මට ආදරවන්තයෙක් ඉන්නවා හැබැයි ඉක්මනට විවාහ වෙන්න නෑ

0

බුවිනි දියලගොඩ පුංචි තිරයට අලුත් මුහුණක්. ඇයව අපට හමුවන්නේ සඳසාවි ටෙලිනාට්‍යයෙන්. පුංචි තිරයේ මුලින්ම පෙනී සිටීම වෙනුවෙන් බුවිනිට ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

අලුත් නිළියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටෙලිනාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන තවම දවස් කිහිපයයි ගත වෙලා තියෙන්නේ. ඒ නිසා තවම ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. ඒත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

මේ බුවිනිගේ මුල්ම ටෙලිනාට්‍යයද?


මම රංගනයෙන් දායක වුණු මුල්ම ටෙලිනාට්‍යය මේක නෙමේ. ඒ වුණාට මුලින්ම විකාශය වුණේ මේ නාට්‍යය.

ප්‍රතිචාර හොඳ නම් තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා ඇතිනේද?


ජෝසප් ජෙරම් මහත්තයාගේ පබසරා නාට්‍යයේ වැඩකටයුතු පටන් ගන්න තියෙනවා. මම ඒ නාට්‍යයේ කරන්නේ ප්‍රධාන චරිතෙ.

ක්ෂේත්‍රයේ අය බුවිනිව දන්නේ වත්සලාගේ නංගි විදියටද?
ගොඩක් අය මාව මුලින්ම හඳුනාගත්තේ බුවිනි විදියටම තමයි. මොකද මම අවුරදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය කළා. ඒත් පස්සේ ගොඩක් දෙනා වත්සලාගේ නංගි විදියට මාව දැනගත්තා. අද වෙනකොට ක්ෂේත්‍රයේ ගොඩක් අය මං ගැන කියන්නේ වත්සලාගේ නංගි කියලා.

ඒ කියන්නේ ක්ෂේත්‍රයේ තැනක් හදාගත්තෙ අක්කගෙ නමත් උදව් කරගෙන?


අක්කා නිසා මට ක්ෂේත්‍රයේ රැඳෙන්න ‍ලේසිවුණා. අක්ක ජනප්‍රිය වුණ නිසා මාව දැනගත්ත පිරිස වැඩිවුණා. ඒත් අක්ක රඟපාන්න ගත්ත මුල් කා‍ලේ මට කවුරුත් රඟපාන්න කතා කළේ නෑ. මොකද ඒ කා‍ලේ ඉස්කෝ‍ලේ යනවා.

දැන් බුවිනි වැඩිකාලයක් වෙන් කරන්නේ රංගනයටද?


මම CSN නාලිකාවේ උදෑසන හිමිදිරිය කියන වැඩසටහනේ නිවේදිකාව හැටියට වැඩ කරනවා. රංගනයට එන්න කලින් ඉඳලම මම නිවේදනයට යොමු වෙලා හිටියා. මුලින්ම හිටියේ සියත TV නාලිකාවේ. අධ්‍යාපනය නිසා නිවේදන කටයුතු නතර කළා. ඒත් දැන් රංගනයට ආවාට පස්සේ රංගනයයි නිවේදන කටයුතුයි දෙකම කරගෙන යනවා.

එතකොට අධ්‍යාපන කටයුතුවලට මොකද වෙන්නේ?


මම උසස්පෙළ කළේ කලා අංශයෙන් දැන් නම් අධ්‍යාපන කටයුතු නතර කරලයි තියෙන්නේ.

බුවිනි වැඩිපුර කැමැති රංගනයටද නිවේදනයටද?


ඒ දෙකටම එක විදියට කැමැතියි.

ළඟදීම පුංචි කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා නේද?


ඒකට නම් ගොඩක් සතුටුයි. මට විතරක් නෙමේ අපේ පවු‍ලේ හැමෝටම එක වගේම සතුටුයි. මොකද අම්මගේ පැත්තෙනුත් තාත්තගෙ පැත්තෙනුත් අපේ පවුලට එකතු වෙන පළවෙනි බබා තමයි මේ. මම බලාගෙන ඉන්නේ පුංචි කෙනෙක් වෙන්න.

දැන් අක්කට සැලකිලි වැඩි ඇති?


මම නිතරම අක්කලයි දිහා යනවා. අක්කත් නිතරම අපේ ගෙදර එනවා. හැමෝම අක්කට ගොඩක් ආදරෙයි. මමත් එහෙම තමයි.

වත්සලාගේ බුවිනිගේ බැඳීම කොයිවගේද?


මට දැනෙන විදියට පුංචි කාලෙටත් වඩා දැන් අපි දෙන්නගේ බැඳීම ගොඩක් කිට්ටුයි. අපි දෙන්න ඉන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ. අපි දෙන්නගේ රහස් නෑ. අක්ක විවාහ වුණ දවසේ මම ගොඩක් ඇඬුවා. අක්කත් ඇඬුවා. පුංචි කා‍ලේ ඉඳලම අපි දෙන්නා හිටියේ එකම කාමරේ. එයා ගෙදරින් ගියාම මට ගොඩක් පාළුව දැනුණා.

නංගි අක්ක කියන දේ අහනවද?


මම හැමදාම අක්ක කියනදේ ඇහුවා. ක්ෂේත්‍රයේ රැඳෙන කොට වුණත් අක්ක කියන විදියට තමයි මම ඉන්නේ. කොච්චර ජනප්‍රිය වුණත් අක්ක කවදාවත් කතාවක් හදාගත්ත කෙනෙක් ‍නෙවෙයි. එයා මට කියන්නේ මම වැරදි දෙයක් කළොත් එයා තියාගන්න හොඳ නමට ඒක නරකයි කියලා. ඒ නිසා අක්ක කියන විදියට මම ක්ෂේත්‍රයේ ඉඳගෙන වැඩකරගෙන යනවා.

බුවිනි ආදරවන්තියක්ද?


මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා ක්ෂේත්‍රයට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්.

බුවිනිගේ ආදරවන්තයා කැමැතිද බුවිනි රංගන ශිල්පිනියක් විදියට ඉන්නවටද?
එයාගේ ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ඉක්මනට විවාහ වෙන්න බලා‍පොරොත්තුවක් නැති නිසා තව ටික කාලයක් මට ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් වේවි. විවාහ වුණාට පස්සේ ගොඩක් දුරට ක්ෂේත්‍රයෙන් අයින් වේවි.

නෙලූෂා සිල්වා

උපුටා ගැන්ම – රිවිර

Buwani-Chamupa-Diyalagoda-11 Buwani-Chapa-Diyalagoda-photo-20