කිරි ගොවීන්ට ගැටලු රැසක් නිසා දියර කිරි ‘විප්ලවය’ අඩාලයි

0

ශ්‍රී ලංකාවට බහු ජාතික සමාගම්වල කිරිපිටි හදුන්වා දුන්නේ 1927දීය. ඒවා මුල් යුගයේදී රෝහල් මගින් නොමිලේ ලබාදීමට ඔවුහු නිර්ලෝභි විය. මව්කිරි බහුල ලෙස ලමයාට පෙවීම සඳහා මව්වරුන්ට කිරි එරීමට විදේශවලින් ගෙන්වන කිරිපිටි සුදුසු බවට 1936 ජනවාරි මස සඳරැස සහ දිනමිණ පුවත්පත්වල වර්ණ දැන්වීම් පලවිය. ශ්‍රී ලංකාවට 1948 නිදහස ලැබීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 1949දී එළකිරිවල ගුණය කියාපාමින් පුළුල් ප්‍රචාරයක් සිදුකරන ලදී. එහෙත් සංවිධානාත්මක බලවේගයන් විසින් රජයේ නිලධාරින්ට විදේශ ශිෂ්‍යත්ව සහ ත්‍යාග ලබා දෙමින් එය ලත් තැනම ලොප් කෙරිණි. විදේශයෙන් ආනයනය කරන කිරිපිටි රාජකීය දරුවන්ගේ ආහාරය ලෙස හදුන්වා 1965දී බහුජාතික සමාගම් තවත් ප්‍රචාරයක් සිදු කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ලියාපදිංචි කිරි ගොවීන් සංඛ්‍යාව 238,332කි. ලියාපදිංචි නොවූ සුළු ගොවින් ලක්ෂයකට ආසන්නය. කිරි ලබාදෙන එළ ගවයින් 251,490කින් වාර්ෂිකව නිපදවන කිරි ලීටර් දශලක්ෂ 240කි. මී ගවයින් 86,226ක් සිටින අතර එමගින් වාර්ෂිකව නිෂ්පාදනය කරන කිරි ලීටර් සංඛ්‍යාව දශලක්ෂ 55කි. ශ්‍රී ලංකාවේ දිනපතා නිපදවන කිරි ලීටර් සංඛ්‍යාව ලක්ෂ 8කි. කිරිවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වීමටනම් දැනට කිරි ලීටර් දශලක්ෂ 259ක්වන වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් දශලක්ෂ 702 දක්වා ඉහළ නැංවිය යුතුය. ශ්‍රී ලංකාවේ දැනට කිරි අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන්නේ සියයට 33ක ප්‍රමාණයකි. ඉතිරි සියයට 67 විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවි තිබේ. ඒ සඳහා රටට වාර්ෂකව ඩොලර් දශලක්ෂ 300ක විදේශ විනිමයක් වැයවේ.

වසර 2005 සිට 2012 දක්වා සසදන කල මුළු කිරි නිෂ්පාදනය දශලක්ෂ 107කින් වැඩිවී ඇත. එය සියයට 56ක වැඩිවීමකි. කිරි දෙනුන් සංඛ්‍යාවද 155,000කින් වැඩිවී ඇත. තව කිරි දෙනුන් ලක්ෂ 3කගේ කිරි දොවාගත් විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කල හැකිය. එය අසීරු ඉලක්කයක් වුවද ඒ සඳහා අදාළ අංශ උත්සාහය අතහැර නැත. මේ සඳහා උසස් තත්ත්වයේ කිරි එළදෙනුන් 25,000ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වීමට තීරණය කර ඇති අතර ඉන් කිරි එළදෙනුන් 5000ක් 2014 අවසන් වන විට ගෙන්විමට කටයුතු කරන ලදී. එම කිරි දෙනුන් පැටවුන් බිහි කිරීමෙන් පසු පැටවුන් සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ කිරි ගොවින් වෙත බෙදාහැර ඇත.

එහෙත් කිරිගව ආහාර, බෙහෙත් මිල ඉහළයෑම වැනි ආදායමට වඩා නිෂ්පාදන මිල ඉහළයෑම නිසා කිරි ගොවියෝ බරපතල ගැටළු රැසකට මුහුණදී අසරණ භාවයට පත්වී ඇති බව 2016 අප්‍රේල් මස අවසානයේදී කුරුණෑගල, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්වල අප කල මාධ්‍ය වාර්තාකරන වැඩසටහනකදී හෙළිවිය. කිරි ගොවිතැනට බැංකු මගින් ණය සහන පොලියට ලබාදෙන බව කීවද ගෙවීමට සිදුව ඇති බැංකු පොලිය සියයට 12කි. අධික පෑවිල්ල නිසා තෘණ සොයා ගැනීමට අසීරුවීමෙන් කිරි එළෙදෙනුන්ට විකල්ප ආහාරයක් ලෙස බියර් මණ්ඩි කෑමට දෙන අතර එහි කියුබ් එකක මිල රුපියල් 15,000කි. කිරි ලීටරයක් සඳහා රුපියල් 70ක සහතික මිලක් තිබුණද රජය මැදිහත්ව සහනදායි වැඩපිලිවෙලක් සිදු නොකරහොත් නුදුරේම මෙරට දියර කිරි නිෂ්පාදනය නඟා සිටුවීමට ගත් ප්‍රයත්නය බිඳවැටීම කිසිවෙකුට නවතා ලිය නොහැකි වනු ඇත

ධර්මන් වික්‍රමරත්න විසිනි.