කුහුඹුවෙකුට වරදක් නැති වරදකාර ලදුනේ ….

0

ලෝකයේ පැරණිම වෘත්තීය මොකද්ද කියලා ඇහුවොත් ඉතිහාසය ගැන දන්න ඕන කෙනෙකුගේ කටට එන්නේ නගර සෝබනිය යන නමයි. අද කාලයේ තේරෙන භාෂාවෙන් ගත්තොත් ‘ගණිකාව” යි. අතීතයේ එම වෘත්තීය බොහෝ නම්බුකාර දෙයක් වුණා. රටේ පාලකයාගේ නැත්නම් රජතුමාගේ අප්‍රමාණ සැළකිල්ලට ඇය පාත්‍රවුණා. නමුත් කාලය ගත් විමත් සමග මේ තත්ත්වය වෙනස් වුණා. අද ගණිකාවට සැළකිළි කෙසේ වෙතත් මරණාසන්නව සිටියත් ඇගේ අතින් වතුර උගුරක්වත් බොන්න සමාජයේ ඉන්න කවුරුවත් කැමති නැහැ. සංස්කෘතිය, සදාචාරය ශිෂ්ටසම්පන්න බව මේ නොසලකා හැරීමට හේතු වෙනවා. මේ බාහිර ආටෝප කඩතුරාවෙන් මිදි ඇය කෙරෙහි මානූෂීය දෘෂ්ටියෙන් බලන්නට මේ ලිපිය මම උපයෝගී කර ගන්නවා.

ලංකාවේ නීතියට අනුව ගණිකා වෘත්තිය අපරාධමය වරදකි. ඒ අනුව ගණිකා වෘත්තීයේ නියැළීමද ගණිකා නිවාස පවත්වා ගෙන යාමද වරදකි. නමුත් ලෝකයේ සමහර රටවල එය පිළිගත් වෘත්තියකි. නවතම සංඛාලේඛණ අනුව ලොව පුරා ගණිකාවන් 13,265,900 සිටින අතර ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 186 වෙනවා. මෙම සමීක්ෂණයට ලංකාවේ වීදි සරන්නියන් කීයක් ඇතුලත් උණාද කියලා කියන්න අමාරු වුනත් එම ගණන විශාල නොවන බව නම් පැහැදිලිව කියන්න පුළුවන්. gගණිකාව, වීදි සරන්නිය, අභිසරුලිය යන නම් වලින් හැදින්වුවද ඇය සේවා සපයන්නියකි. පැහැදිළිවම කිව්වොත් ශෘංගාර සේවා සපයන්නියකි. නමුත් සේවා සපයන්නියක් ලෙසට නම් ඇයට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ මෙම ගැහැණුන් වටා ගෙතී ඇත්තේ ජුගුප්සාජනක, අප්‍රසන්න, ඕපාදූපයන් ය. උදාහරණයක් විදියට අපේ රටේ සම්බාහන මධ්‍යස්ථාන තියන බවත් සමහර මධ්‍යස්ථානවල ගණිකා වෘත්තීය සිදු වෙනවා කියන එකත් රහසක් නෙමෙයි. ඒ කොහොම වුනත් මේ තැන් දෙකේම ඉන්න ගැහැණිය අපේ මිනිස්සුන්ට අනුව වේස ගැහැණියෙක්. එත් සම්බාහන මධ්‍යස්ථාන නීති විරෝධී නොවේ. මෙමගින් පැහැදිළි වන්නේ යම් වෘත්තියක් නිතී විරෝධී වන්නේ නීතියට අනුව නොව මිනිසාගේ සිතුම් පැතුම් අනුව බවයි.

ගණීකාව සමාජයේ කොන් කිරීමට ප්‍රථම මෙවන් වෘත්තියක් බිහිවී ඇත්තේ මන්දැයි සොයා බැලීම වැදගත් වෙනවා. සරලව ගත්තොත් ඇයටත් ඇය විසින් ලිංගික සේවා සපයන පුරුෂයාටත් එය අවශ්‍යතාවයකි. මේ සත්‍යයෙන් ගැලවි යාමට නොහැක්කේ අනෙක් සේවාවන්ට මෙන්ම මෙයටද ඉල්ලුමක් පවතිනවා. ඔවුන් කරන්නේ ඉල්ලුමට සේවා සැපයීමයි. නමුත් වෙළෙඳපොළ තුළ පවතින වගකීම් විරහිත තත්ත්වය යටතේ බොහෝ විට සිදුවන්නේ ඇයව අඩත්තේට්ටම් වලට ලක්වීමයි.මේ වෘත්තිය පිටුපස දුප්පත්කම, අඩු අධ්‍යාපන තත්ත්වය, විරැකියාව, අවිවාහකභාවය, විවාහ දිවියේ ගැටළු, විවාහ වන වයස ඉක්ම යාම වැනි සාධක පවතිනවා. මේ සියල්ලම සමාජීය සාධක වුවත් සමාජයට ඇය අවමානයකි.

ලිංගික සේවා වෙළද පොළ අනෙක් සියලුම වෙළෙඳපොළවල් වලට වඩා ඔලුව ගසා ගැනීමට අමාරුයි. එම වෘත්තීය නිත්‍යානුකූල නොවීම තුළ තත්ත්වය වඩාත් බරපතල වෙනවා. මන්දයත් ලිංගික වෙළදපොළ මාෆියාව මෙය වටා වර්ධනය වෙලා තියන නිසා. සාමාන්‍යයෙන් කාන්තාවක් මේ වෘත්තීය සඳහා යොදා ගැනීම කුට්ටනය විදියට හදුන්වන්න පුළුවන්. (Trafiking) අතීතයේදී කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තීය සඳහා යොදවා ගත්තද වර්තමානයේ දුප්පත්කම තුන් වේල කෑම හා මුදල් ලැබීම මත ගැහැනුන් නිරායාසයෙන් මේ සඳහා යොමු වීම දක්නට ලැබෙනවා. එය වක්‍ර කුට්ටනය ලෙස හදුන්වන්න පුළුවන්.

ලංකාවේ බහුලවශයෙන් දක්නට ලැබෙන්නේ ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් ය. නමුත් මෙයින් පිරිමි ලිංගික ශ්‍රමය සපයන්නන් නැතැයි පවසන්න බැහැ. එහෙත් ගණිකාව යනු පිරිමියාගේ අවශ්‍යතාවයකි. ලංකාවේ එය නීති විරෝධී වීම තුළ සේවය සපයන්නාද සේවය ලබා ගන්නාද අනාරක්ෂිත වන අවස්ථා සුලභ ය. එක් අතකින් සේවය ලබා ගැනීමේදි සෞඛ්‍යාරක්ෂිත බව හා පොලිසියට හසු වුනොත් පවුලට හා සමාජයට මුහුණ දීමකට නොහැකියාවකින් පිරිමියා පීඩා විදිනවා, අනෙක් අතින් නීතිවිරෝධී බව නිසා එකි කාන්තාවගේ සුරක්ෂිත බව නැති වෙනවා. අපේ රටේ සිටින විකෘති අශාවන් තියන මිනිස්සුන්ගෙන් සිදුවන ගැහැට එලියට කියන්න බැරුව විදවන ගණිකාවන් කෙතරම් ඉන්නවද? ඇය නරක ගැහැණියක් නිසාත් සල්ලි දෙන නිසාත් කැමති දෙයක් කිරීමට අයිතිය තිබෙනවා යැයි පිරිමින් සිතන්නේ මේ නීති විරෝධී බව නිසයි.

සල්ලි ලැබුණත් බලහත්කාරයෙන් මවා ගත් ආශාවක් සමග පිරිමියෙකු හා යහන් ගතවීම පහසු නැහැ. එක දවසට කිහිපවතාවක් එය සිදුවන විට තවත් අමාරුයි. ඒ නිසා ඇය ගත කරන්නෙත් ලේසි පහසු ජීවිතයක් නොවේ. තම පවුලෙන් ඈත් වෙලා බියෙන් සැකෙන් ඇය ගෙවන ජිවිතය අප්‍රසන්න ය. නමුත් ඇය දිහා බලන්නේ පිටතින් පමණි. ‘ලැම පමණක් පිටට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ’ යනුවෙන්’අමරසිරි පීරිස් ගයන්නේ එබැවිනි.

එබැවින් මෙය සමාජ අවශ්‍යතාවක් ලෙස සලකා එයට අවශ්‍ය වෘත්තීමය පසුබිම සකස් කිරීම වැදගත් ය. අවම වශයෙන් එය අපරාධයක් වීමවත් වලක්වන්න පුළුවන් නම් මේ වෘත්තීය හා බැදී පවතින අප්‍රසන්න පරිසරය අවම වනු ඇත. අනෙක් අතට ආගමට සදාචාරයට මුවා වෙලා ලිංගික අධ්‍යාපනය, ලිංගික තෘප්තිය සගවා රස විදින ක්‍රමයද වෙනස් කළ යුතුයි. එවිට මේ සිදුවන දූෂණ ළමා අපචාර ප්‍රමාණයද අවම වන බව අවසාන වශයෙන් මතක් කරනවා.