මට එරෙහිව දේශපාලන හස්තයක්

0

තමා හා තම පවුලේ සමාජිකයන්ට එරෙහිව ඇති දේශපාලන හා පුද්ගලික කෝන්තරවලට යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් පටලවා නොගන්නා මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය අප්‍රේල් 25 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහභාගී වූ ශ්‍රී.ල.නි.ප. හම්බන්තොට දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට ගිණි අවියක් රැගෙන ඒමේ චෝදනාව මත යුද හමුදාවේ කෝප්‍රල්  සේනක කුමාර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒසම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝප්‍රල් කුමාර අත්අඩංගුවට ගැනීම තමාටත්, තමා සමග සිටින සැමටත්, තම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව දිගින් දිගටම ගෙන යන අවලාද හා අඩන්තේට්ටම් ව්‍යාපාරයේ තවත් අංගයක් ලෙස පැහැදිලි කරනවා.

“මීට කලින් අවස්ථාවකදී මමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදා ගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්‍ෂ සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් එම හමුව සඳහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇණියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය, ” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කරනවා.