19ට උතුරත් අකමැත්තෙන්!

0

යහපාලන පාලකයන් දෙමළ ජනතාවට ලබාදුන් සුළු පොරොන්දුවක් පවා ඉටුකර නැති වාතාවරණයක් තුල ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතු බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සෙල්වම් අඩෙයිකලනාදන්, ශිවශක්ති ආනන්දන් සහ විනෝනෝහරාදලිංගම් ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශ කර ඇත.

පහත දැක්වෙන්නේ එම ඒකාබද්ධ නිවේදනයයි .

“යුද්ධයෙන් පසු, දෙමළ ජනතාව සඳහා කිසිම සාර්ථක ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොකළ තත්වයේදී ආණ්ඩු පෙරළියක් සඳහා වන හඬ ශක්තිමත් විය. ඒ අනුව, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පූර්ණ සහයෝගයෙන් ආණ්ඩු පෙරළියක් සිදුවිය.

විශේෂයෙන් ජනවාර්ගික ගැටළු විසඳීමට ක්‍රමවේදයක් පවා තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොකළ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදී ජයග්‍රහණය කරවන ලදි. ජනවාරි 08 වන දිනට පසු, යහපාලනය කේන්ද්‍ර කරගත් කටයුතු ජාතික රජය විසින් ක්‍රියාත්මක කළ තත්වයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික ගැටළු පිළිබඳව ඔවුන්ට සෘජුව ප්‍රකාශ කළෙමු.

විශේෂයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන ලේකම්වරයා මාරුකර උතුරු පළාතේ ජනතාවගේ ප්‍රසාදය රජය ලබාගෙන ඇති නමුත්, ජනතාවගේ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා වන කටයුතු කඩිනමින් ඉටුකරන මෙන් අප ඉල්ලා සිටියෙමු. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් වල පරිපාලන කටයුතු වලට දෙමළ නිලධාරීන් පත්කරන ලෙසත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිළිබඳවත්, රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු වලට සාධාරණ ලෙස පත්වීම් ලබාදීම සහ ස්ථාන මාරුවීම් සිදුකළ යුතු බවත් අවධාරණය කළෙමු.

ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වෙත මෙම කරුණ සම්බන්ධයෙන් සෘජුවත්, ලිඛිතවත් පුළුල්ව විස්තර කළ අවස්ථාවේ එම කරුණු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු විය. පසුගිය 09 වන දින අග්‍රාමාතවරයා, පරිපාලන කටයුතු අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා හමුවී මෙම කරුණු සම්බන්ධයෙන් තවත් පුළුල්ව විස්තර කළෙමු.

මෙම තත්වයේදී දින සියයේ වැඩසටහන අවසන් වී ඇත. එනමුත් අප ඉදිරිපත් කළ සුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානයක් ගෙන ක්‍රියාමාර්ග ගෙන නැත. ඒ වෙනුවට සිංහල ජාතිකයින්ව උතුරු නැගෙනහිර පළාත් වල කටයුතු සඳහා පත්කර ඇති බව දැකගත හැකිය.

උතුරු පළාතේ පමණක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයත් දැකගැනීමට තිබූ තත්වයේදී දැන් වන්නි අමාත්‍යවරයෙකුගේ වාසිය වෙනුවෙන් උතුරු පළාත දෙකකට බෙදා අමාත්‍යවරයාට හිතවත් පුද්ගලයෙකුට තනතුරක් ලබාදී ඇත. අමාත්‍යවරයෙකු වෙනුවෙන් උතුරු පළාත දෙකට බෙදීම ඉතාමත් භාරධූර කාර්යයකි‍. තවද, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වව්නියාව දිස්ත්‍රික්කයට සිංහල ජාතියෙකු පත්කර ඇත.

තවද, සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙමළ ප්‍රාදේශීය ලේකම් මාරු කර, තමන්ට හිතවත් පුද්ගලයෙකු පත්කරගැනීම සඳහා වන්නි දිස්ත්‍රික් අමාත්‍යවරයෙකුගේම සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි. එපමණක් නොව යහපාලනයෙන්ද පදවි, ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදීම පිටුපස ආත්මාර්ථකාමී දේශපාලනය කේන්ද්‍ර කරගත් කටයුතු දැකගැනීමට ඇත. මෙය තවදුරටත් පිළිගත නොහැකිය.

යුද්ධයෙන් පසු, උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ඉඩම් අල්ලා ගැනීම, අධි ආරක්‍ෂක කලාප, වැන්දඹූවන්ගේ ජීවනෝපාය යනාදි වශයෙන් විසඳීමට ඇති ගැටළු වලට කිසිඳු සාර්ථක ක්‍රියාමාර්ගයක් ගතවූ දින සියයේදී ක්‍රියාත්මක නොකළ තත්වයක 19 වව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ අනිවාර්යෙන්ම සම්මත කරගත යුතුය යනුවෙන් පාලකයින් අදහස් කරයි.

උතුරු නැගෙනහිර සංවර්ධන කමිටු සම සභාපතිවරු ලෙස ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලත් කමිටුවක් පත්කළ යුතු බව අඛණ්ඩවම අවධාරණ කරන තත්ව‍යකදී, අද වන තෙක් ඒ පිළිබඳ අවධානයක් යොමුකර නැත.

මෙම තත්වයේදී සුළු පොරොන්දුවක් පවා ඉටු නොකර, ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයට අප විසින් සහයෝගීව ඡන්දය ලබාදෙන්නේ කෙලසද යන්න ගැටළුවකි. එබැවින් එම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබාදීම පිළිබඳව නැවත සලසා බැලිය යුතුය යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලා සිටින්නෙමු.

විමුක්ති කොටි මාර්ගයෙන් සමහර අවස්ථා වලදී, කළ පැහැරහැරීම් පිළිබඳ බොහෝ අමිහිරි අත්දැකීම් අපට ඇත. නැවතත් එවැනි රැවටිලි වලට ලක් නොවී දූරදර්ශී තීරණ ගත යුතු අනිවාර්ය තත්වයක සිටින්නෙමු.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ඇතිකිරීමට ප්‍රධාන පක්‍ෂ දෙක උනන්දුවෙන් සිටියි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයෙදී සුළු ජාතිකයින්ගේ සහයෝගයෙන් ආණ්ඩු පෙරළියක් සිදුකළ බව දරාගත නොහැකි සිංහල බලවේග අනාගතයේදී එවන් තත්වයක් ඇති නොවිය යුතුය යන්නෙහි දැඩිව සිටියි. ඒ හේතුවෙන්ම සුළු ජාතික නියෝජනය අඩු කරන අන්දමින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සුදානම් වේ.

ඒ කිසිවිටකත් අනුමත නොකළ යුතුය. විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනතාවගේ නියෝජනය අඩුකිරීමට ඉඩ නොදිය යුතුය. මැතිවරණයක් නිවේදනය කිරීමට ඉඩකඩ ඇති අතර, අපට ලබාදුන් පොරොන්දු ප්‍රතික්ෂේප වී ඇත.

ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට සියළු සැලසුම් සහිත කටයුතු පාලකයින් විසින් ගෙන ඇති හේතුවෙන් අප 19 වන සංශෝධනයට සහයෝගය ලබාදෙනවාද යන්න නැවත සලකා බැලිය යුතු තත්වයකට යොමුවී ඇත්තෙමු”