Home / සංවාද / සජිත්ට විතරක් නොවේ මගේ තනතුරත් නැතිවෙන්න පුලුවන්
KabirH_lankanewsalert_11_01_2016

සජිත්ට විතරක් නොවේ මගේ තනතුරත් නැතිවෙන්න පුලුවන්


ජනවාරි 08 වැනිදා පාලන වෙනස සිදුවී ලබන සතියේ දී අවුරුද්දක කාලයක් ගත පිරෙනවා. ඒ ගෙවුණු අවුරුද්දක කාලය ගැන ඔබේ තක්සේරුව මොන වගේ ද?

මීට අවුරුද්දකට පෙර ජනවාරි අට වැනිදා මේ රටේ සිද්ධ වුණ බල පෙරළිය ගත්තට පස්සේ ඒක ඓතිහාසික බල පෙරළියක්. ලේ බිඳක් හෝ නොසෙලවමින්, ජනතාව ස්වේච්ඡාවෙන් බලමුළුගැන්වී කිසි දිනෙක සෙලෙවිය නොහැකි බව කියූ අඥාදායක පාලකයකුව ධුරයෙන් ඉවත් කරන්න එදා මේ රටේ ජනතාව සමත් වුණා.

ඒ නිහඬ විප්ලවය සිදුකරද්දී මේ රට ජනතාව ඉර, හඳ, තාරකා අපෙන් ඉල්ලුවේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ යහපාලනය ගරු කරන ප්‍රජාතන්ත්‍රිය වටිනාකම් ගරු කරන ශිෂ්ට සම්පන්න නීති ගරුක රටක්. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නායකත්වයෙන් ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් නැඟුණ ඒ අහිංසක බලාපොරොත්තුවට උපරීම සාධාරණයක් ඉෂ්ට කිරීමට මේ කෙටි කාලය තුළ අපේ රජයට හැකියාව ලැබී තිබෙනවා. මන්ත්‍රීවරු 160 ගණනක් තියාගෙන රාජපක්ෂ ආණ්ඩුව කරපු වැඩ වාගේ දස ගුණයකට වඩා කාර්යක්ෂම වැඩ කොටසක් පසුගිය කාලේ අපි කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි ඕනෑවටත් වඩා තෘප්තිමත්. අද යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ තහවුරු වෙමින් තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම හරහා දේශපාලන බලපෑම් නැති කර තිබෙනවා. ඊළඟට රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ඇතිව තිබෙනවා. දේශපාලන බලය පාවිච්චි කරමින් ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන කැත ක්‍රමය අපි නැති කර තිබෙනවා. ඒ වාගේම පසුගිය ආණ්ඩුව ප්‍රදර්ශනය කරල තිබෙන බොරු සෝබනය වෙනුවට, සරලකම රජය පසුගිය කාලයේ ප්‍රවර්ධනය කළා. ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම අපේ මැති ඇමැතිවරු එය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. ආරක්ෂකයො පිරිවරා නොගෙන සුඛෝපභෝගී වාහන මන්දිර භාවිතාවකින් තොරව මහජන මුදල් නිකරුණේ භාවිත නොකර සරල ජීවන රටාවක් ආණ්ඩුවේ සාමාජිකයන් හැටියට පසුගිය කාලේ අපි පෙන්නලා තියෙනවා.

ඒ වුණත් අපේ වැඩ කොටස ඉවරයි කියන තැනක අපි නැහැ. රාජකාරිය තවම ඉවර නැහැ. තව කළ යුතු දෑ බොහෝයි. විශේෂයෙන්ම ජනවාරි අට වැනිදා නිහඬ විප්ලවයක් කරද්දී ජනතාවට අවශ්‍ය වුණේ හුදු දේශපාලන වෙනසක්ම විතරක් නෙවෙයි. ආර්ථික වෙනසකුත් ජනතාව අපේක්ෂා කළා. දේශපාලන වෙනස සඳහා අවශ්‍ය පරිසරය අපි මේ වන විට සකසා තියෙනවා. රටේ ජනතාව එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටිනවා. නමුත් ආර්ථික වෙනසට තවම කල් මදි. අපිට බාර ගන්න වුණේ හිස් භාණ්ඩාගාරයක්. එවැනි තත්ත්වයක් තුළ ආර්ථික වෙනස අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් වැඩි කල් ගැනීමකින් තොරව ඒක මහ පොළොවේ ඇත්තක් කරන්න අපි ලැහැස්තියි. මේ රටේ ආර්ථිකය යහපත් කිරීම සම්බන්ධව එජාපයට තරම් ඓතිහාසික වාසියක් මේ රටේ වෙන කිසිම පක්ෂයකට නැහැ. එජාපය ආණ්ඩු බලය හොබවද්දී කවදාවත් මේ රටේ ආර්ථිකය වැටිලා නැහැ.

එදා යහපාලනය වෙනුවෙන් බලය ඉල්ලද්දී පහුගිය ආණ්ඩුව කාලයේ හොරකම් මැරකම් කළ අයට සමාවක් නොදෙන බව බොහොම උස් හඬින් ඔබලා කිව්වා. නමුත් ඒ දාපු සද්දේ හැටියට වැඩ වෙලා නෑ නේද ඇමැතිතුමා…

සමහරු ඒ ගැන කනගාටු වෙනවා. ඒක අපි දන්නවා නමුත්, රෝද ඕනෑවට වඩා වේගයෙන් කැරකෙද්දී යුක්තිය පීලි පනින්න පුළුවන්. අපිට ඇත්තටම අවශ්‍ය වුණේ වෙනසක් නම් අපේ මනදොල පිනවන අපි ආස කරන ප්‍රතිඵල ලබා ගැනීමට පැරැණි ක්‍රම භාවිත කරන්න ඉඩක් නැහැ. අපි පොරොන්දු වුණේ වැරැදි කරපු අයට වැරැදි විදිහට දඬුවම් දෙන ක්‍රමයක් නෙවෙයි. රජයක් ලෙස නීතියේ පාලනය පැතිර පැවැතිය යුතු බව අපි පිළිගන්නවා. ඊට දේශපාලනිකව පොහොර දාන්න අපි ලැහැස්ති නැහැ. ඔබ කිව්ව විදිහටම හොරකම් මැරකම් කරපු අයට කැලෑ නීතිය වෙනුවට නීතියේ පාලනය යටතේ දඬුවම් දෙන්න අපි එකඟ වුණා. දැන් ඒ කටයුත්ත හරියට කෙරීගෙන යනවා. ඉස්සරහදී මොකද වෙන්නේ කියල බලන්න.

යහපාලනය තහවුරු කරද්දී වේගයෙන් ඒ කටයුත්ත කරන්න බැහැ. සෑහෙන කාලයක් තිස්සේ කුණු වෙමින් ගඳ ගසමින් පැවැති සමාජයක් මීටර් 100 තරගයක් දුවල ඉවර කරනවා වාගේ ඉක්මනින් සුද්ද කරන්න බැහැ. මේක මැරතන් එකක්.

මේ වෙද්දි නීතියේ ආධිපතයය රටේ සුරක්ෂිත වෙලා ය කියලා ඔබ කිව්වට මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථා කිහිපයක්ම අපි පහුගිය කාලේ දැක්කා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය හා සම්බන්ධ සිදුවීම එහි නවතම ප්‍රකාශනයයි. ඒ ගැන මොකද කියන්නෙ?

මෙහෙමයි. ඒක අවාසනාවන්ත සිදුවීමක්. ඒ කොහොම වුණත් ඇය ඒ සිදුවීමේදී නීතිමය කටයුතුවලට, පරීක්ෂණවලට බාධා කරලා නැහැ. ඒක සාධනීය තත්ත්වයක්. එදා මෙහෙම දෙයක් වුණාට පස්සේ වැඩ කටයුතු සිද්ධ වුණු විදිහ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒවා අමතක වෙන්න අපි ඊයේ පෙරේදා ඉපදුණ අය නෙවෙයි. රජය විදියට අපි මේ පරීක්ෂණයට බාධා කරන්නෙ නැහැ. ස්වාධීන පරීක්ෂණයකට අපි ඉඩ ලබා දී තියෙනවා. අනිත් අතට හිරුණිකා කියන්නෙ එක්සත් ජාතික පෙරමුණේ කෙනෙක් මිසක් යූඑන්පියෙ කෙනෙක් නෙවෙයි. ඒකත් කිව යුතුයි.

ඒ එක්කම, එජාපයේ ලොකු වෙනස්කම් කිහිපයක් ඉදිරි දිනවල වෙනවා ය කියලා කතාවක් යනවා. ඒ ගැන මොකක්ද කියන්නෙ…Kabir_Hashim_01

මෙහෙමයි. අපි අවුරුදු 20ක් විතර විපක්ෂයේ හිටියා. ඒ අවස්ථාවේදී පක්ෂයේ පැවැත්ම හා දේශපාලන බලය ලබාගැන්ම වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාවට නොයෙක් වෙනස්කම් කළා. මේ මොහොතේදී ආණ්ඩුකරණයේ නිරත පක්ෂය විදිහට සෑම පැත්තකින්ම අනාගතය දෙස බලන්න අපිට සිදුව තියෙනවා. ඉදිරියට එන්නේ අලුත් අභියෝග ඒ එක්කම දැනට පක්ෂයේ ඇතැම් තනතුරු ගැන ගැටලු තියෙනවා. ඒවා විසඳා ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අවශ්‍යතාවන්වලට අනුව කාලානුරූපීව වෙනස්කම්වලට භාජනය වන පක්ෂයක්. ඒ නිසා ඕනෑම මොහොතක වෙනස්කම් සිද්ධ ‍ෙවන්න පුළුවන්. ඒක ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු තත්ත්වයක්.

ඔය කරනවා ය කියන සංශෝධනයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නියෝජ්‍ය නායකකම නැති වෙනවා ය කියලා මාධ්‍ය වාර්තා පළවී තිබුණා. ඒක ඇත්ත ද?

මම දන්න විදියට එහෙම තීන්දුවක් අරගෙන නෑ. නමුත් ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුගේ තනතුරු වෙනස් වෙන්න පුළුවන්. මගේ තනතුර වුණත් එහෙමයි. දේශපාලන පක්ෂයක වැඩ කරද්දී පක්ෂය ගන්න තීන්දු තීරණ අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක පිළිගන්න වෙනවා. මේ මොන තනතුරක්වත් යාවජීව තනතුරු නෙමෙයි. ඒ තත්ත්වය තේරුම් ගෙන අපි වැඩ කළ යුතුයි.

ඉදිරියේදී සිදු කරන බව කියන කරන කැබිනට් සංශෝධනයේදී ඔබට මුදල් ඇමැතිකම ලැබෙන්න යනවා ය කියලා ආරංචියි. ඒකවත් ඇත්ත ද?

මාධ්‍ය තමයි ඔහොම කියන්නේ. එහෙම නැතිව වගකිව යුතු කවුරුවත් එහෙම සහතිකයක් දීලා නෑ. අනිත් අතට මම තනතුරු වරදාන බලාගෙන දේශපාලනය කරන කෙනෙකුත් නෙමෙයි, මගේ දැනුමින් හැකියාවෙන්, දක්ෂතාවයෙන් මේ රටට සේවය කිරීම හැර වෙනත් සිල්ලර අරමුණු මට නැහැ. එතැනදී පක්ෂය මා වෙත පවරන්නා වූ ඕනෑම වගකීමකට සාධාරණය ඉෂ්ට කිරීමට මම ලෑස්තියි. පක්ෂය ගන්න ඕනෑම තීන්දුවකට මම හිස නමනවා. ඒක ප්‍රශ්න කරන්නෙ නෑ. ඒක ඩිමෝෂන් එකක් වුණත් ප්‍රමෝෂන් එකක් වුණත් මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ, යූඑන්පීය කියන්නේ මහා සම්ප්‍රදායේ දේශපාලන පක්ෂයක් මිසක් ප්‍රයිවට් කොම්පැනියක් නොවන නිසයි.

Kabir_Hashim_02පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී හිල්ටන් හෝටලය හා සම්බන්ධ රාජකාරි වෙනුවෙන්, නිහාල් ශ්‍රී අමරසේකර මහතාට මිලියන 300ක මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ පත්‍රිකාවට ඔබ දැඩිව විරුද්ධ වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. මොකක්ද ඒ විරෝධයේ පදනම…

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන්නකු විදියට එහි සාමූහික වගකීම සුරැකීමට මම බැඳී සිටිනවා. ඒ නිසා එහි වුණ දේවල් ප්‍රසිද්ධ මාධ්‍යයක් සමඟ සාකච්ඡා කරන එක එතරම් සදාචාර සම්පන්න නැහැ. ඔය හිල්ටන් හෝටලය අයිති හොටෙල් ඩිවොලපර්ස් සමාගම ඉස්සර කා යටතේ තිබුණත් දැන් ඒක අයිති වෙන්නෙ මගේ අමාත්‍යාංශයට. ඒ නිසා යමක් කරද්දි ඒක කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඔය කියන කෙටුම්පතේ තිබුණු කරුණු අතිශයින්ම ගැටලු සහගතයි. වගකිව යුතු දේශපාලනඥයකු විදියට හැම විටම නිවැරැදි දේ වෙනුවෙන් මා පෙනී සිටිනවා. ඒක මාගේ දේශපාලනය දන්න අය හොඳට දන්නවා.

ඉදිරි අනාගතය පිළිබඳ කතා කරද්දී ආණ්ඩුව බෙහෙවින්ම ශක්තිමත් ය කියලා රජයේ ප්‍රකාශකයන් කියනවා. නමුත් විපක්ෂය නම් කියන්නේ ඊට වෙනස් කතාවක්. ආණ්ඩුව ඉක්මනින්ම වට්ටවනවා ය කියලා ඒකාබද්ධ විපක්ෂය විදිහට පෙනී සිටීම් කරන කණ්ඩායම කියනවා. ඉස්සරහට මොනවා වෙයි කියල ද හිතන්නෙ?

අද මේ ආණ්ඩුවට කිසි අභියෝගයක් නැහැ. ඔය මොන කතා කිව්වත් ශක්තිමත් විපක්ෂයක් දැන් මේ රටේ නැහැ. විපක්ෂය තුළ පවා ඒකමිතියක් නැහැ. ඒ තත්ත්වය තුළ ආණ්ඩුවේ අනාගතය සුපැහැදිලියි.

සිළුමිණ වෙනුවෙන් එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් සමග සාකච්ඡා කළේ: චාමර ලක්ෂාන් කුමාර

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

nishantha_onlinefirst_04_02_2014

කොටි සැමරුම් මහින්දටත් හුරුයි -අධිකරණයට ගල් ගැසීම ලෝක ස්වභාවයයි

අපි හැමෝම දන්නවා උතුරේ ප්‍රභාකරන්ට පක්ෂ පිරිසක් ඉන්නවා.ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනවා.ඊලාම් ධජ ඔසවනවා.රජය ඒවා ඉවත් කරමින් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.ඕවා මහින්දගේ කාලෙත් මේ විදියටම වුණා.