පෝෂණ මල්ලට කැත වැඩ කල අයට වැඩ වරදී! (photos)

0

අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නෝර්වුඞ් වෙන්චර් වතුයායේ ගැබිණි කාන්තාවන් එකසිය තිස්දෙනෙකුට (130) බෙදාහැරීම සඳහා පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එල්.කේ.වසන්ත විසින් සීමාසහිත ගිනිගත්හේන විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.ඒ.ධර්මදාස සහ එම සමිතියේ ගබඩා භාරකරු චින්තක පේ‍්‍රමරත්න සහ සමිතියෙන් මෙම ආහාර ද්‍රව්‍ය ලබාගත් ගිනිගත්හේන රංජනාස් තොග වෙළඳ මධ්‍යස්ථානයේ කළමණාකරු තංගයියා කමලනාදන් යන අයට එරෙහිව අද (23) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා.

මෙහිදී සැකකරුවන් තිදෙනා වරද පිළිගත් නිසා එක් අයෙකුට රු.පහළොස් දහස (15,000) බැගින් වරදකරුවන් තිදෙනාට රු.හතලිස්පන්දහසක (45,000) දඩ නියම කර අත්අඩංගුවට ගත් ආහාර තොගය විනාශ කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් අයි.පී.ඞී.ලියනගේ විසින් නියෝග කරනු ලැබුවා.

මේ අතර පෝෂණ මල්ලෙන් ඉවත් කරන ලද ආහාර ද්‍රව්‍ය වෙනුවට ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.බී.හේරත්ගේ අධීක්ෂණය යටතේ එම පෝෂණ මල්ල හිමි ගැබිණි කාන්තාවන් හට අද (23.) නැවත වතාවක් නෝර්වුඞ් වෙන්චර් සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී බිත්තර, රටකජු, උදු සහ හාල්මැස්සන් ලබා දීම සිදුකළා. අධීකරණ නියෝගය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් එම ආහාර ද්‍රව්‍ය ගිනි තබා විනාශකර දමනු ලැබුවා. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ මෙම ආහාර ද්‍රව්‍ය සමිතියට ලබාදුන් පෞද්ගලික වෙළඳ මධ්‍යස්ථානයේ කළමණාකරු තංගයියා කමලනාදන් පවසා සිටියේ සමිතියේ නිළධාරීන් විසින් තමන්ට ඇණවුම් කල පරිදි අඩු මිළට ප‍්‍රමිතියෙන් බාල ආහාර ද්‍රව්‍ය මෙම පෝෂණ මල්ලට ඇතුලත් කළ බවයි.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC07703 DSC07709 DSC07714 DSC07765