කොටගල භූතයා අල්ලයි -දැන්ටමත් ලක්ෂ ගාණකට විදලා (Photos)

0

නුවරඑලිය හැටන් ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වලට සමගාමීව, කොටගල දුම්රිය ස්ථානයට නුදුරුව කොටගල නගරය ආසන්නයේ අලූතින් ඉදිකර ඇති දුම්රිය ගේට්ටුව දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබාගන්නා ගේට්ටුවක් බවට පත්කරගෙන ඇති බවට එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් චෝදනා කරනවා.හැටන් සිට නුවරඑළියට පිවිසෙන වාහන රේල්ගේට්ටුව තුලින් පිවිසෙනවාත් සමඟම, එම ගේට්ටුව සංඥාකරු විසින් වසා දැමීම හේතුවෙන් වාහන රේල් ගේට්ටුවේ වැදී හානි සිදුවන බවත්, ඉන්පසුව එම හානිය වෙනුවෙන් රුපියල් 25,000/- ක මුදලක් කොටගල දුම්රිය ස්ථානාධිපතිවරයාට ගෙවීමට සිදු වී ඇති බවත් අප ප්‍රාදේශිය වාර්ථාකරු පැවසුවා.

මේ වන විට වාහන 10 කට වැඩි ප‍්‍රමාණයක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි දිඹුල පොලිසිය පවසන්නේ.

යම් හෙයකින් අදාළ දඩ මුදල ගෙවීම පුද්ගලයකු විසින් පැහැර හැරියහොත්, ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.එසේ අය කරගන්නා මුදලින් දුම්රිය ගේට්ටුව සම්පුර්ණයෙන් සවිකළ යුතුව ඇතත්, අය කරගන්නා මුදලින් එම කැඞීගිය කොටස හෝ අලාභහානී සිදුවූ කොටස පමණක් අලූත්වැඩියා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ.

තවද දුම්රිය ගේට්ටුව වැසීම සදහා සංඥාකරුට අලූතින් සකස් කර දී ඇති සංඥා කාමරයට, පැරණි සංඥා කාමරය වැසීයාම හේතුවෙන් හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වන කිසිදු වාහනයක් නොපෙනෙන තත්වයක් ද උද්ගත වී තිබෙන අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවල කිසිදු සැලකිල්ලකින් තොරව මේ අයුරින් ගේට්ටුව වසා දැමීම හේතුවෙන් තමන්ට මෙම අසාධාරණ දඩ මුදල ගෙවීමට සිදුවන බවයි සිද්ධියට මුහුණ පෑ රියදුරන් පැවසුවේ.

මෙම අදාළ රේල් ගේට්ටුව තිබෙන කොටගල 111 සැතපුම් කනුව අසල සංඥා පද්ධතිය සවිකිරීම සඳහා දැනට ඉදිකර තිබෙන එක් කුළුණක් මාර්ග සංඥාවලට පටහැනිව ප‍්‍රතිවිරුද්ධ දෙසින් සවිකිරීම නිසා, හැටන් සිට නුවරඑළිය දක්වා රේල් ගේට්ටුව පසුකර යන රියදුරන් මීටත් වඩා විශාල අනතුරුවලට ද මුහුණ පෑමේ ඉඩකඩක් තිබෙනවා. මේ පිළිබඳව කොටගල දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් අප ප්‍රාදේශිය වාර්ථාකරු කරුණු විමසීම සඳහා ගිය අවස්ථාවේ, ඔහු පවසා ඇත්තේ, තමන්ට මාධ්‍යය හමුවේ අදහස් ප‍්‍රකාශ කිරීමට නොහැකි බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකූළව, දුම්රිය ගේට්ටුවට සිදුවන අලාභය රියදුරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවයි.

තවද මෙම දුම්රිය ගේට්ටුවෙන් රියදුරන්ට අසාධාරණයක් සිදුවන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ

DSC09089 DSC09551 vlcsnap-2015-05-26-14h57m28s39