‘දෙමළ ජාති ද්‍රෝහියා’ලෙස සුමන්තිරන් එල්ලා මරයි!

0

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මරණ දඬුවම නියම කර, යාපනය අර්ධද්වීපය පුරා පසුගියි 03 වැනිදා පඹයින් එල්ලා තිබුනු බව Pathivu.com වෙබ් අධවිය වාර්තා කරයි.වඩමාරච්චි, තෙන්මාරච්චි සහ යාපනය නගරය යනාදී ප්‍රදේශයන්හි මෙලෙස පඹයින් එල්ලා ඇති බවයි වාර්තා සදහන් කරන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ තරුණ කණ්ඩාම ලෙස තමන්ව හඳුන්වාගත් තරුණයින් 30 – 40ක් ඇතුලත් කණ්ඩායමක්, මරණ දඬුවම යන අනතුරු ඇඟවීම සමගින් මෙම පඹයින් එල්ලා ඇති බව දැනගැනීමට ලැබී තිබෙන අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට එරෙහිව ඔවුන් හඬ නගා තිබේ.

“මෙම වීර භූමිය ද්‍රෝහීන්ට සමාව දෙන්නේ නැත. ජනතාවගේ හැඟීම් තේරුම් නොගන්නා පුද්ගලයින් නායකයින්ද?, ආත්ම ගෞරවයක් ඇති ජාතිය මුදලට පාවා නොදෙනු” යනාදී වශයෙන් හඬනඟා එම පිරිස විසිර ගිය බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු කීපදෙනෙකුත්, පළාත් සභාවේ තරුණ මන්ත්‍රීවරු කීහිපදෙනෙකුත් එම කණ්ඩා‍මේ සිටි බව තහවුරු නොකල ආරංචි මාර්ග සඳහන් කරයි.

වඩමාරච්චි කරවෙඩ්ඩි, මුත්තු විනායගර් කෝවිල ආසන්නයේ, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ගේ කාර්යාලය යනුවෙන් විවෘත කල තමිලරසු පක්‍ෂ කාර්යාලය සහ ‍කයිතඩි හි ඇති උතුරු පළාත් සභාව ඉදිරියෙත්, යාපනය නගරයේ මාර්ටින් වීදියේ ඇති තමිලරසු පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිටත් සුමන්දිරන්ගේ රුව සහිත පඹයින් එල්ලා ඇත.

‘දෙමළ ජාති ද්‍රෝහියා’ යනුවෙන් සඳහන් බැනරයක් එම පඹයින්ගේ එල්ලා ඇත.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙයට ඉහතදී යාපනයේ පැවති වි‍රෝධතාවයකදී සුමන්දිරන්ගේ රුව සහිත පඹයෙකු ගිනි තබන ලදි. එම සිදුවීම හේතුවෙන් ‍තමිලරසු පක්‍ෂයේ නායකත්වය කෝපයට පත්ව අනන්දි ශෂිදරන් ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා ඉදිරිපත් කර පරීක්‍ෂණයක් පවත්වන බව දන්වා තිබුණි.

එවැනි පසුබිමකදී එවන් තර්ජන කිසිවක් සැලකිල්ලට නොගෙන වඩමාර්ච්චි, තෙන්මාරච්චි, වලිගාමම්, යන ප්‍රදේශ වල තරුණයින් එකම වේලාවකදී වෙන් වෙන්ව තම විරෝධය පෙන්නුම් කර තිබිම, තමිලරසු පක්‍ෂය තුළ කම්පනයක් ඇති කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශිය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු සහ ආධාරකරුවන් එක්ව මෙම විරෝධතාවය පළකර ඇති හේතුවෙන් පක්‍ෂයේ අනාගතය පිළිබඳව ප්‍රශ්ණයක් මතු වී ඇත.