ශ‍්‍රී ලංකා – නාවුරු ජනපතිවරු අතර හමුවක්

0

හෙට කොළඹ දී පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ නාවුරු ජනාධිපති බැරන් වකා (Baron Waqa) මහතා අතර අද (14)ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡාක් පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් නාවුරු ජනාධිපති බැරන් වකා පවසා සිටියේ ”පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අපි ඉතා උනන්දුවෙන් සිටින බවත් අපගේ සහභාගීත්වය වැළැක්වීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමන් ශ‍්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවත්, මෙහිදී තමාට සිය රටේ සිටිනු මෙන් දැනෙන බවද කියා සිටියා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පවසා සිටියේ ශ‍්‍රී ලංකාව වසර 30 ක් පුරා යුධ ගැටුමකින් පීඩා විඳි ජාතියක් බවයි. එහෙත් 2009 න් පසු ශ‍්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සහ ඝාතන කිසිවක් සිදු නොවන බව සඳහන් කළා.”ජීවත්වීමේ අයිතිය නැවත ජනතාවට ලබා දී තිබෙනවා” යයි රාජපක්‍ෂ මහතා පවසා සිටියා.
නාවුරු හි සංචාරයකට පැමිණෙන ලෙස ද නාවුරු ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කර සිටියා. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදේශ අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම යන මහත්වරු ද සාකච්ඡුාවට එක් වි සිටියා.