13ත් එපා …13+ එපා

0

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවේදි පළාත් සභා වෙත බලය බෙදාහැරීම පිළිබදවත්, උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත ඔවුන්ට හිමි ඉඩම් වල යලි පදිංචි කිරීම සහ දෙමළ ජනතාව මුහුණදෙන ගැටළු පිළිබදව අවධානය යොමුකර ඇති බව ටැමිල් 24 වෙබ් අඩවිය පවසයි.

මෙම සාකච්ඡාව පිළිබදව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, “ඉදිරිපත් කර ඇති මෙම කරුණු ක්‍රියාවට නැංවීමට ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට බලපෑම් කර, දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගීව කටයුතු කරන මෙන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එයට පිළිතුරු ලබාදුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, “ ශ්‍රී ලංකාවේ නව රජය එම කරුණු ක්‍රියාවට නංවනු ඇතැයි යන විශ්වාසය ඇති බවත්, රජය සමග අඛණ්ඩව සාකච්ඡා කරන බවත් ප්‍රකාශ කර තිබේන බව වෙබ් අඩවිය පවසයි.

කඩිනමින් සියල්ල සිදුකිරීමට හැකි බව විශ්වාස නොකල යුතු බවත්, අදියරෙන් අදියරට සිදුකර අවසන් කරන තුරු ඉවසීමෙන් සිටිය යුතු බවත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට උපදෙස් ලබාදුන් බවත් සෙල්වම් අඩෙයික්කලනාදන් අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එම්.ඒ.සුමන්දිරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයික්කලනාදන් ඇතුළු පිරිස සහභාගි වී තිබේ.

13 වැනි සංශෝධනය වෙනුවට වඩා පුළුල් බලතල ලබාගැනීම සඳහා බලය බෙදාහැරීමේ අලුත් ක්‍රමවේදයක්‌ සකස්‌ කරන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි.