රවීත් FCID යට යයි !

0

පසුගිය රජය සමයේ කොළඔ කොල්ලුපිටියේ හා හම්බන්තොට දි හෝටල් දෙකක් ඉදිකිරිම සඳහා ආරම්භ කරන ලද හයාත් හෝටල් ව්‍යාපෘතියේ සිදුවී ඇති මහා පිරිමාණ මුල්‍ය වංචා හා අක්‍රමිකතා පිළිබදව මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ උපදෙස් පරිදි පොලිස් මුල්‍ය විමර්ශන අංශය වෙත (FCID) පැමිණිලි කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.මේසම්බන්ධයෙන් කරුණු දක්වන මුදල් අමාත්‍යාංශය ,

හයාත් හෝටල් ව්‍යාපෘතිය රජය සතු පොදු ව්‍යවසායයක් වන සී/ස කැන්විල් හෝල්ඩිං සමාගමට අයත්වේ. මේ සමාගමේ 46%ක කොටස් ශ්‍රි ලංකා රක්ෂණ සමාගම සතුවන අතර ඉතිරි කොටස් සේවක අර්ථසාධක අරමුදල් හා ලිට්‍රෝ සමාගම අතර සමසේ බෙදි යයි.

නව රජය බලයට පත්විමත් සමග සී/ස කැන්විල් හෝල්ඩිං සමාගමේ නව කළමනාකාරිත්වය විසින් හයාත් ව්‍යාපෘතිය පිළිබද වෝහාර විගණනයක් (forensic Audit)පවත්වන ලදි.

කොළඔ කොල්ලුපිටියේ හෝටල් සංකීර්ණයේ ඉදිකිරිම් හි මුලික පිරිවැය ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 13 සිට රුපියල් මිලියන 27 දක්වා වැඩි කිරිම ඇතුළුව දුෂණ හා අක්‍රමිකතා රැසක් මෙහිදි සිදුව ඇති බවට මෙම ස්වාධින වෝහාර විගණනයෙන් එළි දරවි කර තිබේ. සී/ස කැන්විල් හෝල්ඩිං සමාගම පසුගිය රජය කාලයේදි හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ගේ සභාපතිත්වයෙන් පිහිටුවන ලද්දකි.ඔහු මෙම හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ආයතනයේ කොටස් කරුවෙකු වන ලිට්‍රේ ගෑස් සමාගමේ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.

වෝහාර විගණන කමිටුව විසින් හයාත් හෝටල් ව්‍යාපෘතියේ සිදුව ඇතැයි සොයාගෙන ඇති සංරචක දෙකකින් යුක්ත මෙහි අනෙක් ව්‍යාපෘතිය වුයේ හම්බන්තොටද හයාත් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමයි. මේ සදහා වෙන් කර තිබු රුපියල් බිලියන පහක මුදලින් රුපියල් මිලියන 300ක් ‍මෙහි මුල්ගල් තැබිමටත් පෙරාතුව වියදම් කර තිබිම පුදුමයකි.

කොල්ලුපිටියේ හා හම්බන්තොට හයාත් හෝටල් ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සි/ස කැන්විල් හෝල්ඩින් සමාගමේ එවකට සිටි සභාපති ගාමිණි සෙනරත් ගේ කාලයේ සිදුව ඇති බවට වෝහාර විගණන මගින් සොයාගෙන ඇති මෙම දුෂණ හා අක්‍රමිකතා පිළිබදව වැඩි දුර විමර්ශනය සදහා අමාත්‍ය රවි කරුණානායකගේ උපදෙස් පරිදි ලබන සතියේ දි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි ඉදිරිපත් කරන බව ව්‍යාපෘතියට අයත් සමාගමේ අධ්‍යක්ෂ ශලිල මුණසිංහ පැවසුවා.

අක්‍රමිකතා හා දුෂණ අතරට අපරාධ පනත යටතේ පොලිසිය විසින් විමර්ශනය කළ යුතු කරුණු රැසක් පවතින බව ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මුණසිංහ වැඩිදුරටත් සදහන් කලා.

ගාමිණි සෙනරත් මෙහි සභාපතිත්වය දැරූ අවස්ථාවේදී සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කරමින් සැකසහිත ගනු දෙනුවල යෙදි ඇති බව විගණනය විසින් සොයාගෙන තිබේ.නිතිඥයෙකුට ගිවිසුමකින් තොරව රුපියල් මිලියන 10 ක් ගෙවිම, යකඩ මිලදි ගැනිමේදි රුපියල් මිලියන 16 පාඩු ලැබිම, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව සැපයුම් කරුවෙකුට රුපියල් මිලියන 80 ක් ගෙවිම ආදි අක්‍රමිකතා සොයාගෙන තිබේ. තවද ජනවාරි 08 ජනාධිපතිවරණයට පෙර දින ඇ.ඩො මිලියන 37ක් වටිනා ජාත්‍යන්තර ටෙන්ඩර් ගිවිසුමකට එළඹිම ද මෙහි මහා පරිමාන දුෂණවලට අයත්වේ.

කොල්ලුපිටියේ හා හම්බන්තොට හෝටල් සංකීර්ණ දෙකක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඇතුළත් හයාත් හෝටල් ව්‍යාපෘතියේ හෙලිදරව් කරගෙන ඇති මෙම මහා පරිමාණ දුෂණ හා අක්‍රමිකතා පිලිබදව මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ උපදෙස් පිරිදි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID )වෙත පැමිණිලි කරන බැව් ව්‍යාපෘතිය භාර සමාගමේ අධ්‍යක්ෂ ශලිල මුණසිංහ පෙන්වා දුන්නා.

මේ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් එතනෝල් ආනයනය කිරිම සඳහා අළුතෙන් බලපත්‍ර 28 ක් නිකුත් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය මුදල් අමාත්‍යාං රවී කරුණානායක ප්‍රතික්ෂේප කරනවා.

මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන්ද නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන්.

ශ්‍රී ලංකාවේ මත්පැන් නිශ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරිම සුරාබදු දෙපාර්තුමේන්තු‍වේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.මත්පැන් නිශ්පාදනය කරනු ලබන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙන අතර ඒවායේ මත් පැන් නිෂ්පාදනයේ නිමැවුම් අනුව නැවත එතනෝල් ආනයනය කිරිමේ බලපත්‍ර සුරාබදු දොපාර්මේන්තුවේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරනු ලබනුයේ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුවය. මුදල් අමාත්‍යවරයාගේ කිසිදු නිර්දේශයක් හෝ අධික්ෂණයක් මේ සඳහා අවශ්‍ය නොවේ.

යහපාලන රජයෙන් මාස තුනක් ඇතුළත එතනෝල් බලපත්‍ර 28 ක් ලබාදී ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී කී ඇතැයි හිටපු ජනාධිපතිතුමන් මෑතකදී ප්‍රකාශ කර තිබිණි. රවී කරුණානායක අමාත්‍යවරයා විසින් එතනෝල් බල පත්‍ර ලබා දි ඇතැයි යනුවෙන් හුවා දැක්විමට කර ඇති මෙම ප්‍රකාශය සත්‍ය විකෘති කිරිමක් වන අතර මහ ජනතාව නොමග යැවන සුළුය.

2014 වසර සඳහා එතනෝල් ආනයනය කිරිමේ බලපත්‍ර 104 මෙසේ සුරා බදු දෙපාර්තුමේන්තුවේ නිර්දේශය මත මත්පැන් නිෂ්පාදන ආයතනවලට නිකුත් කරන ලදී.එම බලපත්‍ර උපයෝගී කරගෙන පසුගිය වසරේදී එතනෝල් ලීටර් මිලියන 15ක් ලංකාවට ආනයනය කර ඇත.

මත්පැන් නිශ්පාදන ආයතන වලට ආනයනය කරන ලද එතනෝල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා සුරා බදු දෙපාර්තමේන්තු නිලධාරිගේ අධීක්ෂණය යටතේ මත් පැන් නිෂ්පාදනය කෙරේ. මත්පැන් නිෂ්පාදනයට අමතරව කාර්මික පරික්ෂණ හා විශ්ව විද්‍යාලවල පරික්ෂණ කටයුතු සඳහා ද එතනෝල් මෙරටට ආනයනය කරනු ලබයි.

ඒ අනුව මේ වසරේ මුල් මාස හයට එතනෝල් බලපත්‍ර 54 ක් ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කර ඇති අතර එයින් මත්පැන් නිෂ්පාදනය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර ගණන 38කි.පසුගිය සමයේ මහා පරිමාණ දුෂණ හේතුවෙන් දේශපාලන හිතවතුන්ට ශ්‍රී ලංකාවට වංචනිකව හා නීති විරෝධිව එතනෝල් ගෙන් විමට අවස්ථා ලැබිණි. ශ්‍රී ලංකා රේගුව විසින් අවස්ථා ගණනාවකදී මෙසේ නීති විරෝධි ලෙස ගෙන්වන ලද එතනෝල් බහාලුම් කොළඹ වරායේදී අත්අඩංගුවට ගන්නා ලදී. 2014 වසරේදී එතනෝල් ආනයනය කිරිමෙන් රජයට ලැබුණු මාසික ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 3400කට පමණ සීමා විය.

එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන හිතවතුන්ට නීති විරෝධීව හා වංචනික ලෙස එතනෝල් ආනයනය කිරිම සඳහා තිබු ඉඩ ප්‍රස්ථාව මග හැරී ගියේය. එම නිසා ලංකාවට එතනෝල් ආනයනයෙන් රජයට ලැබෙන මාසික ආදායම පසු ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී තුන් ගුණයකින් ඉහල ගොස් ඇත.

එතනෝල් ආනයනයෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 3400.00ක් පමණ වු මාසික අදායම 2015 වසරේ මාර්තු වන විට එය රු. මිලියන 9500.00 පමණ දක්වා වැඩි වුයේ යහපාලනය යටතේ වංචා හා දූෂණවලට වැට බැඳ විවෘත ආකාරයට දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව නව රජය කටයුතු කරන නිසා බැව් මුදල් අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දෙයි.

වංචා දූෂණ හේතුවෙන් මෙතෙක් පාලකයින්ගේ හිතවතුන්ගේ සාක්කුවලට ගිය බදු අදායම් දැන් රජයට ලබා ගැනිමට හැකිවීමත් සමග යහපාලන රජයෙන් මහජන සුභ සාධන හා සංවර්ධන කටයුතු සඳහා පෙරටත් වඩා මුදල් වෙන් කිරිමට රජයට හැකිවී ඇතැයි මුදල් අමාත්‍ය කරුණානායක වැඩිදුරටත් සදහන් කරනවා.