බෙදුම්වාදය නීති දාලා වළක්වන්න බෑ

0

බෙදුම්වාදය නීති දාලා වළක්වන්න පුළුවන් එකක් නොවන බවත් බෙදුම්වාදය වැළැක්වීමට ගතයුතු කි‍්‍රයාමාර්ග බොහොමයක් තිබෙන බවත් ඒක හරියට මංකොල්ල කන එක වැඩිවුණාම ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරනවා වගේ වැඩක් බව ජ.වි.පෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කළේ 19වැනි සංශෝධනය බෙදුම්වාදයට පටලවා ගන්න හදන බවයි.

ජාතික විධායක සභාවෙන් ජවිපෙ ඇඟ බෙරා ගැනිම

“19 සම්මතවූ විගස ජාතික විධායක සභාව අහෝසි වෙනවා. මීට කලින් අප ජාතික විධායක සභාවේ ඉන්නවාද නැද්ද කියලා ගැටලූවක් මතුවුණා. නමුත් එය සාකච්ඡුා මට්ටමින් විසඳුනා. ඒ නිසා දැන් තිබෙන්නේ අපේ මැදිහත්වීමට වඩා මින් ඉදිරියට ආණ්ඩුව විසින් සිදුකරන කාර්යභාරයක්. දින සියය තුළ කරනවා කියපු දේවල් සියල්ල සිදුවෙලා නැහැ. දින සියයේ දින සියයට අදාල නැති දේවල් සිදුවුණා. ලොකු ඇමති මණ්ඩයක් පත්කළා. හිටපු ඇමතිවරුන්ට වාහන දෙකක් සමඟ ඉන්ධන ලබාදුන්නා. ඒවා දින සියයේ වැඩපිළිවෙළේ තිබුණේ නැහැ. අතුරු අයවැයෙන් ජනතාවට දෙන්න තිබුණු සහන ලබාදීලා නැහැ. ඒ අතර 19 සංශෝධනය ඉතා වැදගත්. 19 සංශෝධනයත් පූර්ණ එකක් නෙවෙයි. එය සම්මත කිරීමටත් බාධා ආවා. තවමත් එම බාධා තිබෙනවා. ඒ අතර තමයි 19 පාර්ලිමේන්තුවට එන්නේ. දැන් විවාදයට දින නියම කරලා තිබෙනවා. ඒ නිසා 19 සම්මත කිරීමයි වැදගත්.

අපිට විශ්වාසයක් තිබෙනවා 19 සංශෝධනය සම්මත කළ හැකියි කියලා. ඒවගේම සම්මත කළ යුතුයි කියලා අපි කියනවා. එජාපය 19 වෙනුවෙන් පෙනී සිටියා. ඔවුන් අනිවාර්යයෙන් ඡන්දය ලබාදිය යුතුයි. ඒ වගේම මෙය මෛතී‍්‍රපාල ජනාධිපතිරයාගේ වැඩපිළිවෙළට ගෙනාපු එකක්. ඔහුගේ පක්‍ෂය මෙයට ඡන්දය ලබාදිය යුතුයි. එතුමාගේ පක්‍ෂය එතුමට විරුද්ධව වැඩකරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් පක්‍ෂත් මෙයට පක්‍ෂව ඡුන්දය ලබාදෙන බව මේ වනවිට ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් 19 සම්මත කිරීමට එරෙහිව කුමන්ත‍්‍රණ සිදුවේදැයි අප දන්නේ නැහැ. එසේ සිදු නොවිය යුතු බවයි අපේ අදහස.

නව මැතිවරණ ක‍්‍රමය

නව මැතිවරණ ක‍්‍රමයක් හදනවා නම් එය සියලූම ජනතාව නියෝජනය කළ යුතුයි. නමුත් දැන් එන්න නියමිතව තිබෙන්නේ ශී‍්‍රලනිපය හදපු එකක්. ශී‍්‍රලනිපයට වාසි එකක්. එය සාධාරණ නැහැ. එහි කරුණු පොදු සංවාදයක් මත ආපු එකක් නෙවෙයි. මෛතී‍්‍රපාල මහත්තයට ඔහුගේ පක්‍ෂයෙන් කමිටු පත්කරන්න අයිතියක් තිබෙනවා. නමුත් ඒක පොදු එකක් නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි. අලූතින් හදන ඡන්ද ක‍්‍රමයකට ඡන්දය තියන්න බලාගෙන ඉදිරි මැතිවරණය පස්සට දාන එක කළ යුතු නැහැ. ඒ නිසා දැනට තියෙන විදියට මේ ඡන්දය පැවැත්විය යුතුයි. ඉන් පසුව ඡන්ද ක‍්‍රමයත් පිළිබඳ සාකච්ඡුා කළ හැකියි. යම් යම් පක්‍ෂවල පටු අරමුණුවලට යට නොවී ජනතාවට දුන් පොරොන්දු ඉටුකළ යුතුයි. නව ඡන්ද ක‍්‍රමයක් සකස් කළත් එයට අනුව ඡන්දයක් පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත යුතුයි. මොකද, ජනතාව නව ඡන්ද ක‍්‍රමය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි.

බෙදුම්වාදය හා ෆුල්ෆේස් හෙල්මට්

බෙදුම්වාදය පිළිබඳව අනතුරු ඇඟව්වෙත් බෙදුම්වාදය පරාජයට පත්කිරීමට විශාල මැදිහත්වීමක් කළෙත් ජනතා විමුක්ති පෙරමුණයි. විධායක ජනාධිපති ක‍්‍රමයත් ජාතිවාදයත් කිසිසේත්ම එකට විග‍්‍රහ කළ යුතු නැහැ. එසේ සිතනවා නම් එය දේශපාලනික අඳබාලකමක්. මොකද ජාතිවාදය වර්ධනය වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළයි. විධායක ජනාධිපතිවරයාට එම ජාතිවාදී යුද්ධය වළක්වන්න පුළුවන් වුණේ නැහැ. දැන් 19වැනි සංශෝධනය බෙදුම්වාදයට පටලවා ගන්න හදනවා. අපි පැහැදිලිව කියනවා බෙදුම්වාදය නීති දාලා වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. බෙදුම්වාදය වැළැක්වීමට ගතයුතු කි‍්‍රයාමාර්ග බොහොමයක් තිබෙනවා. ඒක හරියට මංකොල්ල කන එක වැඩිවුණාම ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරනවා වගේ වැඩක්. බෙදුම්වාදය වර්ධනයවීමට බලපාන දේශපාලන වටපිටාව වෙනස් කිරීමයි කළ යුත්තේ.

ජනාධිපතිවරයා ඉටුකළ යුත්තේ කාගේ බලාපොරොත්තුද?…..

19වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල මහත්තයාට සහාය දක්වපු සියලූ පක්‍ෂවල සහ ජනතාවගේ ඉල්ලීමක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව බොහෝ දෙනා සංවාදයක නිරත වුණේ ඒ නිසයි. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමයි. ඒකාධිපති බලතල ඉවත් කිරීමයි. ඒ වෙනුවෙන් ජාතික විධායක සභාව තුළ, රට හමුවේ අපි අදහස් දැක්වූවා. ඒ අනුව එම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් අනුව සකස් කළ 19වෙනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට නිර්දේශ ලබාගත්තා. ජනමත විචාරණයක් අවශ්‍ය ඇතැම් කරුණු ඉවත්කර දැන් එය පාර්ලිමේන්තුවට ගෙනාවා. 19 සංශෝධනයෙන් අප බලාපොරොත්තුවන අරමුණු සියල්ලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි නොවුණත් ඊට අදාල බලතල කිහිපයක් ඉවත්කිරීම රටටත් ජනතාවටත් හොඳයි. ඒ නිසා මේ මට්ටමින් හරි 19 සම්මත කරගත යුතුයි. ලැබී තිබෙන අවස්ථාව උපරිම ලෙස ඒ සඳහා යොදාගත යුතුයි. ජනතාවගේත් රටේත් මහින්ද විරෝධීන්ගේත් ජයග‍්‍රහණයක් ලෙසයි අප එය දකින්නේ.