විපක්ෂනායක පැන්නීමේ ඩීල් එක උග්‍ර අතට!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් හවුලේ ආණ්ඩු කිරීමත් සමගින් නිමල් සිරිපාලට විපක්ෂ නායක ධූරය දැරීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.ඒ ජාතික ආණ්ඩුවට විරුද්ධත්වය පල කරන බොහෝ දෙනෙකු විපක්ෂනායක ධූරය නිමල් සිරිපාලද සිල්වා දැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පල කිරීමත් සමගින්.

අද වන විට ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ අය කවුරුදැයි සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවේ.මක් නිසාද යත් මේ වන විට සියල්ල කලවම් අච්චාරුවක් බවට පත්ව ඇති නිසාවෙනි.ඊයේ පාර්ලිමේන්තුවේදී මේ විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් උණුසුම් කතා බහක් ඇති වන්නට විය.

විශේෂයෙන්ම දැන් සමාජය තුළ වැඩිපුරම කතා බහට ලක්වන්නේ විපක්ෂනායක ධූරය දෙනේෂ් ගුණවර්ධනට ලබා දිය යුතු බවයි.ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රි විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුවට සිටින විපක්ෂ නායකයින් අපට උවමනා නොමැති බවත් අවශ්‍ය වන්නේ විපක්ෂයට විපක්ෂනායකවරයෙකු බවයි.තවදුරටත් පාර්ලිමේන්තුව විහිළුවක් බවට පත්වීමට ඉඩ නොදී මේ සදහා සාධාරණ විසදුමක් ලබාදීම සිදුකල යුතු බවද විමල් වීරවංශ කතානායක චමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කලා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායකවරයාද කියා සිටියේ ,පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලුවක්‌ව පවතින බවයි.ඒ පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු කියා සිටියා.

මේ අතර විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූයේ මෙවන් අදහසකී.

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධව ඇත්තේ සම්ප්‍රදායක්‌. ස්‌ථාවර නියෝගවල ඒ ගැන සටහන් වී නෑ. 1977 සිට 83 දක්‌වා විපක්‍ෂ නායක වුණේ මන්ත්‍රිධුර 18 ක්‌ හිමිවී තිබු අමිර්තලිංගම් මහතා. 1983 සිට 94 දක්‌වා විපක්‍ෂ නායක වුණේ මන්ත්‍රීවරු අට දෙනෙක්‌ සිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුර බණ්‌ඩාරනායක මහතා. මේ ආකාරයට විපක්‍ෂනායක කම හිමිවුණේ විපක්‍ෂයේ වැඩිම විශ්වාසය ඇති පක්‍ෂයට. ආණ්‌ඩුව යනු අගමැති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයයි. දැන් කැබිනට්‌ මණ්‌ඩලයේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ මෙන්ම තනතුරු ලාභීන්ද සිටිනවා. මෙය හවුල් ආණ්‌ඩුවක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවේ කොටසක්‌. හවුල් ආණ්‌ඩුවක්‌ ගොඩනැගීම ඒ හවුලේම කොටසකට විපක්‍ෂයේ වාඩිවෙලා විපක්ෂ නායකකම  හෙබවිය හැකිද? මේක සාධාරණද මෙය මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට ප්‍රජාතන්ත්‍රවාදයට  හිතකර නෑ. ආණ්‌ඩුවට පිරිසක්‌ පත්වුණාම ඉන් කොටසක්‌ ආණ්‌ඩුවෙත් තවත් කොටසක්‌ විපක්‍ෂයේත් අසුන් ගන්නවා. මේක විගඩමක්‌. පාර්ලිමේන්තුව සෙල්ලම් ගෙයක්‌ද, කුඩා දරුවෝ සෙල්ලම් ගෙවල් හදනවා වගේ ආණ්‌ඩු පක්‍ෂය, විපක්‍ෂය හදන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටෙනවා. මේක ගැඹුරෙන් කල්පනා කරන්න. මේක අපුල දනවන දර්ශනයක්‌.

කාණුව දිගේ ඇවිත් ඔටුණු වැටෙනවා. දැන් පිරිසක්‌ කුණු කාණුවටත් ඔලුව අල්ලාගෙන ඉන්නවා හිසට ඔටුන්න වැටෙනතුරු. මේ තනතුරු ගන්න මහන්සි වෙනවද කියන එක නොවේ මේ තත්ත්වයෙන් ඇති වෙන්නේ කුමක්‌ද කියන එකයි බලන්න ඕනෑ.

දිනේෂ් ගුණවර්ධන,

පාර්ලිමේන්තුව හෑල්ලු කරන්න දෙන්න එපා. පවතින ක්‍රමය ආරක්‌ෂා කරගත යුතුයි. විරුද්ධ පක්‌ෂ නායක, විරුද්ධ පක්‌ෂයේ සංවිධායක අපේ දීර්ඝකාලීන මිතුරෝ.නව  පාර්ලිමේන්තුව ලෙස බරපතළ දේශපාලන ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා.පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඒ පැත්තෙද? මේ පැත්තෙද කියා ජනතාව අහනවා. එදා අනුර බණ්‌ඩාරනායක විපක්‌ෂ නායකයා වෙද්දී විපක්‌ෂයේ සිටි මන්ත්‍රීවරු අට දෙනා අතුරින් ජීවත්ව ඉන්නේ මා පමණයි. පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය කඩා වැටුණොත් ජනතාව වෙනත් විදිහකට හැසිරීමේ භයානක අනතුර පෙන්වා දිය යුතුයි. නිවැරදි විදිහට ඉර ගහලා එහා පැත්ත මේ පැත්ත තීරණය කිරීම කථානායකතුමාගේ වගකීම. ලෝකයේ ප්‍රසිද්ධම විහිළු සපයන පාර්ලිමේන්තුව ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පත් නොකර ඊළඟ පාර්ලිමේන්තු රැස්‌වීමට පෙර මේ පිළිබඳ තීරණයක්‌ ලබා දෙන්නැයි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

විමල් වීරවංශ , පසුගිය ආණ්‌ඩුවට මේ අය කිව්වේ ඒකාධිපති රෙජිමය කියලා. එදා ඒ ආණ්‌ඩුවට මන්ත්‍රී ආසන 150 ට වඩා තිබුණා. ඒ ආණ්‌ඩුවත් ඉන් 50 ක්‌ විතර විපක්‌ෂයට එනවා නම් විපක්‌ෂ නායකකම ඉන් අයෙකුට තෝරන්න දෙනවාද. එහෙම කළේ නෑ. ඒක ඒකාධිපති රෙජිමයක්‌ නම් මේ ආණ්‌ඩුව පුදුම ඒකාධිපති රෙජිමයක්‌. ජනාධිපති තෝරන්න ඡන්දය තිබ්බා. අද ජනාධිපතිකමත්, අගමැතිකමත්, විපක්‌ෂනායක කමත් තෝරගෙන, මොකක්ද  මේ ක්‍රමය. එනිසා බලව්‍යාපෘතිය ඕන විදිහට කරගන්න. විරුද්ධ පක්‌ෂයේ 8 ක්‌ හිටියානම් අටටත් විපක්‌ෂ නායකයෙක්‌ හිටියා. දැන් ආණ්‌ඩුවට විපක්‌ෂ නායකයො හදලා මේ පැත්තට තියන්න එපා.

විපක්‌ෂයටයි විපක්‌ෂනායක අවශ්‍ය. ආණ්‌ඩුවේ ශ්‍රීලනිප, විපක්‌ෂයේ ශ්‍රීලනිප කියා දෙකක්‌ තිබේ නම් එය දන්වා ඇත්නම් විපක්‌ෂයේ ශ්‍රීලනිපයට විරුද්ධ පක්ෂ නායකකම දෙන්න තියෙන්නේ එක ශ්‍රීලනිපය නම්, එක සභාපති නම් ඉන්නේ අන්න ඒ පක්‌ෂය කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඒක ආණ්‌ඩුවේද තියෙන්නේ විපක්‌ෂයේද තියෙන්නෙ කියා පරීක්ෂණයක් ‌ කර සොයා ගන්න. විපක්‌ෂ නායක කම  ආණ්ඩුවට  උකස්‌කරන්න දෙන්න එපා.

ස්‌වාධීන මන්ත්‍රී අජිත් කුමාර ,

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාතිශය බහුතරය ආණ්‌ඩුවේ ඇමැතිවරු. හැමදාම මෙහෙම තමයි. දෙපැත්තට බෙදිලා එක්‌තරා පැළැන්තියකට වුවමනා විදිහට නීති සම්පාදනය කළා. වෙනදා හංගලා ගේම ගැහුවේ. අද එළිපිට ගහනවා. ආණ්‌ඩුව හදන්න ද්‍රවිඩ සන්ධානය, ජවිපෙ එකතු වුණා. විධායක සභාවේ ඉන්නවා. එළිපිට මොනකතා කීවත් කවුරුත් ජනතාවට විරුද්ධව ආණ්‌ඩුවක්‌ කරනවා. මෙතරම් කලක්‌ හංගලා ගහපු ගේම එළිපිටම ගෙන ආ එක හොඳයි. මොකද්ද ආණ්‌ඩුව මොකද්ද විපක්‍ෂය කියා ජනතාවට පැහැදිලි කරලා දෙන්න.

කථානායකවරයා ,

හොඳයි මටත් මේක පොඩි ප්‍රශ්නයක්‌. ඒ නිසා කල් අරගෙන හොඳින් හිතලා තීන්දුවක්‌ දෙන්නම්.

අනුර දිසානායක

පාර්ලිමේන්තු සම්ප්‍රදාය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ගැන නිතර කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා අද නිහඬව සිටීම බරපතලයි.

කථානායක

අගමැතිතුමාගේ උපන් දිනය අද. සුබ පතනවා.

රනිල් වික්‍රමසිංහ – අවුරුදු 11 ක්‌ මම විපක්‍ෂනායක වී සිටියා. කිසිම ප්‍රශ්නයක්‌ තිබුණේ නෑ. මහින්ද රාජපක්‍ෂට උවමනා වුණා මාව එතැනම තියන්න. මම මේ පැත්තට ආවා විතරයි අර්බුද. මේ විපක්‍ෂ නායක ධුරය ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ නොවේ. විපක්‍ෂය විසදගත යුතුයි. දැන් ශ්‍රීලනිප මෙතැනට ඇවිත්. සම්ප්‍රදායෙන් ඉවත්වන තැනට ඇවිත්. විරුද්ධ පක්‍ෂය සමග කථානායකතුමා සාකච්ඡා කර ගත යුතු තීරණයක්‌. මෙතැන තියෙන්නේ අලුත් ප්‍රශ්නයක්‌. ද්‍රවිඩ ජාතික සන්ධානය සමගත් සාකච්ඡා කර විසඳුමක්‌ දිය යුතුයි.

සුසිල් ප්‍රේමජයන්ත,

අගමැතිතුමා විහිළුවට වගේ කීවා විපක්‍ෂයේ අවුරුදු 11 ක්‌ සිටියා ප්‍රශ්නයක්‌ වුණේ නෑ කියා. මම හිතන්නේ එතුමාට නැවත ඒ තනතුර දුන්නානම් මේ ප්‍රශ්නය විසඳෙනවා.

අගමැතිවරයා,

මම ලෑස්‌තියි අගමැතිකමයි විරුද්ධ පක්‍ෂ නායකකමයි දෙකම ගන්න.

සුසිල් ප්‍රේමජයන්ත ,

මේ පාර්ලිමේන්තුවේ 2010 මුලදී ස්‌ථාපනය වෙද්දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එජාපය, ද්‍රවිඩ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ තමයි තිබුණේ. එජනිස තුළ පක්‍ෂ 15 ක්‌ සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මන්ත්‍රීවරු විවිධ පැතිවලට ගිහින් අද වන විට එජනිස තුළ මන්ත්‍රීවරු 138 ක්‌ සිටිනවා. ඉන් 120 ක්‌ ශ්‍රීලනිප මන්ත්‍රීවරු. විපක්‍ෂ නායක ධුරය නොවේ අගමැති ධුරයත් එහෙමනම් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධුර ඇති පක්‍ෂයටයි හිමිවිය යුත්තේ. අද පාර්ලිමේන්තුවේ පක්‍ෂවල සංයුතිය සලකා බැලිය යුතුයි. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදීම සඳහා අදත් මන්ත්‍රීවරු 112 ක්‌ එජනිස ලෙස විපක්‍ෂයේ ඉන්නවා.

අනුර ප්‍රියදර්ශන යාපා,

එජාප ආණ්‌ඩුව නියෝජනය නොකළත් අනුර දිසානායක මහතා, ද්‍රවිඩ සන්ධානය විධායක සභාවේ සිටිනවා. ඒ අය කොයි පැත්තේද කියාත් සලකා බැලිය යුතුයි. අපි විපක්‍ෂය ලෙස කටයුතු කරන බව කියා සිටිනවා.

අනුර දිසානායක ,

කථානායකතුමාට රට භාරදී නෑ. එනිසා ඔබතුමා  එබදු  තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුව දෙස බලලා. පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුව මොකක්‌ද? විපක්‍ෂය මොකද්ද? සෙටප් කළ විපක්‍ෂ තිබිය හැකිද. සෙල්ලම් ගෙවල් වගේ විපක්‍ෂ හදන්න හැකිද කියා තමයි ඔබතුමා තීරණය කළ යුත්තේ.

කථානායක,

හැම දෙනාම කියනවා නම් අපි විපක්‍ෂය කියලා ඊළඟට මොනවද කරන්න වෙන්නේ?

(කරුණු උපුටා ගැනීම දිවයින පුවත්පත )