රටක් නොවේ කියු අයට රටේ තැනක් දීම

0

ලංකාව රටක් ‍නෙවෙයි, ලංකාවේ ව්‍යාපාරවලින් වැඩක් නෑ කියලා 2005 දී ඉංග්‍රීසි පත්තරයකට කියු අර්ජුන් මහේන්ද්‍රන් 2015දි මේ රටේ මහ බැංකු අධිපතිවරයා විදිහට ගෙන ආ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.ඊයේ (30) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර අවධාරණය කළේ රටේ දැනට නම් කර සිටින මුදල් ඇමැති වෙනුවට තවත් මුදල් ඇමැතිවරයෙක් ක්‍රියාත්මක වෙන බවයි.

“මහ බැංකුවේ සිදු වුණු දේ ගැන කිව යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2005 වසරේ හිටියේ සිංගප්පූරුවේ එක්තරා මූල්‍ය සමාගමකයි. ආර්ථික උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කළා. මොහු 2005 දී කියනවා ඉංග්‍රීසි පත්තරයකට, ලංකාව රටක් ‍නෙවෙයි, ලංකාවේ ව්‍යාපාරවලින් වැඩක් නෑ කියලා කිව්වා. මෙහෙම කියපු මිනිහව මේ රටේ මහ බැංකු අධිපතිවරයා විදිහට ගෙනාවා. මේ තෝරා බේරා හොයාගෙන තීන්දු කරලා ගෙනාව කෙනා තමයි අර්ජුන් මහේන්ද්‍රන්. මහ බැංකු මූල්‍ය ගැටලුව යටතේ හරි නම් අග්‍රාමාත්‍යවරයාත් නිවාඩු යා යුතුයි. මෙතරම් බරපතළ චෝදනා තියෙද්දී එතුමා අගමැතිකම දරන්නේ කොහොමද? මේ පත්වීම කළේ අගමැතිවරයා කියලා පත්තරවල තිබුණා. එහෙම ‍නෙවෙයි නම් ඒ චෝදනාවලට උත්තර දෙන්න ඕන. අද මේ ජනවරමක් නැති අගමැතිවරයෙක් පත් කිරීම ජනතා පරමාධිපත්‍ය පැහැර ගැනීමක්. පාර්ලිමේන්තු සුළුතරය ඉන්නා පක්ෂයට අගමැති ධුරය දීමත් රාජ්‍ය විරෝධී ක්‍රියාවක්.”

“අද උදේ පත්තරවල මට දකින්න ලැබුණා මේ රටේ දැනට නම් කර සිටින මුදල් ඇමැති වෙනුවට තවත් මුදල් ඇමැතිවරයෙක් ක්‍රියාත්මක වෙන බව, පස්කරලිංගම් නමින්. ඔහුගේ ජනවර්ගීය අනන්‍යතාව මට ගැටලුවක් ‍නෙවෙයි. ඔහු මෙරට ප්‍රබල ජනාධිපතිවරයකු යටතේ මූල්‍ය මෙහෙයුම් කටයුතු කරලා මේ රටින් පලා ගිහින් මෑත කාලයෙයි ඇවිත් තියෙන්නේ. එතුමා කියලා තිබුණා විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම් කරපු නීතිය වෙනස් කරන්න ඕන කියලා. විදේශිකයන්ට ඉඩම් ගැනීම තහනම් කරලා තිබුණෙත් වෙනම පනතක් මගින් අපේ ආණ්ඩුව කාලයේ. නමුත් බද්දක් ගහන්න පුළුවන්කම තිබුණා. ඒ බද්දටත් ලොකු බද්දක් ගැහුවා. ගන්න බැරි තරම් බදු කරයක් අපි ගැහුවා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා විදේශිකයන්ට ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට අයිතිය දෙන්න ඕන කියලා අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපේ තියෙන මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අපේ බදු නිදහසක් ලබා දෙනවා. මෙම බදු විරාමය ඉස්සර හිතුමතේ ලබා දුන්නා. ඒක අපේ ආණ්ඩු කාළේ නැවැත්තුවා. සෑම මූලෝපායීක සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මේ පාර්ලිමේන්තු අභිමතය දැන් අවසන් කළ යුතුයි කියලා මෙම අලුත් සැඟවුණු මුදල් ඇමැතිවරයා කියනවා. හිතුමතේ බදු විරාම ලබාදීම තමයි එජාපය කා‍ලේ වුණේ. එය වෙනස් කළ පසුගිය ආණ්ඩුවට තමයි අද චෝදනා කරන්නේ.”