“ආදරණීය වික්ටෝරියා”

0

ආදරණීය වික්ටෝරියාහි පිටු ආදරයෙන් පෙරළමි. වික්ටෝරියා යනු අන්දිරිස්ගේ දියණිය පමණක් ද?. මොහාන් රාජ් මඩවලගේ තෙවන නවකතාව වන ආදරණීය වික්ටෝරියා කෘතියේ එන අන්දිරිස්ගේ දියණිය පමණක්ද, වික්ටෝරියා යනුවෙන් නම් කළ හැක්කේ. නැත. වික්ටොරියා යනු ලාංකීය අව-වර්ධිත ධනේශ්වරයේ රූපිකයයි. වික්ටෝරියානු අන්දිරිස් මහතා ද වික්ටෝරියානු ලීනා ද වික්ටෝරියානු ඇල්ෆ්‍රඩ් හා වික්ටෝරියානු වික්ටෝරියා ද යනු ලාංකීය සමාජ දේශපාලනික ඉතිහාසයේ පංතියක් නිර්මාණය වන සැටි ප්‍රබන්ධගත කෙරුණු භූමිකාවන් ය.

එකී භූමිකාවන් වර්තමාන දේශපාලන සන්දර්භයකදී ප්‍රක්ෂේපණය වනුයේ කෙසේද යන්න සොයා බැලීමට මෙය තරම් නොවන අතර එසේ සෙවීමේ අවශ්‍යතාවයක් නැතැයි කියාද කෙනෙකුට තර්ක කළ හැක. යටත් විජිත ලංකාව තුළ නවමු ධනපති පංතිය හැදී වැඩෙන විට ඔවුන් ධනේශ්වර සෞන්දර්යවාදයට යටවන්නේ, Bourdieu කීවා සේම පීඩිත පංතිය මත තම ආධිපත්‍යය පැටවීමේ ආයුධයක් ලෙස එය භාවිතා කළ යුතු බැවිනි. ඉතිං, ස්වාභාවයෙන්ම (සහජයෙන්ම) අනුකාරකවාදී වූ ලාංකීය ධනේශ්වර පංතිය සංස්කෘතිකව වික්ටෝරියානුවන් බවට පත් විය.

මොහාන් ගේ ග්‍රන්ථයේ එන වික්ටෝරියා නම් ආචීර්ණ කල්පික චරිතයට වික්ටෝරියා යැයි නම් තැබීම වූ කලී, ඉහත කී ඓතිහාසික දේශපාලනික භූමිකාවේ වීකෘතිකර ස්වභාවය හාස්‍යයට ලක් කිරීමකි. සංක්ෂිප්තව දක්වන්නේ නම් ලාංකීය අව-වර්ධිත ධනේශ්වරයේ විකෘති භාවය වර්තමානය තුළදී හාස්‍යයට නැගීමකි.මෙය කුන්දේරියානු හාස්‍යය පිළිබඳ න්‍යායට අනුව විග්‍රහ කර බලන විට ඉතා සංකීර්ණ නවකතාවක් වශයෙන් ද හැඳින්විය හැක.

නමුත් ප්‍රස්තූත විෂයේ සංකීර්ණත්වය මොහාන් විසින් අභිබවන ලද්දේ මනා වූ සරල රචනයෙනි.නමුත් ලිවීම සරල වූ පමණටම කෘතියේ දේශපාලනික කථිකාව පුළුල් නොවන්නේ යැයි කියා කිව හැක්කේ කාටද?විශේෂයෙන්ම ආදරණීය වික්ටෝරියා වැනි කෘතියක් අප ඉදිරියෙහි තිබෙන විට.

අන්දිරිස් යනු ස්වකීය ළමා වියේ ක්ෂතිමය අත්දැකීමක් නිසා එක්තරා කාලයක් වනතුරු කිසි දිනෙක අරක්කු වල රස නොබලා අරක්කු රේන්දකරුවෙකු වූ ධෛර්‍ය්‍යවන්ත මිනිසෙකි.ස්වකීය පියාගේ බීමත්කම නිසා පියා සමඟ ආරවුලට යන අන්දිරිස් අවසන තම මවගේ පෙරැත්තය මත නිවෙසින් පළා යයි.මෙය වනාහී ඔහුගේ ජීවිතය වෙනස් කරනු ලබන පළමු සංධිස්ථානයයි.

සාමෙල් නම් වූ මිනිසෙකු සමඟ එක් වන අන්දිරිස් කෙමෙන් කෙමෙන් දක්ෂ වෙළද ව්‍යාපාරිකයෙකු බවට පත් වී පොහොසත් අරක්කු රේන්දකරුවෙකු බවට පත් වේ. නමුත් අවසන තම දියණිය වන වික්ටෝරියා ගේ කොටහළු මංගල්‍ය ගැනීමට නොහැකි වීමෙන් අතෘප්තිය ඔහුව ‘පළමු වරට‘ ඉතා දැඩිව වෙළා ගනී. බුදුන්වහන්සේ අවසානයේ එයට පිළිතුරක් ලබා දෙයි.

‘අප බලාපොරොත්තු වන සැපත අපට ලැබෙන්නේ නැත. එබැවින් සෑම මිනිසෙකුම මිය යන්නේ අතෘප්තිකර ආශාවකින් යුක්තවය. (ම.නි.-මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය)‘

නමුත් අන්දිරිස්ගේ අවසානය ගැන හිඩසක් (lack) තබා මොහාන් තම කෘතිය අවසන් කරන්නේ, සෑම අසම්පූර්ණ ලියවිල්ලකටම පාඨකයන් ඇදී යන බව දන්නා දක්ෂ ප්‍රබන්ධකරුවෙකුගේ විලාසයෙනි.

අන්දිරිස් අවසානයේ සියලු භෞතික සැප සම්පත් වලින් ආඪ්‍ය වන ව්‍යාපාරිකයෙකු වුවද ඔහු වටා අතෘප්තිය වෙළෙනු ලබන්නේ නිරායාසයෙන්මය. වරෙක එංගල්තිනා සමඟ රමණයේ යෙදෙන අන්දිරිස් පසුව ලීනා සමඟ රමණයේ යෙදෙයි. ඉනුත් නොනැවතෙන ඔහු ඇල්ෆ්‍රඩ් සහ වික්ටෝරියාගේ ආයම්මලා සමඟ ද නිදි වදී. මෙය ලිංගිකත්වය පිළිබඳව පමණක් නොව සෑම දෙයක් පිළිබඳවම මිනිසා තුළ පවතින්නා වූ අතෘප්තියයි.

මිනිසා එක් දෙයකින් තවත් දෙයකට යොමු වෙයි. ඔවුන් නිරායාසයෙන්ම තම චින්තාවලියත් භාවිතාවනුත් නිශ්චල නොකර තබා ගැනීමට තරම් විපරම් වන්නේ, නිරායාසයෙන්ම ජනිතවන අතෘප්තිය හේතුවෙනි. ආදරණීය වික්ටොරියා යනු මිනිසා තුළ පවතින්නා වූ එ කී අතෘප්තිය මැනවින් ප්‍රබන්ධගත කෙරුණු නිර්මාණයකි.

කෘතියේ දේශපාලනික කථිකාවට නැවත හැරී බලන විට පෙනී යන්නේ, සමාජ දේශපාලනික විපර්යාසයක් සිදු වන විට ඒ හා සමගාමීවම ආගමික විප්ලවයක්ද කුල අනන්‍යතා විප්ලවයක්ද කුලය සහ ආගම ව්‍යාප්ත කිරීමේ උවමනාවක් ද නිරායාසයෙන්ම සමාජය තුළින් ජනිත වන බවයි. කෘතියේම සඳහන් වන පානදුරාවාදය සහ අන්දිරිස්ගේ දියණිය වික්ටෝරියා සහ චාල්ස් ද සොයිසා අතර ඇති වන විවාහයත් ඉහත කී සංකල්පයන් වලම දිගුවකි.පානදුරාවාදයට අරක්කු රේන්දකරුවන් තම මුදල් සහ බලය යෙදවීමෙන් ව්‍යාපාරය නිසා ඇති වී තිබෙන නරක නාමය හොඳ එකක් බවට පත් කරගනු ලබන අතර විවාහ සම්බන්ධතා මගින් ඔවුන් සිය පංතියේ අනන්‍යතාවයට අර්ථයක් එක් කර ගනී.

‘ඒ කියන්නෙ මේ වාදෙ කෙරෙන්නෙ රේන්දරාළලාගේ අරක්කු සල්ලි වලින්.‘(පිටුව-113)

නමුත් ලාංකීය ධනේශ්වර පංතියේ නිර්මාණයත් සමඟ කුලය සහමුලින් යටපත් වූවා යැයි සිතිය නොහැක. සිදු වූයේ එය යම් තාක් දුරට නිශේධනය වීම පමණි. සොලමන් ඩයස් බණ්ඩාරනායක වික්ටෝරියාගේ මගුල් ගෙදරට සහභාගී වීම මොහාන්ගේ කෘතියෙන් ඒ සඳහා ගත හැකි උදාහරණයකි.

එමෙන්ම දියුණු ධනපති රටවල් සමඟ බලන විට අප රටේ අතීත දෘෂ්ටිවාද, චාරිත්‍ර වාරිත්‍ර ආදිය ඒ ලෙසින්ම නොනැසී පැවතුණි. අන්දිරිස් පවා බලි තොවිල් ආදියට නැඹුරු වීම එයට උදාහරණයකි. නමුත් එකී ගතානුගතිකත්වය නිරන්තරයෙන්ම වාසිදායක වූයේ යටත් විජිත පාලකයන්ටය.

කෘතිය අවසානයේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායකගේ උපත පිළිබඳව සඳහන් වෙන අතර ඒ හා සමගාමීව අන්දිරිස්ගේ ගෙදර සෙලීනා නම් බැල්ල අමුතුම සත්වයෙකු ප්‍රසූත කරන්නේ, පාඨකයාව වෙනස්ම දේශපාලනික කියවීමකට නතු කරවමිනි.

ඉතා පැහැදිලිව කියනවා නම්, මෙහි උත්ප්‍රාසය වනුයේ බණ්ඩාරණායක පරම්පරාවේ නව සාමාජිකයාගේ උපතින් පසුව ලාංකීය දේශපාලනයේ ඇති වූ විකෘතිකර ස්වභාවයයි. එනම් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක තම උපත සමඟම ලාංකීය දේශපාලනයේ විකෘතිය රැගෙන ආ බවයි. කෘතිය ඉන් ඔබ්බට නොයන නිසා මෙ කී ලියවිල්ල එතනින් එහා දේශපාලන පරිහානිය ගැන කතා කිරීමට භාවිතා නොකරමි.

අන්දිරිස්ගේ ව්‍යාපාරික ඥානය හා බුදු දහම

වරක් බුදුන් හමුවට පැමිණි දීඝජානු නමැති කෝලිය පුත්‍රයා පවසන්නේ, කම් සුව විදින ගිහියන්ට වැඩදායීවන දහමක් දේශනා කරන ලෙසයි. එවිට බුදුන්වහන්සේ දීඝජානු ගේ අභිමතය පරිදි කාරණා හතරක් දේශනා කරනු ලැබුවෝය. එම හතර පිළිවෙලට උට්ඨාන සම්පදා ,ආරක්ඛ සම්පදා, කළ්‍යාණ මිත්තතා, සමජීවිකතා නම් වේ. උට්ඨාන සම්පදා යනු තම වෘත්තිය හෝ රක්ෂාව මැනවින් දැන ඉගෙන, එය දක්ෂව අනලස්ව කිරීමටත් අනුන් ලවා කරවීමටත් සමත්විමයි. අන්දිරිස් මුලින්ම අරක්කු බැරලයේ සිට අරක්කු සෑදීම දක්වාම ක්‍රමයෙන් ඉගෙන ගන්නේ, පසුව අනුන් ලවා ද එය මැනවින් කරවයි.

ආරක්ඛ සම්පදා යනු උපයාගත් ධනය සොර සතුරු හා ස්වාභාවික විපත් වලින් ආරක්ෂා කරගැනීමයි. අන්දිරිස් එය ද මනා ලෙස සිදු කරනු ලබයි. තෙවැන්න කල්‍යාණ මිත්‍රතත්වයයි. අන්දිරිස් වටා පවුරක් සේ ගොඩනැගෙන පේදුරු,මතෙස්, බස්තියන් හා අරනෝලිස් යන සතරදෙනා ද පසුව ඔහු සමඟ එක් වෙන දාංගි සිංඤෝ ද කළණ මිතුරන්ව ඔහුගේ ගමන් මඟට සහය දුන්නෝය. සමජීවිකතාවය යනු අය වැය පාලනයයි. අන්දිරිස් එය ද මනා අයුරින් සිදු කරනු ලැබූ බව කෘතියේ මුල සිට අග දක්වාම පෙනේ.

දීඝ ජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙම සතර ධර්මයන් බුදුන් වහන්සේ විසින් නොකළ යුතු යැයි කියා නම් කරන ලද වෙළදාමක නිරත වූ අන්දිරිස්ගේ භාවිතාවට සමාන කරලීම කෙතරම් දුරට යුක්ති යුක්ත දැයි කියා තවත් කෙනෙකුට තර්ක කළ හැකි නමුත් වැදගත් වන්නේ අන්දිරිස් කෙතරම් දුරට තම ගමන් මඟ කළමණාකරණය (Manage) කරගත්තාද යන්නයි. බුදුන් වහන්සේ විසින් නොකළ යුතු යැයි නම් කරන ලද වෙළදාමකට පවා බුදුන් වහන්සේගේම ආර්ථික න්‍යායන් යොදා ගැනීමට නොහැකි බව කියන කිසියම් හෝ සූත්‍රයක් මේ වනතුරු මා දැක නැත.

එංගල්තිනා ,අන්දිරිස් හා ලීනා

අන්දිරිස් සාමෙල් ගේ නිවසට පැමිණි මුල් කාල වකවානුවේදී එංගල්තිනා අන්දිරිස්ගේ මූණටවත් මුලිච්චි වන්නේ නැත. නමුත් පසුව ඔවුන් රමණයේ යෙදේ. අනතුරුව සාමෙල්ගේ මරණයෙන් පසුව අඹු සැමියන් ලෙස ජීවත් වේ. ඔවුන් දෙදෙනා අතර මුල් කාල වකවානුවේදී පැවති රමණ ක්‍රීඩාවේදීත් සාමෙල්ගේ මරණයෙන් පසුව පැවති රමණ හෝරා වලදීත් ඔවුන් ගෙදර බිත්ති සූරා දමනු ලබයි. හවුස් (බෝඩිම) සහ හෝම් (ගෙදර) යනු වචන දෙකක් පමණක් නොව අර්ථ ද්වයක් ද වේ. මෙහිදී නම් ගෙදර යනු සාමෙල් හා එංගල්තිනා සාදා ගත් ගෙදරයි. නමුත් අන්දිරිස්ට එය බෝඩිමකි. ඔවුන් පසුව වෙනත් ගෙදරක් සාදා එහි ගිය පසු අන්දිරිස් හා එංගල්තිනාත් නමට පමණක් සිටින අඹු සැමියන් බවට පත් වේ. ඔවුන‘තර ප්‍රේමයේ ප්‍රහර්ශය සේම රමණයේ ප්‍රහර්ශය ද පැවතියේ සාමෙල් නම් ව්‍යභිචාරිය ජීවත්ව සිටින තාක් පමණි. එමෙන්ම ඔහුගේ ගෙදර ඔවුන් ජීවත් වන තෙක් පමණි. මිනිසුන් වැඩියෙන්ම තෘප්තිමත් වනුයේ ව්‍යභිචාරය උල්ලංගනය කිරීමෙන් බව අන්දිරිස් හා එංගල්තිනා අතර පැවති සම්බන්ධයෙන් ද අන්දිරිස් හා ලීනා අතර පැවති සම්බන්ධයෙන් ද ගම්‍ය වේ.

හමාර කියමන

වර්තමානය තුළ සෑම දෙයක්ම පුද්ගල කියවීම් හා කේවල අර්ථ දැක්වීම් වලට නතු වී තිබෙන අතර ‘සියලු?‘ මහා දේවල් විසංයෝජනය වී තිබේ. එවැනි සන්දර්භයානුකූල පසුබිමක එක් කේවල චරිතයක් හරහා ලාංකීය අව-වර්ධිත ධනේශ්වරයේ එක් පැතිකඩක් නිර්මාණය කර තිබීම කාලෝචිත භාවිතාවක් බව කිව හැකිය.එමෙන්ම මෙම කෘතියෙහි එන කළු කුරුමිණියා නම් වූ රූපිකය, වික්ටෝරියානු නෝනාවරුන් හා මහත්වරුන්ගේ පරිපාකය සංකේතවත් කරන්නේ, සමස්ථ ආර්ථික දේශපාලනික ව්‍යුහයම ඒ තුළට කැටි කරගනිමිනි.

සටහන -බාසුරු ජයවර්ධන