අද යාපනය

0

යාපනය ප්‍රදේශයේ කිසිදු ආකාරයකින් සාමය කඩවන ආකාරයට පුද්ගලයින්ට හැසිරීමට ඉඩ නොතබන බව පොලිසිය පවසයි.අද (21)පැවති මාධ්‍ය හමුවකදී උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කියා සිටියේ ඊයේ යාපනය ප්‍රදේශයේ දැඩි කලහාකාරි ලෙස හැසිරෙමින් මහජන දේපළ වලට හානි කල අය සදහා නිතීය මගින් දඩුවම් ලබා දෙන බවයි.

මේ අතර යාපනය අධිකරණයට ගල් ගසමින් කළහකාරී ලෙස හැසිරුණු බව කියන 129 දෙනෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කලා.ඒ අය අතර 43 ක් ජුනි තුන් වැනි දා තෙක් ද, 39 දෙනෙක් හතර වැනි දා තෙක් ද, 47 දෙනෙක් ජුනි පළමු වැනි දා තෙක් ද රිමාන්ඩ් කර තිබෙනවා.

සුගියදා කයිට්ස් – පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියක් පාදක කරගනිමින් ඊයේ යාපනය අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.

විරෝධතාකරුවන් අධිකරණය ගල් ගසමින් නොසන්සුන්කාරි ලෙස එහිදී හැසිරී ඇති අතර සිද්ධිය මැඩ පැවැත්වීම සදහා පොලිසියට කදුළු ගෑස් ගැසීමටද සිදු වූවා.

මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙනවා.

පාසල් දැරිවියගේ ඝතානයට මුවා වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමට ඉඩ නොදෙනු නීතිය කි‍්‍රයාත්මක කරනු

යාපනයේ කයිට් දුපතේ පාසල් දැරිවිය දුෂණය කොට මරාදැමීමේ සිද්ධියට මුවාවී නිතිය අතට ගැනීමට උත්සාහ දරන ප‍්‍රචණ්ඩකාරී පිරිස් වලට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශවලින් අප ඉල්ලා සිටිමු. මක්නිසාද මෙම සිද්ධියට මුවාවී කඩවල් වසාදමමින් හර්තාල් දියත් කරමින් කඵ කොඩි ඔසවමින් පාරවල් අවහිර කරමින් කරගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාරයට වෙනත් හස්තයක් කි‍්‍රයාත්මක වන බව පැහැදිව නිරික්ෂණය කළ හැකිව ඇත.

එම විරෝධතා දක්වන පිරිස් යාපනයේ ජිවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙසට බලපෑම් කරමින් ඇත. මෙම සිද්ධියට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් හිස එසවීමට උත්සාහ දරන බවක්ද පෙනීයයි. එමෙන් ම හිංසාවාදී කි‍්‍රයාවන්ට ද එළඹෙමින් ඇත. පාසල් දැරියට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කර අපරාධකරුවන්ට දඩුවම් කළ යුතුව ඇත.

එහෙත් එයට මුවාවී නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් කිසි ලෙසකවත් ඉඩදිය යුතු නැත. එම නිසා වහාම හර්තාල් ව්‍යාපාර පිටුපස සිටිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට හා හිංසනකාරී කි‍්‍රයාවන්ට පෙළඹෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කර උතුරේ ජන ජිවිතය බිඳ දැමීමට ජාතිවාදී බෙදුම්වාදී කණ්ඩායම් වලට ඉඩනොදිය යුතු බව අවධාරණය කරන අතර මේ පිළිබඳව වහාම රජයේත් ආරක්ෂක අංශත් නොපැකිලිව පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ

මාධ්‍ය ලේකම්

ජාතික හෙළ උරුමය