කතා දෙකක් නෑ ,මහින්දට බෑ!

0

රාජපක්ෂලාට නැවත කිසිවිටෙකත් මෙරට බලයට පැමිණිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ පවසයි.අප්‍රේල් විරු සමරුවට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමවංශ අමරසිංහ ,

අපි සෑහෙන කාලෙකින් තංගල්ලට ආවා.අපිට මේ ප‍්‍රදේශයට එන්න ලැබෙන්නේ නැතිවෙයි කියලා බොහෝ අය හිතුවා.නමුත් රටේ හැටදෙලක්ෂයක් ජනතාව ඒ සඳහා ජවිපෙට අවසර ලබාදී තිබෙනවා.අද අපි කියන දේවල් අහගෙන ඉන්න බැරි අය තංගල්ලෙන් ගිහිල්ලා.අපි කියනවා යන්න එපා මේවා අහගෙන ඉන්න කියලා.සමහරු ආයෙත් අගමැති වෙන්න හදනවා.තව තව දේවල් බලාපොරොත්තු වෙනවා.අඩු ගානේ ප‍්‍රාදේශීය සභාවකටවත් තේරෙන්න ඕන නම් අපි කියන දේවල් අහගෙන ඉන්න කියලා අපි කියනවා.අපි හිතන්නේ නැහැ පහුගිය නායකයෝ ආයෙත් ප‍්‍රාදේශීය සභාවකටවත් තෙරේයි කියලා.ගොඩක් කතා කළ යුතු නැහැ ඒ ගැන.මේ ටික කියන්නම ඕනෑ. අපි කියනවා රාජපක්ෂලා මේ රටේ නැවත බලයට එන්නේ නැහැ. කිසි දෙගිඩියාවක් නැතිව කියන්නේ.මොකද ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයේදී ඡන්ද පෙට්ටි පිරෙව්වා.හැට දෙලක්ෂයක්. ඊට පස්සේ මොකද වුණේ කියලා ඔබලා දන්නවා.පහුවදා අලූයම කුමන්ත‍්‍රණයක් වුණා.

2010දී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව සරත් ෆොන්සේකා මහත්තයා ඡන්දේ ඉල්ලූවා.ජනාධිපතිවරණයෙන් පසු පරාජිත අපේක්ෂකයාට ඒ වගේම මේ රටේ යුද්දේ දිනන්න මැදිහත්වුණු තීරණාත්මක හමුදාපතිට කොහොමද රාජපක්ෂලා සැලකුවේ.එතුමගේ කාර්යාලයේ ඉඳලා බිම දාලා ඇදගෙන ගියා.වාහනේ දැම්මා කොහො ගිහින් දැම්මද දන්නේ නැහැ. මමත් තවත් පක්ෂ නායකයින් කිහිපදෙනෙක් ඇස් දෙකෙන් දැක්කා මේ සිදුවීම.ඒවා නැවත මතක් කරලා දෙන්න ඕනෑ.එතුමාගේ බිරිද හෙව්වා කොහෙද කියලා.අවුරුදු තුනකට පස්සේ තමයි එළිය දැක්කේ. ඔන්න එතුමා ගෙදර ගිය හැටි. අපේ වෙනස්කම් තියෙනවා. ෆොන්සේකා මහත්තයා එක්ක වෙනස්කම් තිබෙනවා.මහින්ද රාජපක්ෂත් එක්ක ලොකු වෙනස්කම් තිබෙනවා. එහෙම වෙන්න ඕනෑ. ඒවට තමයි අපි පුරුදු වෙන්න ඕනෑ.

දැන් මෛත‍්‍රීපාල මහත්තයත් දිනුවා.එතකොට මේ මහත්තයා කොහොමද ආවේ.හිටපු ජනාධිපති රාජපක්ෂ ලස්සනට හෙලිකොප්ටරයෙන් වඩම්මලා කාල්ටන් නිවසේ තැන්පත් කළා.ඒක එහෙම කියන්න ඕනෑ මොකද ආයේ බලයට එන්නේ නැති නිසා.ඒකම ඇති ශිෂ්ඨකමයි අශිෂ්ඨකමයි හඳුනාගන්න. පාදඩකමයි හැදියාවයි හඳුනාගන්න.මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ඕන කෙනෙක් පත්කරන්න ජනාධිපතිකමට,අගමැතිකමට. නමුත් රාජපක්ෂ පවුලට ගෑවුන කෙනෙක් කවදාවත් බලයට පත්කරන්න එපා.එහෙම වුණොත් නැවත අශිෂ්ඨ, පාදඩ දේශපාලනයක් එනවා කලින් වගේම.අපේ රටේ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලනවා.නැවත බලය දෙනවා කියන්නේ මේ රටේ අභාග්‍යයක්. සුමනදාසලා වගේ වටේ හිටපු අය කාලයක් ඔහු රැවැට්ටුවා. ඒ නිසා ඒ වගේ නොදියුණු මිනිස්සුන්ට අපේ රට භාරදෙන්න එපා නැවතත්. අලූත් යුගයක් පාදාගන්න ඕනෑ. ඒ සඳහා අවස්ථාව උදා වෙලා තිබෙනවා.

සිරිසේන මහත්තයා මේ වෙනකල් මහත්තයෙක් වගේ වැඩ කරලා තියෙනවා කියලා අපි හිතනවා.මේ රටේ පාලකයේ ශිෂ්ඨකමක් පෙන්නලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ බලපෑමක් තියෙන හැම වෙලාවකම.නමුත් පොඩි කලවමක් තියෙනවා දැන්. නමුත් අපිත් අවුල් කරගන්න ඕන නැහැ.තව දින කිහිපයයි. මැතිවරණ කල්දාන්න සමහරු කතා කරනවා.මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුව කරන්න රනිල් වික‍්‍රමසිංහ කතා කරනවා.කියනකොට ලස්සනයි. නමුත් ඒක බරපතලම කතාවක්.එතකොට මේ රටේ විපක්ෂයක් නැහැ. විපක්ෂය නිහඩ කළොත් විතරයි එහෙම කරන්න පුළුවන්.මාමා කරපු දේ කපටි ආකාරයෙන් බෑනා කරන්න යනවද? 1983 මැතිවරණය, අලියා දිවුල් ගිල්ලා වගේ කළා.ඒ නිසා ජේ.ආර්. මාමාත් රනිල් වික‍්‍රමසිංහත් මේ රටට මැතිවරණයක් ණයයි.මේවා ජනතාවට නැවත මතක් කර දිය යුතුයි.

1971 අපේ‍්‍රල් අරගලය කියන්නේ ධනපති පංතියට එරෙහිව පංතියේ අයිතිය වෙනුවෙන් මුල්වරට අවිගත්ත අරගලයයි.එයට වසර 44යි. ඉදිරියට එනවා පක්ෂයේ පනස්වසරක් සම්පූර්ණ වෙන දවස. සමහරු හිතනවා ඇති වසර පනහක් මොකද කළේ කියලා.පුදුම වෙන්න එපා. 1971 මේ පක්ෂය විනාශ කළා. 1983 ඉඳන් විනාශ කරලා 88-89වනකොට මහා විනාශයක් කළා.මේ පක්ෂය අවුරුදු පනහක් තියෙන එක පුදුමයක්ද?කවුරුත් කළබල විය යුතු නැහැ.මේ පක්ෂය ජයග‍්‍රහණය තෙක් ඉදිරියට යනවා.

ඔබ තමුන්නාන්සේලාගේ රෝහණ පුත‍්‍රයා අපේ නායකයා නොහිටින්න මේ රටේ දේශපාලන කුජීත වෙන්න තිබුණා.ඔහු දේශපාලනය වෙනස් කරපු දේශපාලන චරිතයක්.රෝහණ සහෝදරයා සිහි කිරීමේ සීමාවක් නැහැ ඒ නිසා.මොකක්ද රෝහණ සහෝදරයා කළේ. පාලක පක්ෂය පරාජය කරන්න පක්ෂයක් හැදුවා.1989 නොවැම්බර් 13 වනතෙක් රෝහණ සහෝදරයා මරණය ඔලූවේ තියාගෙන හිටියේ. පරෙස්සම් විය යුතුව තිබුණා. ඒ නිසා රහසිගතව මේ දේවල් කරන්න සිදුවුණා.මේ වගේ සංවිධානයක් හැදෙනවා කියලා යූ.එන්.පීය දැනගත්ත ගමන් එම්.අයි.5 හැදුවා.චරපුරුෂ සේවා හැදුවා. ඒ නිසා මේ අය අපිට ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ ගන්න ඕනෑ.එජාපය හිටපු තැන පැහැදිලියි. ඊට පස්සේ 71 තුන්හවුල බලයට ආවා.එජාප පැරදුනත් එම්.අයි.5 එකතු කරපු රෝහණ සහෝදරයාගේ ෆයිල් ටික එජාපය අලූත් ආණ්ඩුවට භාරදුන්නා.රෝහණ විජේවීර සහෝදරයා එතකොට හිරගෙදර. නඩු අහනවා. රහසිගතව මරන්න බැරිවුණා.සිරිමා බණ්ඩාරණායක ෆයිල් ටික ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙනවා. ඊට පස්සේ රෝහණ සහෝදරයා හඹාගෙන යනවා. ජවිපෙ සමූල ඝාතනය කරනතෙක් හඹාගෙන යනවා කිව්වා. හේතුව පාලක පංතියට එරෙහිව පක්ෂයක් හදපු නිසා.

ජවිපෙ මරුවා කියලා දැනටත් සමහරු ලියනවා.අපි කියනවා ඒ අය රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ ඇයි කියලත් ලියනවනම් හොඳයි කියලා. 1970 මැතිවරණය වෙලාවේ රෝහණ සහෝදරයා සිරගතවෙලා ඉද්දී කිව්වා තුන්හවුලට ඡන්දය දෙන්න කියලා. පක්ෂය ජනතාවට කිව යුතුයි කියලා. ඒ වෙලාවේ හරි තීරණය ගත්තා. අපි ජනතාවට ඒක කිව්වා. යැවිය යුතු අය ඒ මොහොතේ යවන්න ඕනෑ. ඊට පස්සේ බලයට ආවේ අම්මා කෙනෙක් කියලා කියනවා. සැමියා ගැන දරුවෝ ගැන කියලා අඩාගෙන ආවේ. එයාට තිබුණා එජාපය කරපු දේ වෙනස් කරන්න.නමුත් එහෙම කළේ නැහැ. රෝහණ සහෝදරයාට එරෙහිව නඩු කිව්වා.නමුත් නිදහස් වෙලා එළියට ආවා.එළියට ආවට පස්සේ කතා කරන්න ඉඩක් දෙන්න තිබුණා.එහෙම වුණානම් රෝහණ සහෝදරයා සත්තයි ඉල්ලන්නේ පක්ෂය හදන්න ඉඩ දෙන්න කියලා.ඒක සහතිකයි. ඒ අයිතිය වෙනුවෙන් පෙනී හිටපු සහෝදරවරුන් තමයි අද අපි මේ සමරන්නේ.ඒ වගේම තව පිරිසක් හිටියා හිරේට යන්න වුණ එක ගැන රෝහණ සහෝදරයාට පතුරු යන්න කිව්වා.ඒ අයගේ තේමා පාඨය අයියෝ මාගේ යෞවන කාලේ කියන එක. එදා එහෙම හිටපු අය අද බොරු සිංහයෝ වෙලා ඉන්නවා.

මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සහෝදරයෝ සහෝදරියෝ, අපේ අම්මලා තාත්තලා සමරන්න ඕනෑ. විශාල කුමන්ත‍්‍රණයක් නවත්වන්න තමයි ජීවිත පරිත්‍යාග කළේ.ඒ සහෝදරවරු ලබාදුන් ජයග‍්‍රහණ ඉතා වැදගත්.එදා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම ගේනකොට කොබ්බෑකඩුව මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා මේක ගේන්නේ ජවිපෙ නැගිටීම නිසා කියලා.මේ රටේ ජනතාවගෙන් අහනවා ඒ මදිද මේ විරුවන් සමරන්න.ඒ වගේම අපිට විරුද්ධව නඩු කීවේ රුජිණගේ ආණ්ඩුව යටතේ.1971න් පස්සේ තමයි රජිණගේ ආණ්ඩුවක් ලංකාවෙන් නැති කළේ. 1972 ව්‍යවස්ථාවක් ආවේ ජවිපෙ නිසා.මේවා එකතු කරගෙන ආවා අපි. ප‍්‍රතිසංස්කරණවලට අපි රැුවටිලා නැහැ. ලේ පිපාසිත ගෝරිල්ලන් ඉන්නවා ඒ අයට යම් යම් දේවල් නවත්වන්න පුළුවන්.නමුත් රටට වැදගත් ප‍්‍රතිසංස්කරණයක් ලැබෙනවා නම් ඒක කරන්න ඕනෑ.