රාජපක්ෂගේ PROJECT එකට ගයන්ත අත ගහයි ! (Photos)

0

ලෝක උරුමයක් වූ ගාලූ නගරය සංස්කෘතික, සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කල උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ පමා කරමින් තිබූ කටයුතු කඩිනම් කිරිමට, තමා මුලිකත්වය ගෙන කටයුතු කරන බැවින් දේශපාලන භේදයකින් තොරව ගාලූ පුරයේ දියුණුවට කැමැත්තක් දක්වන දෙස් විදෙස් හි ජීවත් වන විද්වතුන්ට හා පුරවැසියන්ට දකුණුලක සුන්දර නගරය නිර්මාණය කිරීමට ඔබේ අදහස් හා යෝජනා නොපමාව ඉදිරිපත් කරන්න යැයි, ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඉල්ලීමක් කළා. ඇමතිවරයා එසේ සඳහන් කලේ ගාලූ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ප්‍රගති සමාලෝචනය සඳහා ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ගාලූ නගරය සංවර්ධනය සඳහා ලෝක බැංකු ආධාර රුපියල් මිලියන 6,500 ක් ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී ය.එහෙත් නිසි සම්බන්ධිකරණයක් හා විධිමත් පාලනයක් නොතිබීම නිසා මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඵලදායි ලෙස ක්‍රියාවට නංවා නොතිබිණි. පසුගිය සති අන්තයේ ගාලූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම ව්‍යාපෘතී කටයුතු ක්‍රියාත්මක නොවීම පිළිබඳ තත්වය වාර්තා වීමත් සමඟ ගාලූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගයන්ත කරුණාතිලක වහාම මැදිහත් වී ගාලූ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් හා ඊට අදාළ ආයතන නිළධාරීන් ඒකරාශි කර මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීය.

මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පෙරටුගාමි පක්ෂයේ ගාලූ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර යන පාර්ලිමේන්තු මහජන නියෝජිතවරුන් සහභාගි වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක ,

“පසුගිය රජය සමයේ ආරම්භ කල සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය විසින් නතර කරන බවට සමහරුන් අසත්‍ය තොරතුරු පතුරනවා. එහෙත් එවැනි නතර කිරීමක් සිදුකර නෑ. මෙම ගාලූ නගර ව්‍යාපෘතිය ගිය වසරේ ආරම්භ කල කටයුත්තක්. 2014 – 2019 පස් අවුරුදු සැලැස්මක් තුල ක්‍රියාත්මක කිරීමට ආරම්භ කලත් පසුගිය වසර පුරාම එම කටයුත්ත ආරම්භ කිරීමට එම රජය අපොහොසත් වුනා. ඊට හේතු වූයේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොතිබීමයි. එසේම ප්‍රජාව දැනුවත් කර නොතිබීමද අඩුපාඩුවකි. ගාලූ නගරය දේශපාලන පක්ෂයන්ට අයිති වූවක් නොව එය මුලූ රටේම අභිමානය ලෝකයට ගෙන යන ලෝක උරුමයක්. එම නිසා මෙම නගර සංවර්ධනය සැලසුම් කල පරිදිම 2019 නිම කිරීමට මම මූලිකත්වය ගෙන ක්‍රියා කරනවා. සියලූම මහජන නියෝජිතවරුන්ගෙන් ඊට අවශ්‍ය සහයෝගය මම අපේක්ෂා කරනවා. එසේම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ අදහස් හා යෝජනා නාගරික සංවර්ධන අමත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයට ලබා දෙන ලෙසටය. වසරක් පුරා මන්දගාමීව කල කටයුතු ඉදිරි සිව් වසර තුල නිම කිරීමට සියලූ දෙනා එකමුතුව කටයුතු කරමු ඇතැයි තමා විශ්වාස කරනවා.”

(නිමල් අල්ගෙවත්ත )

parliemnt2 parlient3 parliment