ලොව පාපයෙන් මුදා ගන්නට දිවි කැප කළ රජුගේ උපන් දිනය අදයි

0

ලොව පාපයෙන් මුදා ගන්නට දිවි තිළිණ කළ රජෙකු වූ දේව පුත්‍රයා බිහිවූයේ දිළිඳු ආගන්තුකයකු ලෙසයි,ඒ අනුව කිතු උපත ලෞකික මායාවන් පසුපස හඹායන මිනිස් වර්ගයාට බලගතු අභියෝගයක් එල්ල කරන බව  කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ නත්තල් පණිවුඩයේ සදහන්ව තිබේ.

අද නත්තල් දිනයෙන් අප සමරන්නේ ක්‍රිස්තු තුමන්ගේ උපතයි. සීතල රැයක ගව මඩුවක ජේසු කුමරු උපත සිදුවූ බවත් එතුමන්ට සුව පහසු යහනාවක් හෝ පළඳවන්නට සිනිඳු සේල හෝ නොතිබූ බවත් නිහඬව නිහතමානීව සිදුවූ මේ උපතේ දී අසල සිටියේ දිළිඳු ගොපලුන් බවත් සුවිශේෂයෙන් සඳහන් කරයි.

ලොව පාපයෙන් මුදා ගන්නට දිවි තිළිණ කළ රජෙකු වූ දේව පුත්‍රයා බිහිවූයේ දිළිඳු ආගන්තුකයකු ලෙසයි. ඒ අනුව කිතු උපත ලෞකික මායාවන් පසුපස හඹායන මිනිස් වර්ගයාට බලගතු අභියෝගයක් එල්ල කරයි. මේ උපත සිහිපත් කරන අපට ඉහත සඳහන් කළ සිදුවීම් තුළින් අද අප දිවි ගෙවන කාලය තුළ එවැනි පසුබිම් මැද දිවි ගෙවන කෝටි සංඛ්‍යාත ජනතාව ගැන සිහි ගැන්වේ. ඒ අය ගැන මෙනෙහි කිරීමට ද මෙය කදිම අවස්ථාවකි.

දිළිඳුන්, සංක්‍රමණිකයින්, අසරණයන්, පීඩාවට පත්වූවන් කෝටි ගණනින් ලොව අප අතර සිටින බව නොරහසකි. දිළිඳුන් අතර බිහිවූ ජේසුස් වහන්සේ පිළිබඳව සිතන විටදී මේ උපත තුළින් උන්වහන්සේ දිළිඳුන් හට රාජකීය ගෞරවයක් අත්කර දුන් අයුරු පැහැදිලි වේ. බෙලහීන, අසරණ අය සමාජයේ කෙළවරකට තල්ලු වීම මිනිස් ආත්මාර්ථය තුළ සිදුවන්නකි. කෙනෙකුගේ උත්තරීතරත්වය ධනය බලය මත පිහිටා සැලකීම එදා සිට මිනිස් සමාජය තුළ දිස් වූ ස්වභාවයයි.

මේ තත්ත්වය කාර්මික විප්ලවයෙන් පසුව වඩාත් ශක්තිමත් වී අද නිදහස් ආර්ථිකය, පරිභෝජනවාදය හා ගෝලීයකරණය තුළ තියුණු වී ඇත. පුද්ගලවාදය මත පදනම් වූ නිදහස් වෙළෙඳ ආර්ථිකය ඇති නැති පරතරය වඩාත් තීව්‍ර කරන්නා වූ න්‍යාය ධර්මයකි. මේ සම්බන්ධව පළමුවන ෆ්‍රැන්සිස් ශු. පාප්වහන්සේ සඳහන් කරන්නේ ‘නිදහස් වෙළෙඳ ආර්ථිකය තුළ ටික දෙනෙකුගේ ධන ඉපැයුම සැලකිය යුතු අයුරින් වර්ධනය වන අතර වැඩි දෙනෙකු හා එලෙස ධන සම්පත් විඳින ටික දෙනා අතර පරතරය වැඩී වර්ධනය වේ.

මේ වෙනසට හේතු සාධක වන්නේ වෙළෙඳපොළ ආර්ථිකයේ පූර්ණ ස්වාධීනත්වය හා ආර්ථික ක්‍රමය තමන්ට රිසි පරිදි හැසිරවීම අගයන ඉල්ලුම හා සැපයුම මත පමණක් පදනම් වූ න්‍යාය ධර්මයකි. ඒ අනුව රාජ්‍යයකට පොදු උන්නතිය සුරක්ෂිත කිරීම සඳහා නිදහස් ආර්ථික රටා පාලනය කිරීමේ නිදහස ලබාදී නොමැත. ඒ අනුව නව ආරයේ ආඥාදායකත්වයක් නිදහස් වෙළෙඳ ආර්ථිකය තමන් සතු කර ගනී’ යන්නයි.

පාප්වහන්සේ මෙයින් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළ දිළිඳු ජන කොටස් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ පීඩාවන්ගෙන් ආරක්ෂා කරන්නට සමහර රටවලට ඉඩකඩ ලබා නොදෙන බවයි. ඒ අනුව නව ආර්ථික ආඥාදායකත්වයක් ලොව පුරා බිහි වී ඇති බවයි. මේ පුද්ගලවාදය හරහා එන ආර්ථික ප්‍රතිපත්තිය පොදු ජන සමාජයේ පැවැත්මට තර්ජනයක් බවට පත් කරයි. එපමණකුදු නොව මේ ක්‍රමයේ භයානකම ප්‍රතිඵලය වන්නේ පරිභෝජනවාදය හා අත්වැල් බැඳගත් ඇතැම් වටිනාකම් හා හර පද්ධතීන් ය.

නිදහස යනු තමන්ට කැමති දේ කිරීමේ ඉඩකඩ ලෙස අර්ථකථනය කරන මෙය ආගමික පැවැත්ම ඉදිරිපත් කරන ආචාර ධර්ම පද්ධතිය නිදහසට බාධාවක් බව ද නව ආරයේ ලෝකයක සියල්ලන් ජීවත් විය යුතු බව ද ප්‍රකාශ කරයි. මේ ආකල්පවලට අනුව සියලු ශීලාචාර පැවතුම් අභිබවා යන පූර්ණ ලිංගික නිදහස, සියල් වටිනාකම් පරයා යන ආර්ථික ප්‍රතිපත්ති, මිනිස් ජීවිතයේ අගය අවතක්සේරු කිරීම, ධනය ඉපැයීමට සියල්ල කළ හැකිය යන මිථ්‍යාව, ධාර්මික පැවැත්මට පටහැනි දේ වුවද කිරීමට නිදහස ඇතැයි සිතීම හා මානව අයිතිවාසිකමක් සේ සැලකීම ආදී අපගේ වැනි සංස්කෘතීන්ට පටහැනි දේ අප පිට පැටවීමේ නව යටත් විජිත වාදයක් වෙළෙඳ ආර්ථිකයක් අප රටට ද ඇතුල් වී තිබේ.

ඒ මඟින් රටක සාරධර්ම පද්ධතිය විනාශ කර තරුණ පරපුර නොමඟ යවා මායා ලෝකයක ඔවුන් සිරකරන්නට මේ ආර්ථික රටාව යොමු වේ. මේ සියල්ල මා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ද මේ වෙළෙඳ ප්‍රවනතාව ඉස්මතු වෙමින් පවතින බව පවසා සිටින්නටයි. ශ්‍රී ලංකාවද නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය හා එහි චාටු මායම් තුළ සිය ආගමික හා සංස්කෘතික නිදහස නැවත වරක් නැතිකර ගනිමින් සිටී. මේ තුළින් අප රට සැබෑ ආර්ථික හා සමාජයීය ප්‍රගතියක් කරා ගෙන යා නොහැක.

අප සංස්කෘතියට හා ආගමික සාරධර්මවලට‍ නොගැළපෙන කිසිවක්, නව යටත් විජිත වාදය ප්‍රතික්ෂේප කරන සැබෑ නිදහස හා ආත්ම ගෞරවය අගයන අප, මේ රට තුළ බිහි කිරීමට ක්‍රියා නොකළ යුතුය. එලෙසම සුළු පිරිසකගේ අතට සියලු සම්පත් ගලා යෑමට ඉඩ නොදී සියල්ලන්, විශේෂයෙන්ම දිළිඳුන්, අසරණයන්, රෝගාතුරයන් හා විශ්‍රාමිකයන්, ගොවි, ධීවර, කම්කරු යන බහුතර ජන කොටස් වෙත රටේ සම්පත් සැබවින්ම ගලා යන මාවතකට අප රට ගෙන යනු දැකීම අප සැමගේ කැමැත්ත විය යුතුය. මෙය සැබෑ දේශමාමකත්වයයි.

නත්තල යනු පරිභෝජනවාදයේ තවත් එක් පරිච්ඡේදයක් නොවේ. එහෙත් වෙළෙඳ ආර්ථිකය එසේ එය අර්ථකතනය කරන්නට වෙර දරයි. නත්තල් ක්‍රිස්තුන් වහන්සේ රහිත ආර්ථික ලාබ ලබාගන්න මොහොතක් කරන්නට ලෝක වෙළෙඳපොළ ක්‍රියා කරන්නේ මේ නිසා ය. Christmas වෙනුවට X’mas යන්න ද ගවලෙන වෙනුවට නත්තල් ගස ද, ශු. නිකොලාවුස් එසේත් නැත්නම් සැන්ටා ක්ලෝස් වෙනුවට නත්තල් සීයා වෙළෙන්දෙකු ලෙස ඉදිරිපත් කරන්නේත් මේ නිසාමය.

නත්තල වෙළෙඳපොළින් වෙන්කළ යුතුවා සේම දිළිඳුන් අතර ජනිත වූ ජේසුස් වහන්සේ සිහිකර පරිභෝජනවාදයෙන් මිදී දිළිඳුන් වෙත අත දිගු කරන ඔවුන් නිදහස් ‍වෙළෙඳ ආර්ථිකයේ විනාශයෙන් ආරක්ෂා කරන යුක්තිය හා සාධාරණය මෙන්ම ආධ්‍යාත්මික වටිනාකම් ද රැකදෙන ආර්ථික ප්‍රතිපත්ති වෙත යොමුවීමට කටයුතු කිරීම ද නත්තලේ අරුත සැබැවින් වටහාගත් අපගේ යුතුකම විය යුතුය. ඔබ සැමට එවැනි හැඟීමෙන් පිරි ශුභ නත්තලක් හා වාසනාවන්ත නව වසරක් ද වේවා!

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ නත්තල් පණිවුඩය