මාස 03යි -ඩෙංගු රෝගින් 10,323යි

0

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට තිබුණ ද, ඩෙංගු මරණ සංඛ්‍යාව 0.2ක් දක්වා අඩුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද(23) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශ ශ්‍රවණාගාරයේදී ඩෙංගු මර්ධන සතිය පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකදී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සෑම වර්ෂයකම ලෝකය පුරා රටවල් 106ක ඩෙංගු රෝගින් මිලියන 80-100ත් අතර සංඛ්‍යාවක් වාර්ථා වන බවත්, ලෝක ජනගහනයෙන් බිලියන 2.5ක් ඩෙංගු රෝගය වැලදීමේ අවධානමට ලක්ව ඇති බවත් ය.

තවද මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කලේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගින් 10,323ක් හදුනා ගෙන ඇ.ති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ වැඩි ම ඩෙංගු රෝගීන් වාර්ථා වූ වසර ලෙස 2014 වසර හැදින්විය හැකි බවත්, සංඛ්‍යාත්මකව එය 47,258ක් බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුව සදහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පරිසර සංවිධාන, අධ්‍යාපන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූ අතර 2015 වසරේ මාර්තු මස 26 සිට අප්‍රේල් මස 01 වනදා දක්වා කාලය “ඩෙංගු මර්දන සතිය” ලෙස ද නම් කල බව මෙහිදී ප්‍රකාශයට පත් කළා.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනිම සදහා 011-3071073 විශේෂ දුරකතන අංකය ඩෙංගු මර්දන සතිය පුරා ක්‍රියාත්මකයි.