අපේ වැඩ ටොප් එකට!

0

අපගේ ප‍්‍රමුඛ කාර්ය භාරය වන්නේ රටට ගැලපෙන රටේ අනාගතය වෙනුවෙන් මේ වනතෙක් නොකළ යමක් ඉටු කිරීම බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

අමාත්‍යරයා මේ අදහස් පළ කළේ, ජාතික රූපවාහිනියේ “ආයුබෝවන් සුබ දවසක්”වැඩසටහනට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අප අපේක්ෂා කරන්නේ අලූත් දෙයක් කිරීමෙන් තිබෙන දෙය සම්පුර්ණයෙන් කණපිට හැරවීම නොවන බවයි.මෙහිදි වත්මන් ගොවීන් මුහුණ පාන පොහොර සහනාධාරය නිසි කලට නොලැබීම රජය මඟින් නොමිලේ ලබාදුන් බීජ පැළ නොවීම වැනි ගැටළු පිළිබඳව අදහස් පළ කළේය.

සැමවිටම ගොවියාට නොමිලේ පොහොර සහනාධාරය ලබාදීම සිදුවන නමුත් කිසිදිනක පොහොර සහනාධාරය කලට වේලාවට ලබාදීමට නොහැකි වේ.රජය විශාල මුදල් සම්භාරයක් වැයකර පොහොර සහනාධාරය ක‍්‍රියාත්මක කළත් පොහොර ටික ලැබෙන තෙක් ගොවීන්ට මඟ බලා සිටීමට සිදු වේ”

නමුත් කුඹුරු ගොවිතැන ආරම්භ කිරීමට සති දෙකකට පෙර පොහොර ලබාදිය හැකිනම් වඩා වැදගත් වන්නේ එයයි. නිසිකලට ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල තුළින් නිසි කාලයට ගොවිතැනට මුල පුරා අස්වැන්න සරුවීම හේතුවෙන් ගොවියාගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වී එහි ප‍්‍රතිඵල ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාම සිදුවේ. අපට අවශ්‍ය වන්නේ මේ ආකාරයෙන් රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි”

පසුගිය සමයේ බීජ ලබාදුන්නත් ඒවායේ පැළවීමේ සම්භාවිතාව පිළිබද ගැටළුකාරී තත්ත්වයක් මතුවිය. එම තත්ත්වය මඟ හරවා ගනිමින් මෙවර අපගේ අපේක්ෂාව දිවිනැඟුම වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 7ක් සඳහා එළවළු පැළ ලක්ෂ 7ක් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කිරීමයි. මෙහිදි විශේෂයෙන් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පැළ නිෂ්පාදනය කර ඒවා සුළු මුදලකට ගොවීන්ට මිලදී ගැනීමේ අවස්ථාව සලසාදීම තුළින් එය රජයේ වැඩපිළිවෙලකට වඩා අපේම වැඩසටහනක් ලෙස දිගින් දිගටම ක‍්‍රියාත්මක කිරීම අපගේ ඉලක්කයයි. එමෙන්ම සුළුවෙන් වගාකරන ගොවීන් එනම් අක්කර කාලක් පමණ වගාකරන ගොවි මහතුන් සඳහා 50% ක දායකත්වය සමඟ බීජ ලබාදීමෙන් සුළු පරිමාණ ගොවීන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ඉලක්කයයි”

වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විවරණයක යෙදෙමින් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප‍්‍රකාශ කළේ ආර්ථිකය සවිබල ගන්වමින් අප අමාත්‍යාංශය ගොවි ප‍්‍රජාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බවයි.