හලාවතදී සිදුවූ කෲර සුනඛ ඝාතනයේ ඇතුල් පැත්ත

0

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකත්ව සමුළුව වෙනුවෙන් කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ රාජ්‍යා ආරක්ෂක අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියයි. මෙහිදී කොළඹ නගරයේ සිටි සුනඛයින් 300කට ආසන්න සංඛ්යාවවක් තාවකාලික රැඳවුම් ස්ථාන කරා ගෙන යනු ලැබිණි. මේ පිළිබඳ සත්ව හිමිකම් සහ සුබසාධන, අවිහිංසා සංවිධාන විසින් කරන ලද විමසීම්වලදී කොළඹ මහනගර සභාවෙන් දැනගන්නට ලැබුණේ මෙම සමුළුවෙන් අනතුරුව සුනඛයන් ඔවුන් පෙර සිටි ස්ථානවලටම ගෙනගොස් මුදාහරින්නට සැළසුම්කොට ඇති බවකි.

මෙම සුනඛයන් සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ගය ද එය පමණි. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට පෙර සමයේ පුවත්පත්, පුවත් වෙබ් අඩවි ආදි සියල්ලක්ම පරීක්ෂා කිරීමේදී වුව දක්නට ලැබෙන්නේ එම පුවතමය. නමුත් සත්ව අවිහිංසා භාරයේ සභාපතිනී අයිරාංගනී සිල්වා මහත්මිය පසුගියදා මාධ්‍යවේදීන් හමුවේ හෙළිකළ තොරතුර ඊට වඩා බෙහෙවින් බිහිසුණු ඛේදනීය එකකි.

ශ්‍රි ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර කොළඹ නගරයෙන් අල්ලා ගත් සුනඛයන් 280ක් හමුදා වාහනවලින් හලාවත ප්රකදේශයට රැගෙන ගොස් රහසිගතව මරා දමා ඇතැයි සිල්වා මහත්මිය කියා සිටියි. කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළ ඒ මහත්මිය ජනාධිපතිවරයාගේ නියෝග පවා පිළිනොගන්නා බාහිර බලවේගයක් විසින් පාලනය සියතට ගෙන ඇති කොළඹ මහ නගර සභාව අද වනවිට අහිංසක සතෙකුට පවා නගරයේ ජීවත්වීමට ඉඩලබා නොදෙන බව සඳහන් කළාය.

සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් සුනඛයන් මැරීම සපුරා තහනම් කර තිබුණ ද කොළඹ නගර සභාවට එය අදාළ වී නොමැති බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය. ඒ අනුව මෙම සියලු සුනඛ ඝාතන නීතිවිරෝධී බව ද ඇය කීවාය.

සියලූ සුනඛයන් සුරක්ෂිතව තබා ගනිමින් සමුළුවෙන් අනතුරුව මුදා හරින බවට කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය තම සංවිධානයට පොරොන්දු වූ බවත් පසුව මේ පිළිබද විමසීමට ගිය අවස්ථා ගණනාවකදී ඇය තමන් රැවටීමකට ලක් කළ බවත් සභාපතිවරිය පැවසුවාය.

පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව අවසන්වනතුරු මෙම සුනඛයන් රඳවා තිබුණේ දෙමටගොඩ ගව ඝාතනාගාරයේය. මෙම සුනඛයින්ගේ තත්වය පිරික්සීම සඳහා එම ස්ථානයට ගිය සත්ව මිත්‍රත්ව සංගමයේ සභාපතිනී සාගරිකා රාජකරුණානායක, සත්ව සුභසාධන භාරයේ සභාපතිනී අයිරාංගනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිස දුටුවේ සුනඛයන්ට නිසි පිරිදි කෑමබීම හෝ එහිදී නොලැබෙන බවය. ඔවුන් එහි රඳවා තබා ඇත්තේ ද එකෙකු මත එකෙක් ගොඩගැසෙන ආකාරයෙනි. එමෙන්ම අයිතිකරුවන් ඇති සුනඛයන්ද එහි සිටි අතර, ඔවුන් රැගෙන යාම සදහා අයිතිකරුවන් පැමිණි අවස්ථාවලදී ඇතැම් සේවකයින් හා නිලධාරීන් ඒ සදහා අල්ලස් පවා ඉල්ලා ඇති බව දැනගන්නට ලැබිණි.

එහිදී පොලීසිය ද එම ස්ථානයට කැඳවනු ලැබූ අතර, නාගරික කොමසාරිස්වරිය එම අවස්ථාවෙදී පවසා ඇත්තේ මෙම සුනඛයන් අනුරාධපුරයට රැගෙනගොස් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවය. ඒ බොහෝ විට අනුරාධපුර මහ නගර සභාවෙන් පාලනය වන මිහින්තලයේ සුනඛ අනාථාගාරය වියහැකි මුත් අනුරාධපුර මහ නගර සභාවෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී එවැනි දෙයකට කිසිදු වැඩපිළිවෙලක් යොදා නොමැති බැව් දැනගන්නට ලැබිණි. මේ පිළිබද සැක පහළ කළ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් පවසා සිටියේ මෙම සුනඛයන් ඔවුනට සුපුරුදු ස්ථානවලටම ගෙනගොස් දමන ලෙසය. පසුව එසේ කරන බවට ඇය පොරොන්දු වූවාය. සත්ව හිමිකම් ක්‍රියාකාරිනියක හා සත්ව ආරක්ෂක භාරයේ ලේකම් ශාමිනී රත්නායක පසුගිය වසරේ සැප්තැම්බර් 5 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සඳහන්කොට සිටියේ සමුළුවෙන් පසුව සුනඛයන්, ඔවුනට සුපුරුදු ස්ථානවලටම ගෙනගොස් දැමීමට නාගරික කොමසාරිස්වරිය පොරොන්දු වූ බවය. නමුත් දැන් සිදුව ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් අමානුෂික ක්‍රියාවකි.

අඩුම තරමින් මගේ ස්වාමි පුරුෂයා අමාත්‍යවරයෙක් නිසා ඒ මගින්වත් යමක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවා.ඒත් කොළඹ නගර සභාව අපට සැලකුවේ ඒ ගැනවත් සිතන්නේ නැතුවයි මාධ්‍යවේදින් හමුවේ කරුණු දැක්වූ අයිරාංගනී සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අහිංසා ශ්‍රි ලංකා කළ විමසීමකදී කොළඹ මහනගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුණේ කොළඹ නාගරික කොමසාරිස් භද්රාදනි ජයවර්ධන මහත්මියගේ භාරයේ රඳවාගෙන සිටි මෙම සුනඛයින් ඇගේ කිසිදු එකඟත්වයකින් තොරව දේශපාලන නොවන එක්තරා බලවතකුගේ නියෝගය මත ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් මෙසේ පැහැරගෙන ගොස් කෲර ලෙස මරා දමා ඇති බවය.