පළාත් පාලන ආයතන පරදින රහස අනුර කියයි

0

ආණ්ඩුව දැන් උත්සාහ දරමින් සිටින්නේ ප‍්‍රාදේශීය සභා, කොමසාරිස් පාලනයක් යටතට ගෙන ඒමට බවත්, ප‍්‍රාදේශීය සභාවල බලය හීන කර තනි පුද්ගලයෙකුගේ අතට පත් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද(19) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.

මේ වනවිට ආණ්ඩුව ප‍්‍රාදේශීය සභාවල අයවැය ලේඛණ සම්මත කිරීමට මැර කල්ලි, මැර බලය, තර්ජන, බිය වැද්දීම් යොදා ගනිමින් තිබෙනවා. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය පැත්තෙන් ඉතාම බරපතළ තත්වයක්. වත්තල ප‍්‍රාදේශීය සභාවේ දෙවන වර ඡන්ද විමසීම පැවැත්වූ ආකාරයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම පැහැදිළි කරනවා. මෙය වැළැක්විය යුතු කරුණක්. මන්තී‍්‍රවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන අප පක්‍ෂයේ වත්තල ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර ජූඞ් කිස්ටෝපර් සහෝදරයාට ප‍්‍රාදේශීය සභාවට පවා ඇතුලූ වීමට ඉඩ දුන්නේ නැහැ. ආණ්ඩුවට හිතවත් මැර කණ්ඩායම් යොදලා කරන මෙම කි‍්‍රයාදාමය මැර සංස්කෘතියේ ස්වභාවය පෙන්නුම් කරනවා.

මෙම පළාත් පාලන ආයතනවල මතුවෙලා තිබෙන තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝණය කරනවා. පළාත් පාලන ආයතන කියන්නේ ග‍්‍රාමීය ජනතාවගේ ඕනෑ එපාකම් සෘජුව ගැටගැසී තිබෙන ඔවුන්ගේ දෛනික කාර්යයන් සපුරා ගතහැකි ආයතනයි. ප‍්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා තව තවත් ශක්තිමත් කළ යුතුයි. ග‍්‍රාමීය ජනතාවට තමන්ගේ මූලික වුවමනාවන් සපුරා ගැනීමට තමන්ගේ ජනතා නියෝජිතයින් හා සෘජුව ගැට ගැසුනු සම්බන්ධය තව තවත් වැඩිදියුණු කරන්න කියලයි ජවිපෙ අපේ ස්ථාවරය. ආණ්ඩුව එම වැදගත් සම්බන්ධය කඩාදමමින්, උල්ලංඝණය කරමින් තිබෙනවා.

මේ වනවිට ආණ්ඩුව ප‍්‍රාදේශීය සභා 16ක පමණ අයවැය පරාජයට පත්වී තිබෙනවා. ඉන් කිහිපයක බරපතළ ගැටුම් ඇතිවුණා. හෝමාගම ප‍්‍රාදේශීය සභාව ඡන්ද විමසීම අවසන් වුණේ ගුටිබැට ඇනගැනිල්ලකින්. දමන ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම තබාගත නොහැකි ලෙස ආරවුල් ඇතිකළා. පස්සර ප‍්‍රාදේශීය සභා ඡුන්දය විමසීමක් කළේ නැහැ. ගැටුම් වර්ධනය වුණා. හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ලංකා ඉතිහාසයේ පළමු වරට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික වුවමනාවට සභාව කල් තැබුවා. සාමාන්‍යයෙන් සභාව කල් තැබීමේදී මන්තී‍්‍රවරුන්ගේ අදහස් විමසීමක් කළ යුතුයි. නමුත් එම සභාවේ අයවැය අඩුපාඩු මන්තී‍්‍රවරුන් විසින් පෙන්වන විට සභාපතිවරයා සභාව කල් තබා පුටුවෙන් නැගිටලා ගියා. සභාව කල්තබන ක‍්‍රමවේදයත් උල්ලංඝණය කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ටී.බී. සරත් සහෝදරයා මීට විරෝධය පළකරමින් අනෙකුත් මන්තී‍්‍රවරුන්ගේ අදහස් ලබාගත යුතු බව පැවසුවා. එවිට සභාව කල්තබා සභාපති පුටුවෙන් නැගිටලා යනවා.

ආණ්ඩුවේ බලය ගිළිහෙන වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාල කණ්ඩායම් දමා ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම මත පොලිස් කණ්ඩායම් යොදවලා සභාවේ දොරටුවලට ඉබි යතුරු දමා මන්තී‍්‍රවරුන්ට ඉඩකඩ නොදී අයවැය සම්මත කරගන්නවා නම් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි ආයතනවලදී ආණ්ඩුව කවර හැසිරීමක් ගනීද? වත්තල සභාපතිවරයාගේ හැසිරීමෙන් පෙන්වන්නේ තමන්ගේ බලය ගිළිහෙන විට ඇතිවන වියරු ස්වභාවයයි. ප‍්‍රාදේශීය සභාවල මෙම දූෂිත පාලනයට මන්තී‍්‍රවරුන්ගේ විරෝධයක් මතුවෙලා තිබෙනවා. සභාපතිවරු සභාවට ලැබෙන සියලූ ආදායම් තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස පරිහරණය කරනවා. අත්තනෝමතිකව මුදල් පාලනය කරනවා. මහින්ද රාජපක්‍ෂ තම ආධිපත්‍යය පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයන් හිස මත, ආයතනවල නිළධාරීන් මත පටවලා තිබෙනවා. රාජපක්ෂලා තමන්ගේ නියෝගයන්ට අනුව සීරුවෙන් සිටීමට අණ කරපු පාලනයක් තමයි තිබෙන්නේ. ඔවුන් මත බිය, තර්ජනය මුදාහැරලා අල්ලස් දීලා පාලනය ගෙනයමින් තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය රාජපක්‍ෂ පවුලේ ආධිපත්‍යයට යට කළා. මධ්‍යම කාරක සභාව, කාරක සභාව කිසිදු වැඩකට නැති ආයතන බවට පත් කළා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරු පඹයන් බවට පත් කළා. ඇමතිවරු බියට, තර්ජනයට ලක් කළා. ආණ්ඩුවේ මන්තී‍්‍රවරු රාජපක්‍ෂගේ හෙවනැල්ලට බියවන තත්වයකට පත්කළා.

මහින්ද රාජපක්‍ෂ තම ආධිපත්‍යය, අනුහස, බලය සියලූ දෙනා වටා යොමු කරළා. පළමුවතාවට ඔහුගේ ආධිපත්‍යයට එරෙහිව ප‍්‍රාදේශීය සභාවල මේ වනවිට අරගලයක් පැන නැගිලා තිබෙනවා. දැන් ප‍්‍රාදේශීය සභා අයවැයට එරෙහිව ඡුන්දය පාවිච්චි කළ අය පක්‍ෂයෙන් නෙරපන්න, සභාපතිකම් නොදී ඉන්න තර්ජනය කර තිබෙනවා. නමුත් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් එම රාජපක්ෂගේ ආධිපත්‍යයෙන් ගැලවෙමින් ඊට අභියෝග කරමින් සිටිනවා. තවදුරටත් සපත්තුවට යටවෙලා දේශපාලනය නොකරන බවට පවසමින් තිබෙනවා. එය ඉතා හොඳ ලක්‍ෂණයක්. රාජපක්‍ෂලා කල්පනා කළේ ශ‍්‍රීලනිපය, පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප‍්‍රාදේශීය සභාව ඇතුළු සියලූ දෙනා තමන්ගේ යකඩ සපත්තුවට යට කරලා, රාජපක්‍ෂ ගිලටීනයට හිර කරලා පාලනය කරන්නයි.

අපි අභියෝග කරනවා හෙට පාර්ලිමේන්තුවේ අයවැය අවසන් ඡන්ද විමසීම රහස් ඡුන්දයක් ලෙස පවත්වන්න කියලා. හරි පැහැදිළියි මේ රාජපක්‍ෂලාගේ අත්තනෝමතිකත්වයට එරෙහිව ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් නැගී සිටිනවාට සැකයක් නැහැ. මහින්ද රාජපක්‍ෂ අල්ලස් කොමිසම තමන් යටතට පත්කරගෙන තමන්ට විරුද්ධ පුද්ගලයින් යට කරන මෙවලමක් බවට පත්කරලා තිබෙනවා. මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත තමන්ගේ අදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව උදා කරලා නෙවෙයි මේ පාලනය ගෙනයන්නේ. මේ පාලනය පවතින්නේ රාජපක්‍ෂගේ ආධිපත්‍යයට යට කරලා. මේ තමයි ඒකාධිපතියන්ගේ ස්වභාවය. ජනතාවගේ අභිලාෂයන්, වුවමනාවන්, අරගලයන් යකඩ සපත්තුවෙන් පාගන්න බැහැ. යකඩ සපත්තුවට පෑගී සිටින අය ඊට එරෙහිව නැගිටිනවා.

ආණ්ඩුව දැන් කරන්න උත්සාහ දරමින් ඉන්නේ ප‍්‍රාදේශීය සභා කොමසාරිස් පාලනයක් යටතට ගෙන ඒමටයි. එයට අප ඉඩදිය යුතු නැහැ. ආණ්ඩුවේ වුවමනාව එම ප‍්‍රාදේශීය සභාවල බලය හීන කරලා තනි පුද්ගලයෙකුගේ අතට පත් කිරීමයි. පසුගිය අයවැයේදීත් ප‍්‍රාදේශීය සභාවල බලය හීන කරන යෝජනා ගෙනාවා. විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂගේ දිවි නැගුම හරහා ප‍්‍රාදේශීය සභාවලට ලැබෙන ආදායම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට එකතු කරගන්න යෝජනා ගෙනාවා. ඒ ආයතන බිඳ වට්ටනවා. ඔවුන් ගමන් කරන ඒකාධිපති පාලනයට ප‍්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා බලකේන්ද්‍ර ව්‍යාප්ත වෙලා තිබීම අහිතකර තත්වයක්. ඒකාධිපතියන්ගේ ස්වභායම තමයි එම කුඩා කුඩා බල කේන්ද්‍ර අහෝසි කිරීම. ඒවා ආණ්ඩුවට හිසරදයක් වෙලා. දැන් ඒවා රාජපක්‍ෂලාගේ අණට යටත් නැහැ. මේවා බිඳවට්ටන්න තමයි උත්සාහ ගන්නේ. තනි පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට ලබාගන්න උත්සාහ කරනවා. ප‍්‍රාදේශීය සභා කොමසාරිස්වරයෙකු යටතට පවරන්න ඕන නැහැ. මොකද එම සභා අරාජික වෙලා නැහැ. එම සභාවල පාලනය ගෙනයාමට සුදුසුම ක‍්‍රමය වන්නේ මන්තී‍්‍රවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයෙකු පත් කිරීමයි. සභාපතිට යන්න වුණේ මන්තී‍්‍රවරු බහුතරයකගේ අකමැත්ත නිසයි. එම පළාත් පාලන ආයතනවලටම සභාපතිවරයා තෝරන්න ඉඩ ලබාදිය යුතුයි. ආරාජිකත්වයට පත් නොවන්නේ එය අනුගමනය කළොත් පමණයි. කොමසාරිස්වරයාට පැවරීම ජනතා පරමාධිපත්‍යය අහෝසි කර ඒකාධිපති පාලනයකට ගැනීමක්.