සමහර මාධ්‍ය අපේ ප්‍රශ්නයට පෝර දැම්මා

0

මේනකා මධුවන්ති දක්ෂ නර්තන ශිල්පිනියකි; රංගන ශිල්පිනියකි. දෙරණ ‘City of dance’ වැඩසටහනින් මේනකා ඉදිරිපත් කළ නර්තන කාගේත් කතාබහට ලක්විය. එසේ ම මේනකා මේවනවිට චිත්‍රපට හා ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වී ඇත. මේනකා මධුවන්ති මේ දිනවල දැවැන්ත සිනමා නිර්මාණයක් හා සම්බන්ධව සිටින්නී ය.

මේනකා කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. මේ දවස්වල මම සුවිශේෂී රංගන කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන “අජාසත්ත” චිත්‍රපටය. මෙහි මම නිරූපණය කරන්නේ “බදිරවතී” ගේ චරිතය. මේ තමයි මෙතෙක් මගේ රංගන ජීවිතයේ මට ලැබුණු හොඳම අවස්ථාව. මේ චිත්‍රපටය බෞද්ධ ඉතිහාසය ඇසුරින් කෙරෙන නිර්මාණයක්. ඓතිහාසික නිර්මාණයක්. මෙවැනි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබීමත් භාග්‍යයක්.

ඒ සඳහා මාව තෝරා ගැනීම ගැන නිෂ්පාදන කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් මාව ප්‍රේක්ෂකයන් දැකලා තියෙන්නේ බටහිර පන්නයේ චරිත වලින්. හැබැයි “අජාසත්ත” චිත්‍රපටයේ මගේ රංගනය සුවිශේෂී එකක්. ඒ චිත්‍රපටයට අමතරව ජනක චමින්ද අධ්‍යක්ෂණය කරන ‘ආත්මා’ ටෙලි නාට්‍යයේ වැඩවලටත් මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා.

“චායා” ටෙලි නාට්‍යයේ රංගනය ගැන මොනව ද ප්‍රේක්ෂකයන් කියන්නෙ?

එහි මම කරන්නේ හර්ෂණීගේ චරිතය. හර්ෂණී කුතුහලය දනවන චරිතයක්. මේ චරිතය මඟින් මට ප්‍රේක්ෂකයන්ට ළංවෙන්න ලොකු අවස්ථාවක් ලැබුණා. මම ඉතාම ආශාවෙන් කරන චරිතයක්.

හර්ෂණී තරමක් නපුරු කෙනෙක් නේද?

නැහැ. හර්ෂණී නපුරු චරිතයක් කියල මම හිතන්නේ නෑ. හර්ෂණීට එයාගෙ පෙම්වතාව යෝජනා කරල තියෙන්නෙ පුංචි කාලෙදිමයි. ඒ දෙපැත්තෙම දෙමවුපියන්ගෙ කැමැත්තෙන්. නමුත් තමුන්ට අයිති ආදරය අහිමි වෙන බව දැනෙන විට හර්ෂණීට තරහ යනවා. කොයි ආකාරයකින් හෝ තමන්ට අයිතියක් තිබෙන දෙයක්, තමන් කැමැති දෙයක් තමන්ට අහිමි වන විට තරහ යාම ස්වභාවිකයි නේද? ඒකයි හර්ෂණීගෙ ස්වභාවය.

මේනකා ඔබ නපුරු කෙනෙක් ද?

නැහැ. මම නපුරු කෙනෙක් නෙමෙයි. මම ජීවිතය ගැන ඉතාම සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. කා එක්කත් සුහදව ඉන්න කෙනෙක්. ඒ බව මාව ළඟින්ම ඇසුරු කරන අය දන්නවා.

ඔබ මෙතෙක් රඟපා ඇති චරිත බොහොමයක් ඒකාකාරී යැයි කිව්වොත්…?

නැහැ. එහෙම නැහැ. මම මේ වන විට විවිධ චරිත නිරූපණය කරල තිබෙනවා. නමුත් මගේ වෙලාවට මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යවල මගේ චරිත එක වගේ.

දෙරණ “City of dance” වැඩ සටහන ඔබේ කලා දිවියට කෙතරම් වැදගත් වුණා ද?

ඇත්තෙන්ම මගේ නර්තන හැකියාව මේ රටේ ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන්න දෙරණ නාළිකාවේ මේ වැඩසටහන මට ගොඩක් උදව් වුණා. ඒ වගේම හිතාගන්නවත් බැරි තරමේ ප්‍රතිචාර මට මෙහිදී ලැබුණා. විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණයින් සැමදාම මාව ඇගැයීම ඉතාම වටිනවා.

මෙම තරගාවලියෙන් ඉවත්වුණු ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවා ද?

එදා මම ඉදිරිපත් කළේ විශාරද අමරදේව ශූරීන්ගේ “ඉපිද මැරේ යළි ඉපදේ” ගීතයට අනුව සකස් කළ නර්තන මගේ උපරීමය මම එදා කළා. මෙය තරගයක් නිසා එදින මට තර‍ගයෙන් ඉවත්වෙන්න සිදුවුණා. මෙහි විනිශ්චය මණ්ඩලයේ සිටියේ ලංකාවේ සිටින නර්තන දැවැන්තයින් තිදෙනෙක්. ඔවුන්ගේ විනිශ්චය මම ඉතාම ගෞරවයෙන් පිළිගත්තා.

මෙම තරගාවලියේදී ඔබ ඉදිරිපත් කළ නර්තනයන් නිර්මාණය කළේ ඔබ ද?

ප්‍රවීණ නර්තන නිර්මාණකරුවකු වන රසික ප්‍රභාත් සමඟ මමත් එකතු වෙලා තමයි මෙහි නර්තනයන් නිර්මාණය කළේ.

ඔබට හිතෙන්නේ නැත්ද ඔබේම නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න?

ඔව් මට ලොකු ආශාවක් තියෙනවා ඒකට. නමුත් ඒකට තව ටික කාලයක් යාවි.

ඔබ වැඩියෙන්ම කැමැති රංගනයට ද නර්තනයට ද?

නර්තනයට.

ඔබ මෙතෙක් රංගනයෙන් දායක වෙලා තිබෙන චිත්‍රපට…?

‘ජීවිතේ ලස්සනයි’, ඒ වගේම ළඟදීම තිරගත වීමට නියමිත බර්මින් ලයිලි මහතාගේ “සඳලුතලයේ කුමාරියක්” චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කලාවේ දිගට රැ‍ඳෙන්න කැමැත්තක් බලාපොරොත්තුවක් ඔබට තියෙනව ද?

මම දැන් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ ඉතාම කැමැත්තෙන්; ආශාවෙන්. කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. එය වාසනාවට සිදුවන දෙයක්. ඒ වගේම කලාවේ දිගටම රැ‍ඳෙන්නත් වාසනාව තියෙන්න ඕන. ප්‍රේක්ෂකයින් මගේ නර්තනය රංගනය පිළිගන්නා තාක් මම කලාවේ රැඳිලා ඉන්නවා. කුඩා ඇඟලුම් ව්‍යාපාරයක් කරගෙන යන ගමන් මඟ කලා කටයුතුවලටත් දායක වෙන්නේ.

ඔබ කටකතාවලට බය කෙනෙක් ද?

මම කටකතාවලට බය නැහැ. ඒ මොකද මම හැම විටම නිවැරැදිව ඉන්න උත්සාහ කරන නිසා. හැබැයි කටකතා ඇතිවෙන්නේ ජනප්‍රියත්වයත් එක්ක.

පසුගිය දවස්වල ඔබ ගැනත් විවිධ ප්‍රවෘත්තීන් පළවුණා නේද?

ඔව්. මා සම්බන්ධව ගැටලු දෙකක් ගැන පුවත්පත්වලත් ඇතැම් වෙබ් සයිට්වලත් තොරතුරු පළවුණා. ඉන් පළමුවැන්න වුණේ මා එක්ක එකට වැඩ කරන සහෝදර ශිල්පිනියක් සම්බන්ධ ගැටලුව. ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන විට පුංචි පුංචි ගැටලු ඇතිවීම ස්වාභාවිකයි. නමුත් ඒ පුංචි ගැටලු වටේ ඉන්න අය විශාල ගැටලු බවට පත් කරන්න උත්සාහ කිරීම සුදුසු නෑ. මාත් ඒ සහෝදර ශිල්පිනියන් අතර ඇතිවුණු පුංචි ගැටුමේදී හැමෝම උත්සාහ කළේ ඒ ප්‍රශ්නය අවුළුවන්න. ඒ ගැටලුව විසඳන්න සමතයකට පත් කරන්න කවුරුවත් උත්සාහ කළේ නෑ. විශේෂයෙන්ම ඇතැම් මාධ්‍ය ඒ ප්‍රශ්නයට පෝර දමන අන්දමේ ලිපි තමයි පළ කළේ. මාධ්‍යවල ඒ හැසිරීම ගැන මම කනගාටු වෙනවා. ඒ සහෝදර ශිල්පිනිය එක්ක තරහක් මගේ හිතේ කවදාවත්ම තිබුණේ නෑ. ඒ ප්‍රශ්නය එච්චර දුර ගියේ මාධ්‍ය මගෙන් ඇසු ප්‍රශ්නවලට උත්තර දුන්න නිසා කියල මට තේරුම් ගියා. ඒ නිසා මෑතදී මතුවුණු දෙවැනි ගැටලුවේදී මම මාධ්‍යයට කිසිම දෙයක් කිව්වේ නෑ. මගෙ නම සම්බන්ධ කරගෙන ඇතිවුණු දෙවැනි ගැටලුවට මගේ කිසිම සම්බන්ධයක් නෑ.

ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැත්ද?

ඔව් බලමු ඉස්සරහට.

“අජාසත්ත” චිත්‍රපටයේ රඟපෑම දුෂ්කර වුණා ද?

ඇතැම් රූපගත කිරීම් ඉතාම දුෂ්කර වුණා. ඒක චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයින්ට පෙනෙයි. හැබැයි ඒ සෑම දුෂ්කරතාවයකටම මම මුහුණ දුන්නෙ හරිම ආශාවෙන්. ඒ; මේ චිත්‍රපටයේ ඇති වටිනාකම ගැන හිතලා. එක් අවස්ථාවක තියෙනවා රොෂාන් රනවනටත් මටත් කන්දක් නඟින්න. හෙමිහිට නෙමෙයි ඉතාම වේගයෙන්. ඒ වෙලාවේ මගේ කකුලේ කටුවක් ඇනිලයි තිබුණේ. ඒ නිසා කකුල බිම තියන්නවත් බැරි තරම් අමාරුවකයි මම ඒ වෙලාවෙ හිටියේ. නමුත් රූපගත කිරීම හොඳින් සිදුවෙන්න ඕන නිසා කකුලේ වේදනාව පැත්තකට දාල කන්ද නැග්ගා.

ගාමිණී සුසන්ත
උපුටා ගැන්ම- රසදුන

Dance Stars Dance Menaka Maduwanthi