මවුත් වොෂ් ෂැම්පු හෙයාර් ස්පේ‍්‍ර භාවිතා කරන්නේ පරිස්සමෙන්

0

නා පිරිසුදු වී සුවඳවත් වී ඉන්නට කවුරුන්ද අකමැති? දවසේ පටන් ගැන්ම මෙන්ම දවසේ අවසානයද එසේ වනු දැකීම සැමගේම අපේක්ෂාවයි, එහෙත් අද දවසේ ඇති, අති නවීන සිරුර පිරිසුදු කිරීමේදී භාවිත කෙරෙන නිෂ්පාදන බොහොමයක් ලබා දෙන ප්‍රතිඵල නම් කොහෙත්ම සුවඳ නැත. හිසරදය, පිළිකා ඇතුළු අහිතකර රෝග ලකුණු හා රෝග ඇති කරන බොහෝ දේ මේවායේ අඩංගුය.

ෂේවිං ක්‍රීම් සහ ෆෝම්

කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන් ඇති මේවා සුවදායක ආස්වාදයක් ලබා දුන්න ද ඒවාද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා, ඔක්කාරය, වමනය කරකැවිල්ල ඇති කරයි. මෙයට හේතු වන්නේ ට්‍රීතැනොලමීන්, ලොරමයිඩ් වැනි රසායන එහි අඩංගු වීමයි.

ෆ්ලෝරයිඩ්

දන්තාලේපන ලෝකයේ පෙරැළිකාරයා ෆ්ලෝරයිඩ්ය. එහෙත් එයද විසකි. සාමාන්‍ය ප්‍රමාණයේ දන්තාලේපන ටියුබයක අඩංගු දන්තාලේපන කුඩා දරුවකුට ශරීරගත වුණොත් ඒ දරුවාගේ ජීවිතය ද අවදානමේය. ඇමරිකානු ආහාර සහ ඖෂධ පිළිබඳ පාලන අධිකාරිය සහ ස්වීඩ්න් ජාතික ආහාර පාලන අධිකාරිය, ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපවල ෆ්ලෝරයිඩ් විස සහිත බව සඳහන් කිරීමට පියවර ගෙන ඇත.

දත සුරකින නමුත් මේ රසායනය නිසා අස්ථි ගැටලු, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික අසමතුලිතතාව වැනි ගැටලු ඇති වේ. කුඩා දරුවන් දත් බෙහෙත් ගිලින නිසා වයස අවුරුදු අටට අඩු දරුවන්ට දන්තාලේප භාවිතා කිරීමට දීමේදී පරෙස්සම් විය යුතුයි. දත් බෙහෙත් දත් බුරුසුව පිරෙන තරමට යොදා ගැනීම කෙතරම් අහිතකරද? දත් බුරුසුවට දන්තාලේප ගත යුත්තේ මඳ වශයෙනි.

මුඛ සෝදන

දත් සවිමත් කළත්, දන්තපථ සමඟ සටන් කළත් මුඛ සෝදනද දිගුකාලීනව භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵලවලද අඩුවක් නැත. මේවායේ මධ්‍යසාරය අඩංගු අතර මුඛ පිලිකා ඇතිවීමේ අවදානම වැඩි කරන සාධකයකි. මධ්‍යසාර නිසා මුව වියළෙයි. මුවේ නඩ අගය ද වෙනස්වී මුඛය ආරක්ෂා කරන ශ්ලේෂ්මල පටල ද ඉවත් වෙයි. මේ නිසා දිගුකාලීනව මුඛ සෝදන (මවුත් වොෂ්) භාවිතය ද නුසුදුසුය.

ෂැම්පු

මිලෙන් අඩු වුණත්, මිලෙන් වැඩි වුණත් ෂැම්පු වර්ගවල අඩංගු සේදුම්කාරක පිළිකාකාරකය. ඩෙතැනොලමීන් (ඩීඊඒ), ට්‍රී තනොලමීන් (ටීඊඒ), මොනොතැනොලමීන් (එම්ඊඒ) විශේෂයෙන්ම හිතකර නැත.

හෙයාර් ස්ප්‍රේ

ප්ලාස්ටික් නිපදවීමට ගන්නා රසායන මේවායේ අඩංගුය. ඒවා අපේ හෝර්මෝන විකෘති කරයි. කොණ්ඩා සැකසුම් ශිල්පීන්ගේ පෙනහලු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට මේ රසායන පත් වී තිබේ. අපේ නාසයේ සියුම් රෝම ඇති අතර හෙයාර් ස්ප්‍රේ මඟින් ඒවා ඇලෙන සුළු බවට පත් කරයි. එවිට බාහිර දූෂක පෙරීයාම නිසිපරිදි සිදු නොවෙයි.

මේ සියුම් රෝම දූෂක පෙරා හරියි.

දත් බෙහෙත්

දත් බෙහෙත් නැතිව දත් මැදීමක් ගැන සිතීමටත් අපහසුයි. දත් දිරායාම සහ විදුරුමස් රෝගවලින් අපේ මුඛය රැක ගැනීමට මේවා අත්‍යවශ්‍යයි. මුඛ සෞඛ්‍ය පිරිහුණොත් එය අපේ හදවතටත් තදින්ම බලපායි. අධික කොලෙස්ටරෝල් මෙන්ම මෙය ද අවදානම් සාධකයකි.

එපමණක් නොව ආඝාතය (ස්ට්‍රෝක්), ඔස්ටියෝපොරෝසීස්, ස්වසන රෝග, දියවැඩියාව වැනි රෝග වැළඳිමේ අවදානම ද අයහපත් මුඛ සෞඛ්‍ය නිසා වැඩිවෙයි. එහෙත් හානි අවම කර ගැනීමට අප භාවිතා කරන නවීන දන්තාලේපන (ටූත්පේස්ට්) ගැන අපට සියයට සියයක්ම සතුටු විය නොහැකිය.

බොහෝ දන්තාලේපවල සෝඩියම් ලෝරිල් සල්ෆේට් (එස්.එල්.එස්) අඩංගුය. මේ එස් එල් එස් නම් රසායනය උදර ආන්ත්‍රික රෝගවලට හේතු වේ. ඒවාගේම අක්මාවට ද විසය. මුඛයේ ආරක්ෂක ශ්ලේෂ්මල පටලයද රසායනය නිසා ඉවත් වෙන අතර එය මුඛයේ තුවාල ඇතිවීම වැඩි කිරීමට හේතු වේ. මුඛ පිළිකා අවදානම ද මේ නිසා වැඩිවන බවටද අනුමානයක් පවතී.

ට්‍රයික්ලොසාන්, දන්තාලේපවල අඩංගු ප්‍රබල බැක්ටීරියා නාශකයකි. දන්ත පථ ඇතිවීම එමඟින් වැළකුණත් එයද අහිතකරය. ප්‍රතිජීවකවලට පවා පිටුපෑ හැකි එනම් ප්‍රතිජීවකවලට පවා ප්‍රතිරෝධී බැක්ටීරියා ඇතිවීමට ට්‍රයික්ලොසාන් හේතු වේ. මෙහි අඩංගු සිලිකා ද ඉතා හානිකරය. සිලිකා නිසා විදුරුමස් ආසාදනවලට ගොදුරු වීම වැඩිවෙයි.

අන්තර්ජාලයෙනි

දිණමින අරෝග්‍යා

චම්පිකා දීපානි රණසිංහ