මෛත්‍රී ජන වරමට පිටුපායිද?

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා එකිනෙකා හමුවන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ‘ගෙදර යැවීමේ’ අරමුණකින් නොවේ නම් තම පක්ෂයේ ප්‍රකාශකයා කරන ප්‍රකාශයන් හමුවේ ජනාධිපතිවරයා නිහඬව නොසිට තම ස්ථාවරය හෙළිදරව් කළ යුතු බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය කියා සිටිනවා.

වසර දෙකක් යන තුරු ප්‍රධාන පක්ෂ දෙක ම එක් වී ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම මැතිවරණ පොරොන්දුවක් වූ බවත් ඒ සඳහා ලැබී තිබෙන ජන වරම ඉතා පැහැදිලි බවත් යම් හෙයකින් මෙම හමුව තුළ එ.ජා.ප ය පරාජය කිරීමේ අදහසක් ඇත්නම් එය ජනවාරි අට වැනිදා වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු ‘ජන වරමට පිටුපෑමක් බවත් ඔහු පවසනවා.

“මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රාජපක්‍ෂ සමයේ තිබුණු දුෂණය සහ භීෂණය තුරන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම සහ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට .එවැනි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා යම් අවබෝධයකට පැමිණිය යුත්තේ එම ජනවරම සඳහා සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ සමඟයි” හෙතෙම වැඩිදුරටත් කියා සිටිනවා.