ණයගැතිබව, හමුදාකරණය, සහ සකල මානව හිමිකම්වලට එරෙහි තර්ජනය

0

අන්තර්ජාතික මානව හිමිකම් දිනය මානව අභිමානය සමරන දිනයකි. එහිදී, ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් යම්කිසි දියුණුවක් ලබා තිබේ නම් එම දියුණුව කුමක්දැයි සලකා බැලීම සඳහා මේ දිනය යොදාගැනීම සුදුසු ය.

අවාසනාවකට මෙන් මේ සම්බන්ධයෙන් පසුගමනයක් දැකගත නොහැකි අතර ඒ වෙනුවට පැහැදිලිවම පෙනී යන දෙය නම් කිසිම මානව හිමිකමක් ආරක්ෂා කිරීමේ වගකීම ගැනීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමයි. අධිකරණයෙන් පිටත සිදුකරන මිනීමැරුම් නතර කිරීම සඳහා ආණ්ඩුව කිසිදු ප්‍රයත්නයක් ගෙන නැත. ඒ වෙනුවට විදහා දැක්වෙන්නේ අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන ආණ්ඩුව අනුදැනුම මත සිදුවන බවයි.

ගතවූ වසරේ අවස්ථා ගණනාවකදීම අත්අඩංගුවට ගැනීමෙන් පසු පුද්ගලයන් ඝාතනය ට ලක්වීම සිදු ව ඇත. මේ සම්බන්ධයෙන් වඩාත්ම කැපී පෙනෙන මෑත කාලීන සිද්ධිය වන්නේ පොලිස් භටයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මරා දැමීමයි. මෙම ඝාතන සඳහා පුලුල් ප්‍රතිචාරයක් ලබාදුන් අතර මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ද මාධ්‍ය මගින් පෙන්වනු ලැබීය. ඒවායින් ඔවුන් ව දැක්වුණේ අනවශ්‍ය පුද්ගලයන් සිව්දෙනෙක් දඩයම් කළ වීරයන් පරිද්දෙනි.

කිසිදු හේතුවකින් තොරව අත්අඩංගුවට ගත්, වී.එස්.අයි. ජෙයබාලන් කවියා වැනි මිනිසුන්ගේ ජීවිත, මහා ජන ව්‍යාපාර මගින් පමණක් ආරක්ෂා වූ අවස්ථා සම්බන්ධයෙන් සෙසු උදාහරණ ද ඇත. මානව හිමිකම් සුරකින්නන් හා මාධ්‍යවේදීන් ඇතුලු ආණ්ඩුව විවේචනය කරන්නන් ව අපකීර්තියට පත් කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය නිරන්තරයෙන් යොදාගෙන තිබේ.

වධ හිංසාව සහ අවමන් සහගත සැලකීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විවේචනයන් එල්ල වී තිබියදීත් එය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ. 1994 අංක 22 දරණ වධ හිංසා පනත (CAT ACT) ක්‍රියාවට නැංවීම ආණ්ඩුව විසින් නතර කර තිබෙනුයේ වධ හිංසාව සහ අවමන් සහගත සැලකීම් පිළිබඳ විමර්ශනයන් අත්හිටුවීම මගිනි. මේ අතර අගවිනිසුරු මොහාන් පීරිස්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ නඩු අධිකරණය වෙත ගෙන එනවා වෙනුවට ඒවා ගොඩින් බේරා ගන්නැයි තවදුරටත් දැනමුතුකම් දෙමින් සිටියි.

පුලුල් ලෙස පැතිර පවත්නා ස්ත්‍රී දුෂණ හා ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ස්ත්‍රී කණ්ඩායම් ගතවූ වසර පුරාම සටන් කළහ. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. නමුත් පැමිණිලි භාර ගැනීමේ හා විමර්ශන සිදුකිරීමේ පොලිස් ක්‍රමයේ සඵලත්වය සම්පූර්ණයෙන්ම පාහේ නැති වී ගොස් ඇතැයි බැලූ බැලමට ම වූවත් පෙනී යන හෙයින් එම ඉල්ලීම්වලට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ නැත.

ආණ්ඩුව විසින් අධිකරණය සෘජු ලෙසම ආක්‍රමණය කිරීම නිසා සිය අයිතිවාසිකම් උල්ලංඝනය සඳහා අධිකරණමය පිළියම් සෙවීම සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය නැති වී ගොස් ඇත. මහජනයා තුළ ප්‍රමුඛ වශයෙන්ම පවතින අවබෝධය වන්නේ දේශපාලනමය හෝ වෙනත් ආකාරයකින් ප්‍රබල අයවලුන් හට පමණක් අධිකරණමය ක්‍රියාවලිය මෙහෙයවා ගත හැකි බවයි. ජාත්‍යන්තර ක්ෂමා (ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්) ආයතනයේ වඩාත්ම මෑත කාලීන වාර්තාව දුෂණය සම්බන්ධ තත්වය ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් තිබෙන ආකාරය ගැන පවසයි. නිරීක්ෂකයන්ට අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම දූෂිත ආයතන දෙක අතර පොලිසිය සහ අධිකරණය වේ.

2013 වසර තුළ අධ්‍යාපනයේ අයිතිය හා සුවසේවා සඳහා අයිතියට තවදුරටත් ප්‍රහාර එල්ල විය. නොනවත්වා ඉහළ යන ඖෂධ මිල හේතුවෙන් බොහෝ පුද්ගලයන්ට සිය ඖෂධ වියදම දරාගත නොහැකි වූ අතර එය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන ගැටලුවකි. අධ්‍යාපනය වාණිජකරණය කිරීමට ගත් උත්සාහයට සරසවි සිසුන් හා ආචාර්ය මණ්ඩල සංගම් විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබීය. පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම සෑම අයෙකු වෙතම,විශේෂයෙන්ම ආර්ථික වශයෙන් දුර්වල බොහෝ පවුල්වලට බලපෑවේ එම පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තිබෙන හැකියාව හීන කරමිනි.

ආහාර හා ගමනාගමන යන අංශයන් හි දුෂ්කරතාවන් ද තවදුරටත් ඉහළ ගියේය. ඉපැයීමේ විභවයන් අඩුවන අතරම භාණ්ඩ මිල ඉහළ යාම ශ්‍රී ලාංකිකයන්ව සිර කර සීමා කරන ප්‍රවණතාවයකි. මේ තත්වය විසින් අඩු ආදායම්ලාභීන් ට එදා වේල සරිකර ගැනීමට පවා අපහසු තත්වයක් ප්‍රතිඵල කර තිබේ. දුප්පත් මිනිසුන් මන්දපෝෂණයට ගොදුරු වීමේ හැකියාව මේ නිසා අධික වී ඇත.

පසුගිය වර්ෂවලදී ලබාගත් ණය ගෙවා ගැනීම සඳහා ආණ්ඩුව මේ වන විට වාණිජ බැංකුවලින් මුදල් ණයට ගෙන අති දැවැන්ත ණය බරක ගිලී සිටින හෙයින් එළඹෙන වසරේදී පවා මේ ගැටලු නිරාකරණය වන බවක් පෙනෙන්නට නැත.

රටවල්වල පැවැත්ම දැන් භ්‍රමණය වනුයේ ණය ගෙවීම වටා ය. නිෂ්පාදනය ඉහළ යාම තවදුරටත් ගැළවීමේ මගක් නොවන අතර එකම මග තිබෙනුයේ හැකි තරම් ණය ලබාගැනීමයි. අඩු පොලී අනුපාතිකවලට ණය ලබාගැනීම මේ වන විට දුෂ්කර වී තිබෙන නිසා ආණ්ඩුව වාණිජ බැංකුවලින් ඉතා ඉහළ පොලී අනුපාතිකවලට ණය ලබාගැනීම සිදුකරයි. ජනතාවගේ ජීවන තත්වයන් මෙම ණය ගෙවීම සඳහා බිල්ලට දෙන මෙම දිළිදු බවේ දුෂ්ට චක්‍රයෙන් පිටතට ඒමට ආණ්ඩුව කිසිම ආකාරයකින් සූදානම් නැත.

ජනතාවගේ ඉහළ යන අවශ්‍යතාවන්ට සාධාරණ ප්‍රතිචාරයක් දැක්වීමට අපොහොසත් ආණ්ඩුව කරන්නේ බලය අයුතු ලෙස භාවිතා කිරීමයි. සියලු බලතල ජනාධිපතිවරයා අත කේන්ද්‍රගත වී තිබීම මගින් සහ මහජන ආයතනවල අධිකාරිය ඉවත් කිරීම මගින් මෙම අයුතු බලපෑම පහසු දෙයක් බවට පත් කර ඇත. මහජන ආයතන හරහා මානව නිදහස සහ ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම ශරීරයක ලංකාව තුළ බැහැර කර ඇති සංකල්පයකි.

ඉහතින් විස්තර කළ වටාපිටාව මගින් නිර්මාණය කර තිබෙන බල රික්තකය විසින් ආණ්ඩුව සහමුලින්ම හමුදාව සහ බුද්ධි අංශ මත රඳා පවතින තත්වයක් නිර්මාණය කර තිබේ. බුද්ධි අංශ මගින් මුර කිරීම හරහා භීතියේ සහලක්ෂණය (භීෂණ සින්ඩ්රෝවමය) රට තුළ පවුරු වළල්ලක් සේ සාදාගෙන ඇති, හමුදා පාලනය යටතේ පවතින මියැන්මාරයේ තත්වය වැනි තැනකට ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් පත්වෙමින් සිටියි. මෑත භාගයේදී මියැන්මාරය සිය මර්දනකාරී හමුදාමය ප්‍රතිපාදන අඩුකර ගෙන ප්‍රජාතන්ත්‍ර හිතවාදී වීමට උත්සාහ කරමින් සිටින විට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටියි.

මේ තත්වයන් යටතේ මුලු රටම විඳවමින් සිටින අතර වැඩිපුරම විඳවමින් සිටින ජන කණ්ඩායම වන්නේ උතුරු නැගෙනහිර ජනතාවයි. ඔවුහු හමුදාවේ සදිසි ග්‍රහණය යටතේ ජීවත් වෙති. ආණ්ඩුව, එල්ටීටීඊ ය වැනි සංවිධාන නැවත මතුවීමට එරෙහිව ගන්නා පියවරක් වශයෙන් මෙම දරුණු තත්වය සාධාරණීකරණය කරයි. යුද්ධ කාලයේදී තමන් විඳි ගැහැට පිළිබඳ කතාබස් කිරීමටත් සාකච්ඡා කිරීමටත් මෙම ජනතාව යම්කිසි උත්සාහයක්
ගන්නේද, හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ පැමිණීම් විසින් ඒවා හැම විටෙකම වළක්වාලනු ලැබේ. ආණ්ඩුව ක්‍රමෝපායික වශයෙන් සකස් වී තිබෙනුයේ, යුධ අපරාධවලට සම්බන්ධ සාක්ෂි මතුවුවහොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඒ පිළිබඳ යෝජනාවක් ඇති හෙයින් ඉදිරි මාසවලදී ආණ්ඩුවට අනිටු පල විපාකවලට මුහුණ දීමට සිදුවේය යන බිය මත ය.

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන සෙසු ගැටලු අතර විශේෂයෙන්ම ඉඩම් බලයෙන් අල්ලා ගැනීමේ ප්‍රශ්නය ද වේ. ඒ බව මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ නියෝජිතයන් විසින් පෙන්වා දී ඇත.

ඉහතින් දැක්වූ මෙකී සියලු අංගයන් ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පළ කරන මානව හිමිකම්වල තත්වය (State of Human Rights) පිළිබඳ වාර්තාවේ ශ‍්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදයේ සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කර ඇත.

ගැටලු: යුක්තියේ පරිපාලනය, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම, දූෂණය, ප්‍රබල ජාත්‍යන්තර ප්‍රවාදය, අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන, බොරු චෝදනා, ප්‍රකාශනයේ නිදහස, විපාක නොලබා සිටීම, විනිසුරුවරුන්ගේ හා නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය, අමානුෂික හා අවමන් සහගත සැලකිල්ල, ආයතනයික ප්‍රතිසංස්කරණ, අධිකරණ පද්ධතිය, හමුදාව, සුලුජාතීන්, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, පොලිස් ප්‍රචණ්ඩත්වය, ජීවත් වීමේ අයිතිය, පිළියම් ලැබීමේ අයිතිය, හානිපූරණය සඳහා අයිතිය, නීතියේ ආධිපත්‍ය, තර්ජන සහ උත්තර්ජන, වධ හිංසාව.

—————————————————————————————————
ආසියානු මානව හිමිකම් කොමිසම : ආසියානු කලාපයේ මානව හිමිකම් අධීක්ෂණයේ යෙදී සිටින කලාපීය රාජ්‍ය නොවන සංවිධානයක් වන ආසියානු මානව හිමිකම් කොමිසම, හිමිකම් කඩවීම් ලේඛනගත කිරීම සහ එකී අයිතිවාසිකම් සුරක්ෂණය හා ප්‍රවර්ධන කිරීම සඳහා යුක්තිය හා ආයතනයික ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශනය සිදුකරයි. හොංකොං හි සිට ක්‍රියාත්මක වන මෙම සංවිධානය 1984 වසරේ පිහිටුවා ගැනිණි.