ජීවන ගීය නිමා කල ඔහු සදා මතකයේ රැදේ (Video)

0

පැරැණි ගීතවලට කවදත් අපි කැමැතියි. ඒ පැරැණි ගීත කණ්ඩ අදත් රසික සිත්හී රැඳී තියෙන්නේ ඉන් මැවෙන රසභාව රසවත් හා අරුත්බර නිසයි.එවැනි අරුත්බර ගීත රැසක හිමිකරුවකුගේ හඬ අද ඉතා අනුවේදනීය ලෙස නිහඬවෙලා.ස්වකීය මියුරු හඬින් රටක් නැල වූ ඒ කෝකිලයා ගේ ගායන හැකියාව කියාපාන්නට ‘සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳක් අරගෙන එන්නේ ගීතය පමණක් වුව සෑහෙයි. ඒ මිහිරි ගායනවේදියා අද (21) සුවහසක් රසික ජනයා කම්පාවට පත් කරමින් තම ජීවන ගීය නිමා කලාය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

ඔහු ගැයූ මගේ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කළ ලන්ත්‍රා මහතා කැලණියේ පිහිටි ඔහුගේ නිවසේ කථා කිරීමට පවා නොහැකිව දැඩි අසනීප තත්ත්වයෙන් වසර ගණනාවක් ගත කළේය.

8 දෙනකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වූ ලන්ත්‍රා මැලේ ජාතිකයෙකි. ඔහුගේ මුල් ගම මරදානය.අධ්‍යාපනික කටයුතු සදහා මුලින්ම මරදානේ සහිරා විද්‍යාලයටත් පසුව දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලටත් අතුලත් වූ ඔහු කුඩා කල සිටම ගීත ගායනයට මෙන්ම සංගීතයට බෙහෙවින් ආදරය කලාය.ඔහුගේ අවසන් කටයුතු අද (21) සවස සිදුකිරීමට නියමිතය.