වැඩේ දෙන්න ඕනේ ගමෙන්

0

පෙර පැවති සියලුම රජයන් ග්‍රාමීය ජනතාවගේ අවම මාසික ආදායම රු.30,000ක් මට්ටමට ගෙන ඒමට විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කල ද ඒවා සාර්ථක නොවූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජොශප් මයිකල් පෙරේරා සදහන් කලා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(06) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පත් වූ නව ග්‍රාම නිළධාරීන් 140 දෙනෙකුට විධිමත් පත් වීම් ලිපි ප්‍රදානෝත්සවයට එක් වෙමින්.

රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී පළමුව ගම සංවර්ධනය කල යුතු බැවින්, මෙම කටයුත්ත ආරම්භ කල යුත්තේ ජාතික මට්ටමින් නොව ග්‍රාමීය මට්ටමින් බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අනුව ඊට සුදුසුම කණ්ඩායම ග්‍රාම නිළධාරීන් බවත්, නීතී රීතී වලට යට නොවී හිතට එකගව කටයුතු කරන්නෙකු බවට ග්‍රාම නිළධාරීන් පත් විය යුතු බවත්, ඔහු අවධාරණය කලා. එමෙන්ම ගම තුළ ආගමික නාකයන් සහා අනෙකුත් සියලුම නායකයන් සමග සහයෝගයෙන්, දේශපාලන බේද නොතකා කටයුතු කිරීමටත්, නීතී-පෙළඹවීම් මත නොව වෘත්තීයේ වගකීම හදුනාගෙන සියල්ලන්ටම ආදර්ශයක් වන ලෙස කටයුතු කිරීමටත් දැඩිව සිතට ගත යුතු බවද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී නවක ග්‍රාම නිළධාරීන් හට උපදෙස් ලබා දුන්නා.

ගම් නගා සිටුවීම අරමුණු කර ගනිමින්, නවක ග්‍රාම නිළධාරී හට ස්ථිර පත් වීම් ලබා දීමේ වැඩපිළිවෙළ දියත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නව ග්‍රාම නිළධාරීන් 800ක් පත්කර තිබෙනවා. මෙම නව ග්‍රාම නිළධාරීන් සදහා මාස 03ක විශේෂ පුහුණුවක් ලබා දී ඇති අතර, එහිදී ග්‍රාම නිළධාරියාගේ වගකීම් සහ යුතුකම් මෙන් ම, ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව ද පූර්ණ අවබෝධයක් ලබා දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් S.D.A.D.බොරලැස්ස සදහන් කළා.

ග්‍රාම නිළධාරියෙකු ලෙස තමන් සේවය කරනා ග්‍රාමය පිළිබදව පූර්ණ තොරතුරුවලින් සන්නද්ධ විය යුතු බවත්, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තමන් සේවය කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බවත්, නවක ග්‍රාම නිළධාරින්ට ඔහු අවධාරණය කළා. මෙම ස්ථීර පත් වීම් ලැබීමෙන් අනතුරුව, “තමන් දැන් රජයේ සේවකයෙක් ය, ස්ථීර සේවකයෙක්‍ ය”, යන්න නොසිතා ගම සංවර්ධනයට කල හැක්කේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කල යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

මේ වන විට ලංකාවේ ග්‍රාම නිළධාරීන් 14,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, අද (06) බස්නාහිර පළාතෙන් පත් වීම් ලැබූ 140න් 128 දෙනෙකුම කාන්තා නිළධාරීන් වීමද විශේෂත්වයක්.