතියේ ඉන්දියාවේදී ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටී. ඔහු ඉන්දික උඩුගම්පළ ය.

La nuit est encore Jeune‘ නොහොත් ‘රැය තවම තරුණයි‘ නම් වන ඔබේ පළමු සිනමා වෘත්තාන්තය මෙවර මුම්බායි අනතර්ජාතික සිනමා උළෙලෙදි තිරගත වෙන්නෙ ප්‍රංශය නියෝජනය කරමින්. මොකද්ද මෙහි පසුබිම?

චිත‍්‍රපටයක ජාතිකත්වය නිර්ණය කිරිමේදි සැලකිල්ලට ගැනෙන කාරණා කිහිපයක් තියෙනවා. අධ්‍යක්ෂකවරයා, නිශ්පාදකවරයා, සම නිශ්පාදකවරයා, බෙදාහරින්නා ආදින්ගේ ජාතිකත්වය, නිශ්පාදන සමාගම ස්ථාපිත රට, චිත‍්‍රපටය සදහා මූල්‍ය දායකත්වය සැපයූ රට හා චිත‍්‍රපට ආදායමෙන් බදු උපයන රට, චිත‍්‍රපටයෙ භාෂාව, රූ ගත කළ රට ආදිය මේ අතරින් විශේෂයි. 2008 වසරේ සිට මා ජීවත් වන්නේ ප‍්‍ර‍්‍රංශයේ. ඊට අමතරව චිත‍්‍රපටයෙ භාෂාවත්, රූ ගත කළ රටත් පදනම් කරගෙන මෙම චිත‍්‍රපටය ප‍්‍ර‍්‍රංශ චිත‍්‍රපටයක් ලෙස අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරවන ලෙස ප‍්‍ර‍්‍රංශ සිනමාව ලොව පුරා ප‍්‍රවර්ධනය කරන රාජ්‍ය ආයතනය වන UniFrance ආයතනයෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ අනුව මෙම චිත‍්‍රපටය මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලදි නිල වශයෙන් නියෝජනය කරන්නේ ප‍්‍ර‍්‍රංශයයි. මගේ චිත‍්‍රපටයට අමතරව 2014 වසරේ කාන් සම්මාන උළෙලේදි Camera d’Or සම්මානය දිනු Party Girl, එම සම්මාන උළෙලේදිම ජුරියේ විශේෂ සම්මානය දිනු කිර්තිමත් ප‍්‍ර‍්‍රංශ සිනමාකරු Jean-Luc Godard ගේ Goodbye to Language ආදි චිත‍්‍රපටත් ප‍්‍ර‍්‍රංශය නියෝජනය කරමින් මුම්බායි සිනමා උළෙලේ තිර ගත කෙරෙනවා.

ඔබේ පිළිතුරු අනුව සිනමාවට ජාතිකත්වයක් තිබෙන බව කියවෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව සවිඤ්ඤානික වූ පුද්ගලයෙක් හැටියට සිනමාව වැනි කලා භාවිතාවකට ජාතිකවත්යක් ආරෝපණය කිරීම තුළින් පෙනී යන දෙයක් තමයි ජාතිකත්වය කිසියම් මානව සංස්කෘතික භාවිතාවක නිත්‍යලක්ෂණයක් බව. මේ පිළිබඳව ඔබ මොකද හිතන්නෙ?

ජාතිකත්වය පිළිබඳ අදහස කෙමන් වෙනස් වී යන අවදියක් මේක. එය තවදුරටත් යථාවක් නෙවෙයි, එය ආරෝපිත දෙයක් යන සංවාදයක් නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් ඒක පළල් සහ අඛන්ඩ සංවාදයක්. සිනමාවෙදිත් මීට අදාල සාකච්ඡාවක් ඉස්මතුවෙමින් තියෙන්නෙ. නමුත් ජාතිකත්වය කියන කාරණය අවශ්‍යයෙන්ම සිනමාවට ආදේශ වෙන්නේ ව්‍යාපාරික භාවිතයෙදියි. එතැන තියෙන්නේ ප‍්‍රාග්ධනය සම්බන්ධ කාරණාවක්. චිත‍්‍රපටයක් සදහා ආයෝජනය කල මුදලින් ලාභය බෙදාගැනිමෙ ආරවුල ලිහාගන්න ආදේශවන සුත‍්‍ර‍්‍රය තමයි චිත‍්‍රපටයෙ ජාතිකත්ව පදනම.

ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් කිසියම් ජාතියක නියෝජනයක් කියලා විශ්වාස කරන්න සහ ඒක විග‍්‍රහ කරන්න. ජාතිකත්වය තවමත් වියුක්ත කාරණාවක් නිසා ඕනෑම කෙනෙකුට තමන් කැමති කාලයක් තමන් කැමති ජාතිකත්වයක් නියෝජනය කරන්න පුලුවන්. නමුත් පසුගිය කාලයේ ලංකාව තුල භාවිතයට ගැනුනේ ජාතිකත්වය උත්කර්ෂ ගැන්වීමෙ වැඩපිලිවෙලක්. එතන පවතින දේශපාලනය අප විශේෂයෙන් විග‍්‍රහ කළ යුතු නෑ. කවුරු කවුරුත් අඩවැඩි වශයෙන් ඒක දන්නවා සේම එය අද්දකිනවා. මහ ජාතියේ ශුද්ධවරභාවය අතිශෝක්තියට නංවමින් සුළු ජාතීන් මර්ධනය කරන විදිහ අපි දන්නවා. මෙය ගෝත‍්‍රික භාවිතාවක්. අපිට නියෝජනය කරන්න වෙන්නෙ මෙවන් ජාතිකත්වයක් නම් ඔබ එකඟ වෙනවද එහි සාමාජිකයෙක් වෙන්න.

සිනමාව යනුවෙන් ඔබ අර්ථකතනය කරන්නෙ කුමක්ද?

සිනමාව උපදින්නේ කිසියම් සමාජයක හෘදය සාක්ෂිය නැමැති අඳුරු ගැබ තුළින්. එතකොට එකී සමාජයේ සංකීර්ණතාවන් හා අපූර්වතාවන් සිනමාව හරහා දෘශ්‍යමානයට පැමිණිම අනිවාර්ය කාරණාවක්. ඒ නිසා සිනමාව හා සමාජය අතර තියෙන්නේ එකිනෙකාගෙන් අනෙකාපෝෂණය වන ආකාරයේ පරායත්ත සම්බන්දතාවක්. සිනමාව කියන්නෙ කැමරා කාචයක් හරහා ජීවිතය විනිවිද දැකිමක් වුවත් එය සැබැ ලෝකය කැඩපත් රූපයකට පරිවර්තනය කිරිමක් නෙමෙයි. එය නව අර්ථකතනයකින් යථාව ප‍්‍රතිනිර්මාණය කිරිමක්. සිනමාව යනු අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටිය හා මතවාදයන් මුදාහරින මාධ්‍යය බවට පත්වෙන්නෙ‍ ඒ නිසයි. නව සමාජ අර්ථකතනයකින් මානව සංජානනය ප‍්‍රසාරණය කිරිම සිනමාවෙ කාර්ය වෙනවා.

ඔබේ අර්කථනයෙන් පරිබාහිරව සිනමාව සමාජය තුළ ස්ථානගත විය නොහැකිද? එසේත් නැතිනම් කිසියම් හෝ අර්කථනයක් මතම නිර්මාණ භාවිතාවක් පිළිසඳ ගත යුතු යැයි කියා ඔබ සිතනවාද?

මා ප‍්‍රකාශ කළේ සිනමාව පිලිබද මගේ අර්ථකතනය. සිනමාව හුදෙක් රසවින්දන මාධ්‍යයක් පමණක් යැයි සිතන පිරිසක් සිටිනවා. ඔවුන් පේ‍්‍රක්ෂකයින් පිනවිමට චිත‍්‍රපට හදනවා. ඔවුන්ට අනුව සිනමාව පවතින්නේ තමන්ගෙන් පිටතයි. නමුත් මට සිනමාව මගෙන් භාහිරින් ඇති දෙයක් නෙමේ. එය ජීවිතය හා අත්‍යන්නයෙන් බැදුනු දෙයක්. ඒ නිසා මම සිනමාව භාවිතා කරන්නේ මට දැනෙන හැඟිම් ප‍්‍රකාශ කිරිමට. එය සමහර විට විරෝධාකල්ප මෝචනය කිරිමක් හැටියට එලියට එනවා. සෞන්දර්‍ය්‍යාත්මක මොඩලයක් තුල හැඟිම් ව්‍යුහගත කිරිම තමයි කලාව කියන්නෙ. ඒ නිසයි මා විශ්වාස කරන්නෙ හැඟිම් කලාත්මකව ප‍්‍රතිනිර්මණය කිරිම තමයි නිර්මාණකරුවගේ කාර්‍ය්‍යය කියලා.

ඔබේ නව නිර්මාණය සඳහා විප්‍රවාසී ජීවන බලපෑම කොයි වගේද? මා හිතනවා ඔබේ නිර්මාණ තිඹිරි ගෙය තුළදී වත්මන් අත්දැකීම් වලින් සහමුලින්ම පාහේ වියුක්ත වන්නට ඔබට හැකි වුණේ නැහැ කියා.

මා ප‍්‍රංශයට එන්නේ ජාතික ප‍්‍රශ්ණයට යුද්ධයෙන් විසදුමක් නැහැ කියලා අපි විශ්වාස කරපු මතය පරාජය වෙලා යුද්ධය අධිවේගයෙන් ජයග‍්‍රහණය කරා ගමන් කරන මොහොතක. යුද විරෝධි කලාකරුවො යුදවාදින් වෙන ගමන් යුද්ධය උත්කර්ෂ ගන්වන ව්‍යපෘතිවල තමන් කොටස්කරුවන් වෙන මොහොතක් ඒක. යුද යාන්ත‍්‍රණය විසින් ඉල්ලා සිටින භාවිතයකට දකුණේ සමාජය වේගයෙන් අනුගත වෙමින් තිබුණු මොහොතක් ඒක. ලාංකීය විකල්ප සිනමාකරුවන්ට තම භාවිතයෙන් බැහැරවෙලා ළමා විත‍්‍රපට කරන්නට බලකෙරෙන මොහොතක් ඒක. එවැනි මොහොතක සිනමාව තම හැඟිම් ප‍්‍රකාශණ මාධ්‍ය ලෙස භාවිත කරන්නෙකුට මෙම භාව විමෝචනය සදහා පයගසාගත හැකි පොළවක් අවශ්‍ය වෙනවා. ඒ පොළාවෙ නැඹුල් ඵලය විදිහට තමයි මෙම චිත‍්‍රපටය එළි දකින්නෙ. විප‍්‍රවාසි කලාවත් මෙම චිත‍්‍රපටයෙ යටි පෙලෙන් සංවාදයට ගැනෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් ඔබ නිර්මාණ සඳහා තෝතැන්න කරගත්තෙ ‘විද්යුත් දෘෂ්‍යමාධ්‍යයයි’ මේ නැඹුරුවට විශේෂ හේතුවක් තිබෙනවාද?

හැම පුද්ගලයෙකුයටම තමන්ට ආවේණික මාධ්‍ය තියෙනවා තමන්ගේ හැඟිම් තම කේන්ද්‍රීය සමාජයට ප‍්‍රක්ශේපණය කිරිමට. දෘශ්‍ය මාධ්‍ය මට ලෙන්ගතුයි. මම විශ්වාස කරනවා දෘශ්‍ය මාධ්‍ය තමයි මට පහසුම මාධ්‍ය සමාජය පිළිබද මාගේ විරෝධාකල්ප මුදාහැරිමට. කිසියම් නිර්මාණකරුවෙක් නිර්මාණකරණය හරහා ප‍්‍රක්ශේපණය කරන්නේ සමාජීය වශයෙන් ඔහු හෝ ඇය අත්විදි සියලු ප‍්‍රතිවිරෝධතා හමුවෙ ඉන් ගැලවිමට දරන අවිඥාණික උවමනාව. මෙම විරෝධාකල්ප කලාත්මක මෙවලමක් ලෙස භාවිතා කල හැකි ආකාරය පිළිබද අධ්‍යනයක තමයි දීර්ඝ කාලයක් තුළ මම නියැලෙමින් ඉන්නෙ. La nuit est encore Jeune චිත‍්‍රපටය කියන්නෙත් මේ විරෝධාකල්ප මුදාහැරිමට පාදාගත් කලාත්මක ප‍්‍රවේශයක්.

ඔබ සිනමාව හදාරමින්” සිනමාවේ නියැලෙමින් ජීවත් වෙන්නෙ ප්‍රංශයේ. ඉතිං ප්‍රංශසිනමාව ගැන ඔබට විශේෂ අත්දැකීම් හා විග්‍රහයක් ඇති?

ප‍්‍රංශය කියන්නේ සිනමාවෙ තිඹිරිගෙය. කර්මාන්තයක් ලෙසත්, කලාත්මක මෙවලමක් ලෙසත් සිනමාව ප‍්‍රවර්ධනය කිරිම කියන කාරණාවෙදි ප‍්‍රංශය ලෝක සිනමාවට දැක්වු දායකත්වය අති විශාලයි. ප‍්‍රංශ නව සිනමා රැල්ල ලෝක සිනමාවට කල බලපෑම අතිශය තීන්දු සහගතයි. සිනමාව යනු අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශන මාධ්‍ය ලෙස ස්ථාපිත කරන්නට ප‍්‍රංශ සිනමාව කළ බලපෑම ඉතා විශාලයි. නමුත් මෙ මොහොතේ ගෝලීය ප‍්‍රාග්ධනයේ විකෘතිකර හැසිරීම හමුවේ සිනමාවට තවදුරටත් අධ්‍යක්ෂකවරයාගේ ප‍්‍රකාශන මාධ්‍ය ලෙස පැවතිය හැකිද යන්න අභියෝගයට ලක්වෙලා තියෙනවා. සිනමාව යනු යථාව ප‍්‍රතිනිර්මාණය කිරිමේ මාධ්‍යයක් වෙනුවට රසවින්දන මාධ්‍යයක් ලෙස උත්කර්ෂයට නැංවෙන අනතුරකට මෙ මොහොත වන විට ප‍්‍රංශ සිනමාව ඇතුලු සමස්ත ලෝක සිනමාවම මුහුණ දෙමින් සිටිනවා.

ඔබේ අභිනව සිනමා කෘතියේ පේ‍්‍රක්ෂාකාගාරය කුමක්ද? මෙම නිර්මාණය ඔබේ ලාංකීය සහෘදයන්ට නැරඹිය නොහැකිද?

මෙය මුලිකවම ප‍්‍රංශ චිත‍්‍රපටයක් නිසා කෘතියේ කේන්ද්‍රීය ප්‍රේ‍්‍රක්ෂකාගාරය වන්නේ ප‍්‍ර‍්‍රංශ ප්‍රේ‍්‍රක්ෂකාගාරයයි. ප‍්‍රංශ භාෂාවේ පවතින ඉසියුම්කම්, තාක්ෂණික සුවිශේෂිකම් මුළුමනින්ම ග‍්‍රහණය කරගතහැක්කේ ප‍්‍රංශ පේ‍්‍රක්ෂාගාරයටයි. මේ මොහොත වන විට චිත‍්‍රපටය ප‍්‍රංශය තුළ බෙදාහැරිමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරමිනුයි පවතින්නේ. නමුත් භාෂාව තවදුරටත් සිනමාව කියවීමට බාධාවක් නෙමෙයි. ලංකාව තුළ සිනමාව කියවන අලුත් පරම්පරාවක් බිහිවී ඇති බව අපි මේ මොහොතේ අත්දකිනවා. ඒ හින්දා මගේ නිර්මාණයත් ඔවුන් කියවා ගනීවි.

බොහෝ විට ශි‍්‍ර ලංකාවෙ පැවැත්වෙන චිත‍්‍රපට උළෙලක් හරහා හෝ විශේෂිතව සංවිධානය කෙරන දර්ශනයක් හරහා මෙම චිත‍්‍රපටය මගේ ලාංකීය සහෘදයන්ට නැරඹිය හැකි වේවි යයි මා හිතනවා. ඉන් එහා ලංකාවේ ප‍්‍රදර්ශනය කොහොම සිද්ධ වේදැයි කියන එක ගැන තාම තීන්දුවකට එළඹි නෑ.

සංවාද සටහන-බාසුරු ජයවර්ධන

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

CHATHURANGA_lankanewsalert_25_10_2014-Recovered

අපි පොරොන්දු ඉටුකල කණ්ඩායමක්

මේ රේඩියෝව පිළිබද කතා කලොත් ආසියාතික රටක් පළමු වරට දිනා ගත් Radio Standard of Excellence යන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී තිබේ.අඛණ්ඩව විසිහතර පැයේම සජීවි අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක අත්දැකීම මුළු ලෝකයටම ලබා දෙමින් සිදු කළ විශිෂ්ඨ සේවය ඇඟයීම වෙනුවෙන් අමෙරිකානු Web Marketing Association's WebAward 2013 ආයතනය විසින් තමයි මෙම සම්මානය ලබා දිලා තියෙන්නේ.