ප්‍රතිවිප්ලවය පරදවන්න රනිල් සැරසේ

0

රට තුළ ජීවත්වන්නන්ගේ මානසික වෙනසක් ඇති කිරීමට නම් ප්‍රතිවිප්ලවය පරාජය කල යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවා. ඔහු මේ බව පැවසුවේ මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනය සැමරීම සදහා බණ්ඩාරනායක අනුස්මරණය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (29) පැවති උපහාර උත්සවයට සහභාගි වෙමින්.

සටන් බිම තුළ අවිආයුධ සදහා උණ්ඩ නොව, වචන නැමැති ආයුධය භාවිතා කරමින් කටයුතු කල නිසා මේ වන විට විශාල ජයග්‍රහණයක් ද තමන් ඇතුළු ආණ්ඩුව ලබා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, දශක දෙකක පමණ කාලයක් ඇතුලත රට තුළ වෙනස් පරිවර්තනයක් සිදු කිරීමට කැප වී කටයුතු කල ස්වාමීන්වහන්සේ නමක් ලෙස මාදුලුවාවේ සෝභිත හිමියන් හැදින්විය හැකි බවත්, රටට හිතැති සියලු පාර්ශවවල අදහස් සහා යෝජනා සැලකිල්ලට ගනිමින් රජයේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

උත්සව සභාව අමතමින් මාදුලුවාවේ සෝභිත හිමියන්, ජනාධිපති ඇතුලු ආණ්ඩුවේ සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර, සාධාරණ මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් සකස් කර දෙන ලෙසටයි.