කුමරි බඹසර

0

ගැහැණු දරුවෙකුට කන්‍යාවී Virgin යන නම ලැබී ඇත්තේද මෙම පටලය නිසාම විය හැකිය. මේ නිසාම මෙම පලටය පිළිබඳව ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයන් අපට බැහැර කළ නොහැක. එහෙත් කන්‍යා පටලය (කුමරි පටලය – Hymen) පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමේදී පෙනී යන ප්‍රධානම කරුණක් වන්නේ කන්‍යා පටලය පිළිබඳව තවමත් ලාංකික සමාජය තුළ ඇත්තේ මිත්‍යා මතයන් රැසක් බවයි.

මෙම මිත්‍යා මත නිසා බොහෝ කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවද නොරහසකි. කාන්තාවකගේ කන්‍යා පටලය පිළිබඳව දිග හැරෙන මෙම ලිපියට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ අදහස් දැක්වූයේ මෙසේයි.

ශී‍්‍ර ලංකාවේ වෙසෙන බොහෝදෙනෙක් කන්‍යා පටලය පිළිබඳව වැඩි අවධානයකින් සිටින බව පෙනෙනවා. නමුත් මේ කන්‍යා පටලය පිළිබඳව පැතිර තිබෙන මති මතාන්තර බොහොමයක් මිත්‍යා මතයන් වෙනවා.විවිධ ඝනකමින් යුත් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිටත විවරයේ සිට සෙන්ටිමීටර් 1/2 පමණ ඇතුළතින් පිහිටා තිබෙනවා.

කන්‍යා පටලය මැද පිහිටි සිදුර ගෝලාකාර, ඕවලාකාර, පැල්මක් ලෙස, සිදුරු කිහිපයක් සහිත දැලක් ලෙස, හෝ මලක් සේ රැලි සහිත සිදුරක් ලෙස පිහිටා තිබිය හැකියි. කන්‍යා පටලයේ ප්‍රමාණය මැද ඇති සිදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. තුනී, කැඩෙන සුළු සාමාන්‍ය ලෙස ඝනකමින් යුත්, ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යා පටල දැකිය හැකියි.කලාතුරකින් සමහර ගැහැණු ළමුන්ට කන්‍යා පටල උපතේදී නොපිහිටන අතර සමහර දරුවන්ගේ කන්‍යා පටලය ඝනකමින් වැඩි වෙනවා. එමෙන්ම තුනී ඇදෙන සුළු කන්‍යා පටලයද මැද රැලිවලින් යුත් සිදුරක් සහිත ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්‍යාපටල සංසර්ගයේදී බිදී නොයාමට ඉඩකඩ තිබෙනවා. ඝනකම කන්‍යා පටල පිහිටි ගැහැණු ළමුන්ගේ කන්‍යා පටල ඉවත් කිරීම සඳහා නිර්වින්දන තත්ත්ව යටතේ ශල්‍යකර්ම සිදු කිරිමටද සිදුවෙනවා.

එමෙන්ම සමහර ගැහැනු දරුවන්ගේ කන්‍යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීමටද හැකියාව තිබෙනවා. එවැනි කාන්තාවන්ටද පළමු සංසර්යේදී රුධිර පිටවීමක් සිදුවන්නේ නැහැ. කන්‍යා පටලය ඉරී ගිය ස්ථානයේ රුධිර නාල නොතිබුණා නම් හෝ එම ස්ථානය තුනී නම් පැහැදිලි රුධිර ගලනයක් දැකිය හැකි වන්නේ නැහැ.

කන්‍යා පටලය ඉතා තුනී ගැහැණු දරුවන් බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, ගස් නැගීම වැනි ක්‍රියාවන්වලදී නොදැනුවත්වම කන්‍යා පටලය ඉරී යාමකට ලක්විය හැකියි.කන්‍යාවක් Virgin නම් මධුසමයේ ප්‍රථම රාත්‍රියේදී සිදුවන ප්‍රථම යෝනි සංසර්ගයේදී කන්‍යා පටලය බිදී රුධිර ගලනයක් සිදුවිය යුතු බව බොහෝ අයගේ මතයක් වෙනවා.එහෙත් එය ඉතාම වැරදි මතයක් වෙනවා.අප කළ සමීක්ෂණවලට අනුව ලංකාවේ කන්‍යාවන්ගෙන් තුනෙන් පංගුවකට ප්‍රථම සංසර්ගයේදී රුධිර ගලනයක් සිදු නොවූ බවට වාර්තා වුණා.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ඔසප් වීම හෙවත් ආර්තවය මසකට වරක් සිදුවෙනවා. ගර්භාෂයෙන් මසකට වරක් පිටවන රුධිරය එහි ගෙල හරහා යෝනි මාර්ගයට පැමිණ කන්‍යා පටලයේ සිදුර තුළින් පිටතට ගලා එනවා.මේ සඳහා එම පටලයේ පවතින සිදුර හොඳටම ප්‍රමාණවත් වෙනවා.

කන්‍යා පටලයක් නැති කෙනෙකුට අලුතින් කන්‍යා පටලයක් සවි කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් ඝනකමට පිහිටි කන්‍යා පටලයක් ඉරී ඇත්තේ එක තැනකින් හෝ දෙතැනකින් පමණක් නම් එය ඉතා සියුම් සැත්කමකින් දියවන සුළු මැහුම් යොදා නිවැරදි කළ හැකියි.

කන්‍යා පටලයේ ස්වභාවය හා එහි පිහිටීම ලිතොටොමී ඉරියව්ව (Lithotomy Position)ට පැමිණීමෙන් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. එය වෛද්‍යවරයෙකු ලවා හෝ තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.
කන්‍යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.

පිරිමියා විසින් මුදා හරිනු ලබන ශූක්‍රානු යෝනි ස්‍රාවය සමඟ එකතු වී කන්‍යා පටලයේ සිදුර හරහා පීනා ගොස් යෝනි මාර්ගයට ඇතුලු වීමෙන් පසු පැලෝපීය නාලයේදී ඩිම්බයක් සමඟ සංසේචනයෙන් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩ පවතිනවා.

දුමින්ද සම්පත්
දිණමින