කොටකෙතන අදත් උණුසුම්

0

කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) පෙරවරුවේ රත්නපුර – කහවත්ත නගරයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඉකුත් 28 වනදා පැවති උද්ඝෝෂණයේ දී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොළිසිය විසින් අත්ඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනුයි අද (30) උදෑසන මොවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ. මේ නිසා රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇති වී අතර පොළිසියේ විශේෂ කාර්‍ය බලකායේ සහ අතිරේක පොළිස් කණ්ඩායම් කිහිපයක උපකාරය ඇතිව ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත – කොටකෙතන ප‍්‍රදේශයේ දී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පෙරේදා තීරණය කළ අතර, සිද්ධියේ සැකකරුවන් නිදහස් වීමත් සමඟයි ප‍්‍රදේශවාසීන් මෙම විරෝධතා ආරම්භ කළේ. ඊයේ (29) රාත‍්‍රීයේ එහි සාමකාමී විරෝධතාවක් පැවැති අතර, කහවත්ත නගරයේ පෙරේදා පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. එහිදී ප‍්‍රදේශවාසීන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

කෙසේ වෙතත්, අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පොලීසිය සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළා.