ඔබ හරි මග හිට ගන්න

0

අපේ රටේ කාන්තාවන් සඳහා වන කාන්තා සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන බොහෝ තිබුනත් ඉන් බහුතරය පන ගැන්වෙන්නේ මාර්තු 08 කාන්තා දිනයට හා මෙවැනි සිදුවීමක් සිදු වූ විට පමණි. තිත්ත වූවත් යථාර්ථය එයයි. මෙවැනි ක්‍රියා අල්ප කරගැනීමේ මෙහෙයුම් සදහා ඔවුන්ගේ මැදිහත් වීම ඉතා වැදගත් වනු ඇත. ඒ කෙසේද යත් මේ සදහා අවශ්‍ය නීති, සම්මුති සැදීමට අවශ්‍ය සහයෝගය මෙන්ම බලපෑම් කණ්ඩායම් ලෙස රජයට බල කිරීමේ ඔවුන් සතු හැකියාව තුලිනි. එබැවින් අපි ඔබට එකක් මතක් කරන්නෙමු ඒ ඔබ හරි මග හිට ගන්න, සමාජ වගකීමක් දරන මාධ්‍ය ලෙස අපි ඔබ සමග එක් වෙන්නම්.(යුනිකොඩ් කියවිමක් සදහා පහත බලන්න)

WOMEN01 WOMEN02 WOMEN03

පසුගිය වසර කිහිපය තුළ කාන්තා හා ළමා හිංසන විසි ගුණයකින් වැඩි වෙලා තිබෙන බව ළමා කටයුතු රාජ්‍ය ඇමති රෝසි සේනානායක පවසනවා. කාන්තා හා ළමා හිංසන වලින් විතරල් නෙමෙයි සියදිවි නසා ගැනීම්, මත්ද්‍රව්‍ය පාවිච්චිය, ආදී කාරණා වලින්ද ලංකාවට හිමි වෙන්නේ ඉහළ ස්ථානයක්.

රටක සංවර්ධනය මනින්න ආර්ථික වර්ධනය විතරක් නෙමෙයි මානව සංවර්ධනයත් එක හා සමාන විදියට වැදගත් වෙනවා. යම් රටක ස්ත්‍රී දූෂණ, ළමා හිංසන වැඩිනම් හෝ වෙනත් යම් ආකාරයක මනුෂ්‍ය ජීවිතයට බලපෑම් ඇති කරන සිදුවීම් උදාහරණ විදියට මිනී මැරීම්, මංකොල්ලකෑම්, සියදිවි නසා ගැනීම් වැඩි නම් ඒ රට සංවර්ධිත රටක් විදියට සැළකිය නොහැකිය. මේ අතින් බලන විට වර්තමානයේ ලංකාවේ තත්ත්වය ද මානව සංවර්‍ධනය අතින් පහත් මට්ටමක පවතින බව නිගමනය කළ හැකිය. මෑත ඉතිහාසයේ රත්නපුර ප්‍රදේශයේ කාන්තා මනුෂ්‍ය ඝාතන ප්‍රධාන කරගනිමින් රට පුරා සිදු වූ මනුෂ්‍ය ඝාතන මෙන්ම පෙම් හබ වලට, තම ප්‍රේමයට දෙමාපිය අනුග්‍රහය නොලැබීම, විභාගය අසමත් වීම වැනි කාරණා වලටද සියදිවි නසා ගැනීමට පුද්ගලයන් පෙළඹීම ඉහත නිගමනයට හේතූ සාධක සපයනවා. මේ සියලු කරුණු වලින් පෙනි යන්නේ අපේ මිනිස්සුගේ මානසික මට්ටම යහපත් අගයක නොමැති බවයි.

එමෙන්ම කාන්තාවන්ට එරෙහිව සිදු වන හිංසන වලටද හේතු වන්නේ මේ ආකාරයට පහත් අගයක් ගන්නා මානසික තත්ත්වයයි. ස්ත්‍රී දූෂණය කාන්තාවන්ට එරෙහි හිංසනයේ කූටප්ප්‍රාප්තියයි. එයට අමතරව පොදු ප්‍රවාහන සේවයන් වල, මග තොටේදි විතරක් නෙමෙයි තම නිවසේදී පවා කාන්තාව හිංසනයට ලක් වෙනවා. මේ හිංසනය ආරම්භ වන්නේ ඇයගේ පවුලෙන්. ස්වකිය කුටුම්බයෙහි සමාජිකයන්ගෙන්, සැමියා ප්‍රමුඛ වෛවාහක නිවසෙන්, දූ දරුවන්ගෙන් පීඩාවට ලක් වන ඇය බාහිර සමාජයේදී සමාජීය වශයෙන් පිඩාවට ලක් වෙනවා. විශේෂයෙන්ම ආසියානු අප්‍රිකානු කලාපයේ රටවල කාන්තාවට හිමි වන්නේ පුරුෂයාට වඩා අඩු ස්ථානයකි. ඉතින් ලංකාවේ තත්ත්වයද එයට දෙවනි වන්නේ නැහැ. ගැහැණිය කියන්නේ වෙළඳ භාණ්ඩයක්, ලිංගික භාණ්ඩයක් කියන මිම්මෙන් ඇය දිහා බලන් නිසා තමයි. බස් එකේදි, දුම්රියේදි මග තොටේදි ඇයගෙන් අනිසි ප්‍රයෝජන ගන්න හදන්නේ. ඔබ දන්නවද බස් එකේදි යම් කාන්තාවකට හිංසා සිදු කරන නැත්නම් දන්න භාෂාවෙන් කිව්වොත් ජැක් ගහන කෙනෙක්ට ඒ කාන්තාව කිව්වොත් පොඩ්ඩක් ඈත් වෙන්න කියලා ඔහු කියන්නේ එහෙම යන්න ඕන නම් කාරෙකක් අරන් යනවා කියලා. ඒ තරමටම තමා අතින් සිදුවන වැරැද්ද සාධාරණය කරන්න මිනිසුන් බය නැත්තේ ගැහැණිය යනු කැමති පරිදි පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා.

විද්‍යා නම් වූ ද්‍රවිඩ ජාතික තරුණිය ලිංගික පිපාසයෙන් පෙළෙන පාපතරයන්ගේ ග්‍රහනයට ලක් වූ මෑත කාලීන ප්‍රසිද්ධියට පත් වූ වින්දිතයා ලෙස හදුන්වන්න පුළුවන්. පසුගිය වසරේ බස් රියක් තුළදී සමූහ දූෂණයට ලක් වූ ජෝති සින්ග් නම් තරුණියද ඔබට මතක ඇති. එයින් පෙනි යන්නේ මේ තත්ත්වය ලංකාවට පමණක් සීමා වූ කාරණයක් ද නොවන බවයි. මේ ආකාරයට දිනකට තම පෙම්වතා අතින් නොඑසේනම් ඔහුගේ මිත්‍රයන්ගේන්, ඔහුගේ හතුරන්ගෙන්, නෑදෑයන් අතින්, තම ගුරුවරයා අතින්, අසල්වැසියා අතින් හෝ බාහිර පුද්ගලයකු අතින් දූෂණයට ලක් වන කාන්තාවන් ගණන එකකට වැඩියි. ඒවා විද්‍යාගේ සිද්ධිය තරම් ප්‍රසිද්ධ නොවන්නේ සමහරවිට මැරි මැරි ජීවත්වීම මිස කටක් ඇර කෙනෙකුට කියන්න බැරි කම නිසා වන්නට පුළුවන්. එහෙමත් නැත්නම් තර්ජනයට බියෙන් වෙන්නට පුළුවන්. මේ හේතු දෙකම නොවේනම් නීතිය මගින් තමන්ට සාධාරණයක් නොවේ යන විශ්වාසය නිසා වන්නටත් පුළුවනි. ඒ කෙසේ වෙතත් කළ යුතු වන්නේ යමක් සිදුවීමට පෙර එය වලක්වා ගැනීම නොවෙද?

ලංකාවේ දූෂණයට ලක් වූ පළමුවන හා අවසාන කාන්තාව විද්‍යා නොවේ. මෙවැනි ක්‍රියා වලක්වා ගැනීමට හෝ සහමුලින්ම නතර කර ගැනීමට කිරීමට කළ යුතු ප්‍රධාන කරුණු 2ක් හදුනා ගත හැකිය. ඉන් පළමු වැන්න වන්නේ මෙවැනි ක්‍රියා සිදු කරන මනුෂ්‍යත්වයට නිගා දෙන පාපතරයනට නීතිය මගින් නිසි දඩුවම් ලබා දීමයි. දෙවැන්න නම් කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දීම මගින් ඇය පිළිබඳව ඇති දුර්මත දුරලීමයි. මෙයින් පළමුවැන්න සඳහා අපේ දායකත්වය අල්ප වුවත් සමාජ වගකීමක් දරන පුරවැසියන් ලෙස දෙවැන්න වෙනුවෙන් අපට වගකීම් රාශියක් ඇත. අපේ රටේ කාන්තාවන් සඳහා වන කාන්තා සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන බොහෝ තිබුනත් ඉන් බහුතරය පන ගැන්වෙන්නේ මාර්තු 08 කාන්තා දිනයට හා මෙවැනි සිදුවීමක් සිදු වූ විට පමණි. තිත්ත වූවත් යථාර්ථය එයයි. මෙවැනි ක්‍රියා අල්ප කරගැනීමේ මෙහෙයුම් සදහා ඔවුන්ගේ මැදිහත් වීම ඉතා වැදගත් වනු ඇත. ඒ කෙසේද යත් මේ සදහා අවශ්‍ය නීති, සම්මුති සැදීමට අවශ්‍ය සහයෝගය මෙන්ම බලපෑම් කණ්ඩායම් ලෙස රජයට බල කිරීමේ ඔවුන් සතු හැකියාව තුලිනි. එබැවින් අපි ඔබට එකක් මතක් කරන්නෙමු ඒ ඔබ හරි මග හිට ගන්න, සමාජ වගකීමක් දරන මාධ්‍ය ලෙස අපි ඔබ සමග එක් වෙන්නම්.

අවසාන වශයෙන් මුළින්ම පවුලෙන් නැතිවෙන ගෞරවය පවුල තුලින්ම කාන්තාවට ලබා දිය යතුය. ඔබගේ අම්මට, සහෝදරියට, බිරිදට, දුවට, මිතුරියට, ගරු කරන්න. එවිට අන් සියලුම කාන්තාවන් දෙස එලෙස බැලීමට හැකි වනු ඇත. මතක තබා ගත යුත්තේ කාන්තා දිනය මාර්තු 08 වෙනිදා පමණක් නොවේ.

චතුරංග ද අල්විස්