යහපාලනයටත් කදුළු ගෑස්

0

වත්මන් පාලනයද රාජපක්ෂ පාලනය හා නොදෙවිනි බව ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළින්ම අද දිනයේදී ඔවුන් තහවුරු කලා.ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට කොල්ලූපිටිය මංසන්ධිය ආසන්නයේදී අද පස්වරුවේ පොලීසිය කඳුළු ගෑස් සහ ජල කදම්භ ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගින්.

වත්මන් රජය ගත් කටටම ප්‍රකාශ කරනු ලබන්නේ රටේ නිදහස් අධ්‍යාපනය සුරකිමින් මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී කටයුතු කල කිරුළු අහිමිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය නම් රන් දෙවොලට සළුපිලි පලන්දන බවයි.නමුත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පිළි නිර්මාණය කිරීමට උත්සහ කරන්නේ බැටන් පොළු ,කදුළු ගෑස් හරහාද යැයි අද අපට යහපාලකයන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නයයි.

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද දිනයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලේ ,අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි .ඒවාට විසදුම් ඉල්ලූ සිසුන් මර්ධනය කිරීමට අද වත්මන් රජය කටයුතු කලේ යහපාලන නිරුවත අමු අමුවේ සමාජය තුළ ප්‍රදර්ශනය කරමිනි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර හයිලෙවල් මාර්ගය ඔස්සේ ඔවුන් තුන්මුල්ල මංසන්ධියට පැමිණියා. අනතුරුව ගාලූ පාර ඔස්සේ අරලියගහ මන්දිරය වෙත ළඟාවීමටයි සිසුන් උත්සාහ කළේ. එම අවස්ථාවේදී මෙම පා ගමන වැළැක්වීමට පොලීසිය ජල කදම්භ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.