මේක වෛරය නමැති බූ වල්ලෙන් තලා එළවනු ලැබීමේ ඉරණමට පාත‍්‍රව සිටින ආණ්ඩුවක්!

0

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකල කල ප්‍රකාශයක් නිසා චීන ලංකා මිත්‍ර සබදතා කෙරෙහි බරපතල රාජ්‍යතාන්ත්‍රික අවුලක් හටගැනීමේ ලකුණු පහල වී ඇති බව හිටපු සංස්කෘතියක අමාත්‍ය පියසිරි විජේනායක පවසනවා.ඔහුගේ එම ප්‍රකාශයේ යටි පෙල හා දේශපාලනය කුමක්ද යන වග සහ මේ ආණ්ඩුවේ යහපාලන සරුව පිත්තල කට්ටුවට යටින් ඇති ඇත්ත ස්වරූපය වටහා ගැනීමට සාධයක් වන බවද පියසිරි විජේනායක නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

“පසුගිය බදාදා, එනම් මෝඩයාගේ දිනය ලෙසින් ප‍්‍රකට අපේ‍්‍රල් පළමු වැනිදා ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනමාධ්‍යවේදීන් හමුවේ කළ ප‍්‍රකාශයක් හේතුවෙන් චීන – ශ‍්‍රී ලංකා මිත‍්‍ර සම්බන්ධකම් කෙරෙහි බලපාන බරපතල රාජ්‍යතාන්ත‍්‍රික අවුලක් හටගැනීමේ ලකුණු පහළ වී ඇත. එදින පැවති මාධ්‍ය හමුවේදී රජයේ නිල ප‍්‍රකාශකයා වශයෙන් ඔහු පැවසුවේ කොළඹ පිටත වට රවුම් අධිවේගී මාර්ගයේ එක කොටසක් සඳහා වූ ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් බිලියන 30ක් අඩුවෙන් කිරීමට එම කොන්ත‍්‍රාත්තුව බාර චීන සමාගම එකඟ වූ බවය. එම රුපියල් බිලියන 30 පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබල පුද්ගලයන්ට කොමිස් වශයෙන් දීමට නියමිතව තිබූ බවත් දැන් ඔවුන් රට පුරා ජන රැලි සංවිධානය කරන්නේ එකී කොමිස් මුදල්වලින් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඊට පසුවදාම චීන තානාපති කාර්යාලය එයට ප‍්‍රතිචාර දැක්වීය. මෙහිදී චීනය ප‍්‍රතික‍්‍රියා දැක්වූ මාදිලිය අතිශයින්ම වැදගත්ය. සාමාන්‍යයෙන් පරස්පරතාවක් මතු වූ අවස්ථාවක තානාපති කාර්යාලයක් අනුගමනය කරන රාජ්‍යතාන්ත‍්‍රික පියවර වන්නේ මාධ්‍ය ලේකම්වරයකු මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමය. එහෙත් මේ සිද්ධිය චීනය තමන්ට එල්ල කළ බරපතල අවමානයක් ලෙස ගත් බවට ඇති හොඳම නිදසුන නම් පසුවදාම අප රටේ චීන සහකාර තානාපති රෙන් ෆාගියාන්ග් මහතාම මාධ්‍ය සාකච්ඡාවක් මගින් ඊට විරෝධය දැක්වීමට ඉදිරිපත් වීම සහ ඔහු ඒ වෙනුවෙන් භාවිතා කළ භාෂා රටාවය.

පසුගිය රජයේ යම් යම් පුද්ගලයන්ට ගෙවීම සඳහා වෙන් කරන ලදැයි කියන ඊනියා රුපියල් බිලියන 30 කතාවම පදනම් විරහිත එකකි. කොළඹ පිටත වටරවුම් පාරේ කිලෝ මීටර් 9.6ක් ඉදි කිරීම සඳහා වැයවෙතැයි ගණනය කර ඇති පිරිවැය මුළු ප‍්‍රමාණය රුපියල් බිලියන 66.8කි. මේ මුදලින් බිලියන 30ක් යනු මුළු වියදමෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයකි.එපමණ මුදලක් කොමිස් ලෙස වෙන් කළේ යැයි කීමම අසාධාරණය’මේ ව්‍යාපෘතිය තුළ කිලෝ මීටර් 6ක් දිග පාලමක්ද කිලෝ මීටර් 3.5ක් දිග පස් පිරවුමක්ද අඩංගු වන බැවින් මේ බිලියන 66.8 ඉතා සාධාරණයි.ව්‍යාපෘතියේ ඉතා රළු ස්වභාවය ගැන බලන විට මෙම මිල ගණන් ඉතා පහළ ඒවාය.සෙසු රටවල් අතරින් චීන සමාගමට එම කොන්ත‍්‍රාත්තුව හිමි වූයේ ඒ අනුවය.යනුවෙන් ඉහත මාධ්‍ය හමුවේදී චීන සහකාර තනාපතිවරයා අවධාරණය කොට තිබිණි.

චීන සහකාර තානාපතිවරයා කළ මේ ප‍්‍රකාශය ගැන අපේ‍්‍රල් 02 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජිත සේනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු කීවේ තමා බදාදා කළ ප‍්‍රකාශයට පදනම් වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබාදුන් කරුණු බවය.ඒ මිස තමා කළ චෝදනාව සනාථ කළ හැකි සාධකයක් ඔහු සතුව නොවීය.

ඉන් ගම්‍ය වන්නේ යහපාලනය, සත්‍යවාදී පාලනය ගැන කියන ආණ්ඩුවේ නිල ප‍්‍රකාශකයාම අමූලික බොරු කියන බවය.මෙය ඔහුගේ පෞද්ගලික චර්යාව ගැන ප‍්‍රශ්නයක් පමණක් නම් අපට එය නොතකා හැරිය හැක.මන්ද යත් පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වූ ජනවාරි 09 වැනිදා ජනාධිපති මන්දිරය තුළ කුමන්ත‍්‍රණයක් සිදු වූ බව කියමින් මහා ඝෝෂාවක් නැඟුවේද, පසුව තමන් එසේ කීවේ බොරුවට බව කිසි විලි ලැජ්ජාවකින් තොරව ප‍්‍රසිද්ධියේම කීවේද මේ මහත්වරුන් විසින්ම වන බැවිනි. විලි වසා ගැනීම පිණිස වස්ත‍්‍ර ඇඳීමේ අවශ්‍යතාව කොතරම් මුග්ධ වුවත් මිනිසකුට නම් අවබෝධ කර දිය හැකිය. එහෙත් කෙතරම් නිදසුන් සැපයුවත් සුනඛයකුට ඒ යහ සිරිත උගැන්විය නොහැකි බව අපි හොඳින්ම දනිමු. එබැවින් මෙය රාජිත ඇමතිවරයාගේ පෞද්ගලික කටමැත දෙඩවීමක් පිළිබඳ අර්බුදයක් නොවේ. මෙය වූ කලී අපේ රට ජාත්‍යන්තරය හමුවේ බොරුකාර, පච වපුරන රටක් ලෙස පෙනීයාමත්, එසේම අපගේ දිගු කාලීන මිතුරු රටක් සම්බන්ධයෙන් කළ අපහාසයක්ද පිළිබඳ ගැටළුවකි.

රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රකාශයේ යටි පෙළ හා දේශපාලනය කුමක්ද? මේ ආණ්ඩුවේ ‘යහපාලන සරුව පිත්තල කටුවට’ යටින් ඇති ඇත්ත ස්වරූපය වටහා ගැනීම සඳහා ඒ හාරා බැලීම ප‍්‍රයෝජනවත්ය. චීනයේ පෞද්ගලික ව්‍යවසායයන් ඇතත් ඒවාට විදේශ රාජ්‍ය සමග ගිවිසුම්වලට එළඹීමේ අයිතියක් නැත. ඒ වෙනුවට එබඳු ගිවිසුම් සහිත මහා පරිමාණ ව්‍යාපෘති කරා එළඹෙන්නේ චීන මහජන සමුහාණ්ඩුවේ සෘජු පාලනයට යටත් රාජ්‍ය සමාගම් විසිනි. වෙනත් ආකාරයකට කියතහොත් මෙකී සමාගම් චීන රජයේම එක් මුහුණුවරකි. අපේ රටේ ඉහත සඳහන් පිටත වට රවුම් පාර ව්‍යාපෘතිය භාර දී ඇත්තේ එබඳු සමාගමකටය. එසේම චීනය යනු මූල්‍යමය දුෂණ ක‍්‍රියාවලදී මරණීය දඩුවම බඳු දැඩි දඩුවම් පමුණුවන රටකි. රාජිත ඇමතිවරයා මේ කොමිස් චෝදනාව නගන්නේ එබඳු රාජ්‍ය සමාගමක් පාදක කර ගනිමිනි. එය එවිට සෘජුවම චීනයට එරෙහි දූෂණ චෝදනාවකි.චීනයට විරුද්ධව සහ චීනය අපකීර්තියට ලක් කිරීමේ වුවමනාව ඇත්තේ කාටද? ඉන්දියානු සාගර කලාපය තුළ විශේෂයෙනුත්, ලෝකය තුළ පොදුවේත් පැතිර යන චීන ආර්ථික බලයට එරෙහි ලෝක බලවතුන්ව කලක් වැජඹුන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිරටය’එසේම සියලූ අසල්වැසියන් සමග ඉතිහාසය පුරාම ආරවුල් ඇති කරගත් ව්‍යාප්තවාදී ඉන්දියාවටය. චීනය’ අපේ රටේ සතුරු පිලට තල්ලූ කිරීම මේ පාර්ශව දෙකේම භූ දේශපාලන උවමනාවන් සමග ගැලපේ. එවිට මැද පෙරදිග සිට මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ දකුණු චීනයට නැව් බඩුද, විශේෂයෙන් ඛනිජ තෙල්ද ගෙන යන මාර්ගයේ පිහිටි එකම ගොඩබ්ම් මර්මස්ථානය වූ ශ‍්‍රී ලංකාව තම අණසකට නතු කරගෙන චීනය පාලනය කළ හැකි යයි බටහිර කල්පනා කරයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරදවා හැරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙතරම් උත්සුක වූයේද ඔහුගේ ආණ්ඩුව හා චීනය අතර වූ සම්බන්ධය බිඳ දමා චීනයට ඉන්දියන් සාගරය තුළ තිරිංග දැමීමටය.

ඉන්දියාවට අපේ රට සමග මෙන්ම අසල්වැසි චීනය සමගද ආරවුල් තිබේ. පාකිස්තානය, තායිලන්තය, මියෙන්මාරය, කාම්බෝජය වැනි රටවල් සමග චීනයේ ඇති සමීප සම්බනධකම් ඉන්දියාවට හිසරදයක්ව තිබේ.එසේ උතුරෙන්, නැගෙනහිරෙන් සහ වයඹ දිගින් ඉන්දියාව චීනයට පක්ෂපාතී රටවලට කොටු වී සිටියදී ‘ඉන්දියාවට සමීපයෙන්ම දකුණේ පිහිටි අපේ රට චීනය සමග දැඩි හිතවත්කම් වගා කර ගැනීම සහ ඉන්දීය භාණ්ඩ පරදවා චීන වෙළඳ භාණ්ඩ මෙරට පැතිරීම ඉන්දියාවට දරා ගත නොහැකි විය.තමන් පරාජය කිරීමට බටහිර ඔත්තු සේවා හා ඉන්දියානු රෝ සංවිධානය විශාල වැඩ කොටසක් කළ බවට මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කළ ප‍්‍රකාශය හා රාජිත ඇමතිවරයාගේ චීන චෝදනාව අප වටහා ගත යුත්තේ මේ සන්දර්භය ඔස්සේය.

ඒ අනුව රාජිත ඇමතිවරයාගේ ප‍්‍රකාශයේ හඩ ඔහුගේ වුවද ඒ පසුපස ඇති තිර නාටක පිටපත නම් ඔහුගේ අගමැති, බටහිරගැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීයගැති ජනාධිපතිවරයාගේ බවට සැකයක් නැත. එබැවින් තමාට ඒ තොරතුරු දුන්නේ රනිල් අගමැතිවරයා බව කියමින් මහ දවාලේ එළිපිටම කැබිනට් සාමුහිකත්වය බල්ලාට දමමින් සිය බෙල්ල බේරා ගැනීම සඳහා ඔහු තම අගමැතිවරයා පාවා දුන්නද, ‘චීන කොමිස් කතාව’ඔප්පු කර ගත නොහැකිව ලෝකය හමුවේ අපේ රට බාල්දු කිරීමේ වරදට මේ සමස්ථ ආණ්ඩුවම වග කිය යුතු බව නම් පැහැදිලිය.

එහෙත් රට ලැජ්ජාවට පත් කළ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යයි අපි නොකියමු. මන්ද යත් එසේ ඉල්ලා අස්වීමට තරම් ලැජ්ජාවක් ඔවුන් සතුව නොමැති බැවිනි. ඒ හැරත් නුදුරු අනාගතයේ දිනයක ‘ජනතා ඡන්දය හා ජනතා වෛරය’නමැති බූ වල්ලෙන් තලා එළවනු ලැබීමේ ඉරණමට පාත‍්‍රව සිටින ආණ්ඩුවක් ‘ගෙදර යැවීම’ හදිස්සි කරවන්නේ කුමටද? අපි ලිහන්නට ඇති මල්ල ඔබා බලනවුන් නොවන්නෙමු. එය එසේ වුවත් එක් දේශපාලන දාර්ශනිකයකු කියූ පහත සඳහන් කියමන එකම එක අවසන් කරුණක් ලෙස මේ ආණ්ඩුවේ සිහි බුද්ධිය ඇත්තවුන්ගේ දැන ගැනීම සඳහා සටහන් කරමු. එනම් ‘ගන්නා වූ සෑම පියවරක්ම ජනතාවගේ හාස්‍යයටද වූ නොගන්නා වූ සෑම පියවරක්ම ජනතාවගේ වෛරයටද ලක් වන තැනකට, ආණ්ඩුවක් වැටීම යනු ඒ ආණ්ඩුවේ ආයු කාලය අවසන් බවට පළවන ප‍්‍රබල පෙර නිමිත්තක් වන්නේය, යන්නය.”

පියසිරි විජේනායක
හිටපු සංස්කෘතික අමාත්‍ය,
නියෝජ්‍ය සභාපති,
ජාතික නිදහස් පෙරමුණ