ප්‍රතික්ෂේප වුණ මහින්දව රකින්න විපක්ෂය දත කනවා

0

ජනතාව ප්‍රතික්ෂේප කල මහින්ද රාජපක්ෂ දැන් විපක්ෂය විසින් සුරැකීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ සුඩාන තානාපති Dr. Hassan E. El Talib අතර හමුවක් අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ දී පැවැත් වුණා. හමුවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව ප්‍රකාශ කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක ,

සූඩාන තානාපතිවරයා මෙරටට පැමිණියේ අප්‍රිකානු රටවල් ගණනාවක නියෝජිතයෙක් විදියටයි.ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයන් අප්‍රිකානු රටවල්වලට තවමත් විධිමත් ලෙස අපනයනය සිදු කරන්නේ නැහැ.ඒ සම්බන්ධයෙන් තමයි මෙහිදී සාකච්ඡා වුණේ .ඒ සදහා පැවැති මුලික බාධක දැන් ඉවත් වෙලා තියෙනවා.ඊට අමතරව ශ්‍රි ලංකාව තුළ ඔවුන්ගේ යෝජනා සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වුණා.

අපේ සේවය අපි හැමවිටම සපයන්නේ ජනතාවට. එහෙම නැතිව විපක්ෂයේ බංකලොත් වුණ මන්ත්‍රීවරුන්ට නෙමේ. විශ්වාසභංගය ඕනැම අවස්ථාවක ගෙන්න. ඒක ගැටලුවක් නෙවෙයි. අපි ජනතාවගේ සාක්කුවලට මුදල් ලැබෙන ක්‍රමවේදය සකස් කරල තියෙනවා. ඔවුන් ඊට නිසි ප්‍රතිචාර දක්වයි.

දින 100 ඇතුළත දූෂිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළේ නැහැ කියලා ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා. නමුත් ඔවුන්ට එරෙහිව නිතයානුකුලව වැඩකරද්දි ඔවුන්ව අල්ලස් කොමිසමට ගේන්න එපා කියලා උද්ඝෝෂණ කරනවා.අපේ ඇගිලි ගැසීමක් නැතිව එම කටයුතු කරන්න තමයි අල්ලස් කොමිසම ඉන්නේ.හරි නම් විපක්ෂය උදවු කරන්න ඕන මේ චෝදනා විභාග කිරීම කඩිනම් කිරිම සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන එකයි.

මේ අවස්ථාවේදි අපි ජනතාවට ලබාදෙන්න පුළුවන් උපරිම සහන දීලා තියෙන්නේ. දින 100 ඇතුළත ඉටුකරන බවට පොරොන්දුවු සියල්ල අපි ඉටුකරලා ඉවරයි. විපක්ෂයේ මේ කරන උද්ඝෝෂණවල සැබෑ උවමනාව වන්නේ ජනතාවට ලබාදෙමින් සිටින සහන යම් මට්ටමකින් හෝ අඩුකිරිම කියලා තමයි මම හිතන්නේ .

විපක්ෂයේ තේරුම් ගත යුතු පළමු කාරණය තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් පරාජයට පත්වුණ පුද්ගලයකු බව. රටේ ජනතාව ඔහුව ප්‍රත්ක්ෂේප කළා. එහෙම ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු තමයි පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය යොදා ගෙන මේ විදියට ආරක්ෂා කරන්න විපක්ෂය උත්සහ කරන්නේ.