සිරිපාල ,සිරිසේන ස්ටෝර්ස් ගැන අපිට ෂුවර් නෑ (Photos)

0

19 සංශෝධනයට විරුද්ධ වෙන පිරිස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට දාපු 18ට අත් ඉස්සුවේ මොනට්සෝරි ළමයි සේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සේම එක්සත් ජාතික පක්ෂය සමග කිසිදු එකගතාවයක් සදහා පැමිණ නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා ,

“මේ වන විට 19වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙනවා.එය ජනතා ජයග‍්‍රහණයක්.ඒ වගේම අලූතින් ඇමති ධුර 26ක් දිවුරුම් දීලා තිබෙනවා.එය ජනවරමට පටහැණියි.19වැනි ව්‍යවස්ථා සංශෝධනය ආවේ සරලව නෙවෙයි.ජාතික විධායක සභාව තුළත් වෙනත් විවිධ සාකච්ඡාවලත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා.ඒ වගේම විවිධ කණ්ඩායම් වල බාධා කිරීම්, කකුලෙන් ඇදීම්, අස්සේ තමයි පාර්ලිමේන්තුවට ආවේ.තිබුණ බාධාවල හැටියට මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ආපු එක විශාල ජනතා ජයග‍්‍රහණයක්.ස්වාධීන කොමිෂන් සභා නැවත බලගැන්වීම, යහපාලනයට අදාල කරුණු විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම සංශෝධනයට ඇතුළත් වීම විශාල ජයග‍්‍රහණයක් ලෙසයි අපි සළකන්නේ.

ජවිපෙ මුල සිටම කිව්වේ විධායක ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියලා.නමුත් 19වැනි ව්‍යවස්ථාවට අනුව විධායක ක‍්‍රමයේ යම් බලතල ප‍්‍රමාණයක් අහෝසි කර තිබෙනවා.විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල විශාල ප‍්‍රමාණයක් අඩුකර ඒකාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීමට අප එකඟ වෙන්නේ තව දුරටත් එහාට ගොස් මුළුමනින්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේත් මැදිහත්වෙන්නේ 19වැනි සංශෝධනයට අනුව විධායක බලතල තවදුරටත් අඩු කිරීමටයි.එහි අරමුණ විධායක බලතල ජනාධිපතිවරයාගෙන් ගලවා අගමැතිවරයාට පැවරීම නෙවෙයි.අපේ අරමුණ එම විධායක බලතල පාර්ලිමේන්තුවටත් ඇමති මණ්ඩලයටත් බෙදී යන ලෙස සංශෝධනය කළයුතු බවයි.මේ සංශෝධනයේ මුලදී තිබුණා, ජනාධිපතිවරයා රටේ නායකයා වන අතර ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා කියලා.නමුත් පසුව එය වෙනස් කරලා ජනාධිපතිවරයා සේනාධිනායකයා, රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා කියලා තවදුරටත් එම සංශෝධනයේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ පරණ තත්වයමයි. කලින් ජනාධිපතිවරයාත් දැන් ජනාධිපතිවරයාත් අතර කිසිදු වෙනසක් නැහැ.
අපේ ස්ථාවරය මෙම බලතල වත්මන් ජනාධිපතිවරයාට පමණක් වලංගු වියයුතු බවයි. මෛතී‍්‍රපාල සිරිසේනගෙන් පසු එම බලතල අහෝසි විය යුතුයි. දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කාර්යභාරයයි.19වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මතකරගත යුතුයි.ඒ වගේම 19ට අත්‍යාවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ඉන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනයට අකුල් හෙළන පැත්තේ නොව කෙසේ හෝ සම්මත කරගත යුතුයි කියන පැත්තේ.

නමුත් මෙහි අඩුපාඩු අපි දකිනවා.පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවෙලා තිබුණා 19ට ජේ.වී.පී.එක විරුද්ධයි කියලා.එය නිවැරදි නැහැ. අපි 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනන විශාල කාර්යභාරයක් කළා.සාකච්ඡා , සම්මන්ත‍්‍රණ, තියලා සමාජයේ විශාල කතාබහක් ඇතිකළා. ජාතික විධායක සභාව තුළ මේ වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් කළා.

19වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බාධා මතුවෙලා තිබෙනවා.එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය තවමත් පැහැදිළිව කියලා නැහැ. විපක්‍ෂ නායකයා යැයි කියාගන්නා නිමල් සිරිපාලද සිල්වා 19 සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර විශාල ඝෝෂාවක් කළා.සෑහෙන බාධා කළා. ඔවුන්ගේ සියලූ තර්ක පිටුපස තිබුණේ එය ප‍්‍රමාද කරලා ඒ හරහා පාර්ලිමේන්තු මහ මැතිවරණය ප‍්‍රමාද කර මේ පාර්ලිමේන්තුව තවදුරටත් ඉදිරියට ඇදගෙන යාමටයි.ඒ නිසා 19 සමඟ මැතිවරණ ක‍්‍රමය සංශෝධනයත් එකට ගේන්න කිව්වා.නමුත් දැන් තවම අවසන් ස්ථාවරය ඔවුන් ප‍්‍රකාශයට පත්කරලා නැහැ.

මේ සියලූ ඝෝෂාවන් කළේ ඇමතිකම් ගන්න නම් ඇමතිධුර 26 ලැබුණට පස්සේ හැසිරෙන විදියට අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන්.ඒ වගේම චම්පික රණවක ඇමතිවරයා 19ට විරුද්ධ වන බවත් එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරන බවත් කියා තිබුණා.එය ජනවරමට පටහැණියි.ඔහු එහෙම කියනවා නම් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන අපේක්‍ෂකයා පැත්තේ හිටියේ කොහොමද? මොකද, ප‍්‍රධාන සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමයි.සෝභිත හාමුදුරුවෝ පොදු අපේක්‍ෂකයෙක් හෙව්වේ ඒ සඳහායි. මෛතී‍්‍රපාල මහත්තයා එය ජනාධිපතිවරණයේදීත්, ඊට පසුවත් කීප අවස්ථාවකදීම කියා තිබුණා. චම්පික රණවකලා උත්සාහ කරන්නේ පහුගිය කාලයේ තිබුණු විධායක ජනාධිපතිධුරය නැමති යකාම තියා ගන්නද? ඔවුන් හැසිරෙන්නේ කුමණ අරමුණකින්ද යන්න ගැටළු සහගතයි. චම්පික රණවකලාගේ දේශපාලන ඉතිහාසයත් ඒ වගෙයි. ඔවුන් පෙනුමට ප‍්‍රගතිශීලීයි, ජනතාවගේ පැත්තේ කියලයි කියන්නේ. නමුත් ඔවුන් කි‍්‍රයාත්මක වෙන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තේ ඉඳලයි.

19වන සංශෝධනය සේනාධිනායකයා, රටේ නායකයා, ආණ්ඩුවේ නායකයා ජනාධිපතිවරයා වියයුතු බව ඔවුන්ගේ මතයයි.මෙම බලතල තුනම තිබෙනවා නම් කලින් එකෙයි මේකෙයි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ.පසුගියදා ලැබුණු ජනවරමට අනුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පාර කපන, ජනතා කැමැත්ත සහිත මේ සංශෝධනයට විරුද්ධව කතාකරන චම්පික රණවකලා පහුගිය ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ජනාධිපති ධුර කාලය වසර දෙකේ සීමාව ඉවත් කළ, විධායක බලතල ශක්තිමත් කරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට ඇදලා දැමූ ස්වාධීන කොමිෂන් සභාවල බලය අහෝසි කරපු 18 සංශෝධනයට මොන්ටිසෝරි ළමයි වගේ අත ඉස්සුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පාර කපන 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන කොට විරුද්ධ වෙනවා නම් ඔවුන් නියෝජනය කරන්නේ කව්ද? ඔවුන් ජනතාව, ජනවරම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන්නේ නැහැ. මේ වෙලාවේ පමණක් නෙවෙයි චම්පික රණවකලා 17වැනි සංශෝධනය ගේනකොටත් මේ දේම කළා.17 සංශෝධනය කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල යම් ප‍්‍රමාණයකට අඩු කරපු කොමිෂන් සභාවලට බලය පවරපු සංශෝධනයක්.ඒ වෙලාවේදී ඔවුන් ඡන්දය දුන්නේ නැහැ.චම්පිකලා ඡන්දය දෙන්නේ ඔත්තේ, ඉරට්ටේ ක‍්‍රමයට කියලා.17ට, 19ට ඡන්දය දෙන්නේ නැහැ.18ට දුන්නා. 20ක් ආවොත් ඒකටත් ඡන්දය දෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන අවසන් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න ලැබුණු මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේ නැත්නම් ඒ කණ්ඩායම් ඉන්නේ ජනතා විරෝධී ප‍්‍රතිවාදී පිලක. ඒකාධිපතීන් සෙවනේ ඉන්න කැමති අයට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්.ඒ වගේම ඔවුන්ට කැමැත්තක් තියෙනවද දන්නෑ කවදා හෝ දවසක මෙවැනි බලතල අත්පත් කරගැනීමට.
19වැනි සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පාර කපලා තිබෙනවා.රාජ්‍ය සේවයට, මැතිවරණ කොමසාරිස්ට, පොලීසියට, අධිකරණයට, ජනාධිපතිවරයාට බලපෑම් කළ නොහැකි පරිදි ස්වාධීන කොමිෂන් සභාවලට යනවා.

ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහෝසි වෙනවා.ඒ වගේම ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන්ද සංශෝධනයක් තිබෙනවා. ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණයි උසාවියට කැඳවිය හැක්කේ. නමුත් එහි අඩුපාඩුවක් තිබෙනවා. ඔහු හොරකම් කළොත් උසාවියට ගේන්න බැහැ. අපි කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්ට අදාල වෙන පරිදිම ජනාධිපතිවරයාත් නීතිය හමුවට ගෙන ආ හැකි පරිදි මෙම සංශෝධනය සකස්විය යුතුයි කියලා.

මේ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග ජනතා බලපොරොත්තු බිඳ දමමින් තිබෙනවා.දින 100න් එහා රට පාලනය කරන්න මේ ආණ්ඩුවට බැහැ. ආණ්ඩුවට තිබෙන්නේ දින 100ක් ඇතුළත කාර්යභාරයක් පමණයි. නමුත් දින 100ක් යන්න කලින්ම මේ ආණ්ඩුවත් පරණ පාරේම යනවා.කිසි වෙනසක් නැහැ. මුලින්ම ඇමති ධූර ලබාදීමේදී ජනතා විරෝධයක් ආවා. ඒවගේම ඇවන්ගාඞ් සිද්ධිය, චෝදනා එල්ල වී තිබූ ක්‍ෂෙනුකා සෙනෙවිරත්නට තානාපති ධුරයක් පිරිනැමීම, විවිධ නිලධාරීන් පත්කිරීමේදී ඇතිවූ ගැටලූ වගේම මහ බැංකු අධිපතිවරයා යටතේ විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම වැනි වැරදි ගොඩක් මේ ආණ්ඩුව කළා.

ඒ අතර තමයි මේ ආණ්ඩුව තවත් ඇමතිධුර 26ක් දීලා කණ්ඩායමක් එකතු කරගත්තේ.අපේ රටේ ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානය පරායට පත්කළා.නමුත් මේ ආණ්ඩුව පැරදුනු සන්ධානයේ පිරිසකට ඇමතිකම් දුන්නා.මෛතී‍්‍ර පරද්දන්න වැඩ කරපු, ඔහුට මඩ, අවලාද නගපු, අයට ඇමතිකම් පුදනවා.ඒ අයත් කිසිම ලැජ්ජාවකින් තොරව ඇමතිකම් බාරගන්නවා. එස්.බී.ලා, පවිත‍්‍රලා, ජනාධිපතිවරණයේ කියපු කතාවල හැටියට මෛතී‍්‍රපාලගේ මුහුණ බලන්නේ කොහොමද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා.

ඔවුන් මෛතී‍්‍රපාලට වැඳලා ඇමති ධුර ගන්න කොට අපිට ලැජ්ජයි. පවිත‍්‍රලා මහින්ද ළඟත් දණින් වැටිලා හිටියේ ඇමතිකම් වෙනුවෙන්.සන්ධානයේ සමහර කණ්ඩායම් උසාවියට කැඳවලා චෝදනා පත‍්‍ර භාරදෙයි කියලා ජනතාව බලාගෙන හිටියා.එහෙම අයට මේ ආණ්ඩුව ඇමතිධුර දෙනවා. වැරදි කරපු අය ජනාධිපති කාර්යාලටය කැඳවලා ඇමතිකම් දෙනකොට යහපාලනය අර්ථකථනය කරන්නේ කොහොමද? දෙපැත්තේම අයට ලැජ්ජා නැහැ. මාසයකට ඇමතිකම් අරගෙන මොකද කරන්නේ? ඒනිසා මේ ආණ්ඩුවේ කි‍්‍රයා අපි බරපතල ලෙස හෙළා දකිනවා.දැන් කතාවක් යනවා, 19 සංශෝධනයට සහාය ගන්න ඇමතිකම් දුන්නලූ. 19 සංශෝධනය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවාදී එකක් සම්මත කරගන්න මන්තී‍්‍රවරුන්ට කප්පම් දෙනවා නම් මේ පාර්ලිමේන්තුව තව දුරටත් තියාගෙන ඉඳලා මොකටද?අතීතයේත් දැනුත් සිදුවෙන්නේ එකම දෙයක්.අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂය කවුද කියලා කතානායකවරයා දන්නෙත් නැහැ.

පාර්ලිමේන්තු ක‍්‍රමය විහිලූවට ලක්කරලා ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට ඇතැම් පිරිස් බාධා කරමින් ඉන්නවා.ආණ්ඩු කරන්න ශී‍්‍රලනිපයට ජන වරමක් නැහැ. ඔවුන් පරාජයට පත්වුණා.ඒ නිසා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි.මේ හේතු නිසා රටේ විශාල දේශපාලන අවුලක් ඇතිවෙලා තියෙනවා.
ආණ්ඩුවේ වරප‍්‍රසාද බුක්තිවිඳින අයගේ ගොඩට ජවිපෙත් දාගන්න හදනවා.හෙළ උරුමය, ශී‍්‍රලනිපය ඇමතිකම් අරගෙන ජනතාවාදී කි‍්‍රයාමාර්ගවලට බාධා කරන ගමන් ජවිපෙත් ආණ්ඩුවේ කියලා අදහස් පළ කරනවා.අපි ජාතික විධායක සභාව නියෝජනය කරන නිසා ආණ්ඩුවේ ගොඩට දානවා.

ආණඩුව කියන්නේ අගමැතිවරයා ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයටයි. අපි ඇමති මණ්ඩලයේ නැහැ. අපි පැහැදිළිවම පාර්ලමේන්තුවේ විපක්‍ෂයේ වාඩිවෙලා ඉන්නේ. දින 100 ඇතුළත සිදුකළ යුතු ව්‍යවස්ථා සංශෝධන ඇතුළු යහපාලනයට අදාළ විශේෂ කාර්යයන් කිහිපයක් සම්බන්ධයෙන් තමයි අපි ජාතික විධායක සභාව තුළ කටයුතු කරන්නේ. නමුත් ජාතික විධායක සභාවෙන් යම්කිසි සහනයන් ප‍්‍රමාණයක් ජනතාවට ලබාදීමට අපි කටයුතු කළා. නමුත් තව දුරටත් එහි සාකච්ඡා කෙරෙන දේවල් කෙරෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒවගේම මේ වනවිටත් වංචාව දුෂණවලට සම්බන්ධ පිරිස්වලට නඩු පවරන්න කටයුතු කරමින් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කළ පැමිණිලි අනුවයි.සජින් වාස් ගුණවර්ධණ, මහින්දානන්ද, වරාය සභාපති පි‍්‍රයත් බන්දු වැනි පුද්ගලයින්ට නඩු පැවරීමට හේතු වුණේ අපි විසින් සිදුකළ පැමිණිළියි.

මේ වන විටත් අල්ලස් කොමිසමේ සිදුකෙරෙමින් තිබෙන සමහර පැමිණිලිවලට සහාය දුන්නේ අපි. මේ පරීක්‍ෂණවලට සෘජුවම වගකියන්න ඕනෑ නීතිපති දෙපාර්තමේන්තුවයි. ඊට වගකියන්න ඇමතිවරයෙක් ඉන්නවා. අපි ආණ්ඩුවට වගකියන්නේ නැහැ. අපි වගකියන්නේ ජනතාවටයි. අපි කිව්වා, මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න කියලා. මහින්ද පරාජයට පත්කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දිසාවට පාර කැපුවා. එහි යම් ප‍්‍රතිඵල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒවා කළේ අපි ආණ්ඩුවට ගිහින් නොවෙයි.ජාතික විධායක සභාව තුළ තවදුරටත් ඉන්නවාද නැද්ද කියලා තව දින කිහිපයක් තුළ තීරණයක් ගන්නවා.මේ සම්බන්ධයෙන් ජාතික විධායක සභාව තුළ දැඩිලෙස ප‍්‍රශ්න කරනවා.ඊයේ පැවැත්මට තිබුණු විධායක සභාව කල් දැමීම ගැටළුවක්. විධායක සභාව වහාම කැඳවන ලෙස අපි අවධාරණය කරනවා.

මහින්ද පරාජයට පත්කරන්න කටයුතු කළේ මෛතී‍්‍රපාල පමණක් නොවෙයි.දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, පුද්ගලයින් විශාල ප‍්‍රමාණයක් මහින්ද පරාජය කිරීමේ සටනට එකතු වුණා. සටනේ හිටපු අයයි, සටනේ හිටපු නැති අයයි දැන් ආණ්ඩුවක් හදලා.මහින්ද පරාජය කරන්න සටන් කරපු සියලූ බලවේගවලට සොයා බලන්න අයිතියක් තිබෙනවා, මේ ආණ්ඩුව කරන දේවල් පිළිබඳව.දැනට සෘජුව ආණ්ඩුව තුළ නැති එම සියලූ බලවේග සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.තවදුරටත් ජනවරමට පිටුපාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විහිළුවට ලක්කරලා කටයුතු කරනවා නම් තව දුරටත් එයට අනුකම්පා කරමින් ජාතික විධායක සභාව තුළ ඉන්න ඕනකමක් අපට නැහැ.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්

මේ ආණ්ඩුව පරාජයට පත්කළ හැක්කේ මැතිවරණයකින් පමණයි.ජනවරම කි‍්‍රයාත්මක කරන්න ජනතාව නියෝජනය කරන නියෝජිතයින් සහිත පාර්ලිමේන්තුවක් හදන්න ඕනෑ.ඒ සඳහා ජවිපෙ නියෝජනය වැඩි කරන්න කියලා අපි ජනතාවට කියනවා.නමුත් දැන් මේ පාර්ලිමේන්තුව තමන්ට පැවරී ඇති වගකීම ඉටුකළ යුතුයි.

ශී‍්‍රලනිපයේ සහාය නැත්නම් 19 සම්මත කරන්න බැහැ. දැන් ප‍්‍රශ්නයක් තිබෙනවා, ශී‍්‍රලනිපය පාලනය කරන්නේ නිමල්ද, මෛතී‍්‍රද කියලා. දැන් ශී‍්‍රලනිපයේ කණ්ඩායමක් ආණ්ඩවුට ගත්තා. ඒක නිමල් සිරිපාලගේ එකඟතාවයකින් වුණු දෙයක්ද කියලත් අපිට සැකයි. ඒ නිසා 19 පාර්ලිමේන්තුවට දාලා ඡන්දයක් තියමු. ඡන්දය දෙන නොදෙන අය එතකොට බලාගන්න පුළුවන්. මෙවැනි සංශෝධනයකට ඡන්දය නොදෙන්නේ ප‍්‍රතිගාමී පිරිස්.

අපි මේ වන විටත් රටපුරා ජනහමු, රැලි, සම්මන්ත‍්‍රණ කරමින් ජනතාව දැනුවත් කරමින් ඉන්නවා.මැතිවරණයේදී තරඟවදින ක‍්‍රමය පිළිබඳව තාම හිතලා නැහැ. විද්වතුන්, වෘත්තිකයන් සමඟ අපි මැතිවරණයට එන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ශී‍්‍රලනිපය හෝ එජාපය සමඟ කිසිදු එකඟතාවයකට එන්නේ නැහැ.අපි වෙන අයට වගේ තනතුරු ගන්න වුවමනාවක් නැහැ. රටේ ජනතාව තමයි තීරණය කරන්න ඕනෑ අගමැති ධුරය හෝ ආණ්ඩුව හෝ ජනතා විමුක්ති පෙරමුණට දෙනවද කියලා.ජනතාව දෙන ඕනම තනතුරක වැඩ කරලා පෙන්නවන්න අපිට පුළුවන්.කලින් කිව්වා වගේම මේ කඩ දෙකේම බඩු ගැන අපිට ෂුවර් නැහැ.

දැන් ජවිපෙ කඩයක් අරින එකයි කරන්න තිබෙන්නේ.ශී‍්‍රලනිපයත් එජාපයත් ජනතාව ගැන හිතන්නේ නැහැ.ඔවුන් හිතන්නේ බලය ගැන පමණයි.පසුගියදා මේ ආණ්ඩුවට විරුද්ධව හොරුන්ගේ ආණ්ඩුවක් කියලා මහබැංකුව ඉදිරිපිට උද්ඝෝෂණය කරපු ශී‍්‍රලනිපය මේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නවා.මේ ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අල්ලස් කොමිසමට ගිය මන්තී‍්‍රවරු දෙන්නෙක් දැන් ඇමති මණ්ඩය නියෝජනය කරනවා.මේක ඉතා විහිළු සහගත දෙයක්. මෙය සිනාවිය යුතු විහිළුවක් නම් නෙවෙයි බරපතල එකක්.ජනතාව මේ පිළිබඳව හොඳින් කල්පනා කරන්නඕනෑ.ඉදිරියේ තීරණ ගතයුතු වන්නේ ඒ අනුවයි. මීට පෙරත් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරනවා කියලා ඇතැම් පිරිස් ආණ්ඩුවට එකතු වුණා.කලින් ආණ්ඩුවේත් ඉන්නකොට රනිල් එක්ක මාරාන්තිකව හැප්පුණු පිරිස් අද රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් දරනවා.මේ කැත වහගන්න මොනවා කළත් වැඩක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් මතවාදී අරගලයක් කරනවා.

ජනතාව දැනුවත් කරනවා. ජනතාවට කියනවා මේ විහිලූ සපයන්නන් පිළිබඳව ඉදිරියේදී තීන්දුවක් ගන්න කියලා. ආණ්ඩුවට ඇමතිවරු ඉන්නවා.නමුත් අපට ජනතාව ඉන්න බව විශ්වාසයි.හැම වෙලාවෙම ජනතාව ඉන්න පැත්ත ජයග‍්‍රහණය කරනවා.දැන් මතයක් හදනවා විධායක ජනාධිපති නැත්නම් රට දෙකඩ වෙනවා කියලා.ජනාධිපතිවරු ඉද්දී තමයි අපේ රට දෙකඩ වෙන්න ගියේ.ඒක වළක්වන්න ජනාධිපතිවරුන් ඉඳලත් බැරි වුණා.
පාර්ලිමේන්තුවට බලය තියෙනවා නම් රට දෙකඩ වෙන්න ඒ පාර්ලිමේන්තුවේ කව්ද කැමති වෙන්නේ ?”

1 3