මැන්ඩෙලාට බුහුමන් පුදන්න ජනපති දකුණු අප‍්‍රිකාවට

0

දකුණු අප‍්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා පිළිබඳ අනුස්මරණ මෙහෙයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (09) දහවල් දකුණු අප‍්‍රිකාව බලා පිටත් විය.

සවස දකුණු අප‍්‍රිකාව කරා ළඟා වීමට නියමිත රාජපක්‍ෂ මැතිතුමා අඟහරුවාදා (10) හා බදාදා (11) අවමංගල්‍යය මෙහෙයන්ට සහභාගී වෙයි. මැන්ඩෙලා මැතිතුමා පිළිබඳ නිල අනුස්මරණ මෙහෙය අඟහරුවාදා ජොහැන්නස්බර්ග් හි එෆ්.එන්.බී. ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ. හිටපු ජනාධිපති මැන්ඩෙලා මැතිතුමාට අවසන් ගෞරව දැක්වීමට වැඩි පිරිසකට අවස්ථාව හිමිකර දීම සඳහා ස්ථාන ගණනාවක අනුස්මරණ මෙහෙයන් පැවැත්වෙනු ඇත. විශේෂ ප‍්‍රභූන් රාශියක් සමගින් රාජ්‍ය නායකයෝ විශාල පිරිසක් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන රාජ්‍ය අනුස්මරණ මෙහෙයට සහභාගී වෙති.

යුනියන් ගොඩනැගිල්ලේ තැන්පත් කර ඇති ජනාධිපති මැන්ඩෙලා මැතිතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රාජපක්‍ෂ මැතිතුමා බදාදා ප‍්‍රිටෝරියා බලා පිටත්ව යයි. දකුණු අප‍්‍රිකානු චාරිකාවෙන් අනතුරුව සිව් දින රාජ්‍ය චාරිකාවක් සඳහා කෙන්යාව බලා පිටත්වන රාජපක්‍ෂ මැතිතුමා එහිදී කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා (Uhuru Kenyatta) මැතිතුමා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. කෙන්යාවේ ගතකරන කාලය තුළ එතුමා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හා එක්සත් ජාතීන්ගේ හැබිටාට් වැඩසටහනේ නිලධාරීන් සමග වටමේස සාකච්ඡාවකට හා ව්‍යාපාරික සංසදයකට සහභාගී වෙයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සිවිල් ගුවන්සේවා අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂෂීන්ද්‍ර රාජපක්‍ෂ, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග දකුණු අප‍්‍රිකානු චාරිකාවට එක්ව සිටිති.