Home / විශේෂාංග / මාස්ටර්පීස් සහ මාට්ටුපීස්

මාස්ටර්පීස් සහ මාට්ටුපීස්

Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd’oeuvre ලෙසයි. ඒත්,

මාට්ටුපීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්…) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ නිර්මාණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට නිමවා ඇති කෑලි මාට්ටු කළ, මූට්ටු කළ කෛරාටික වැඩකටයි. මට මේ කතාව ඔබට කියන්නට මග පෑදෙන්නේ, මැතකදී මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ සිනමාපටයක් පිළිබඳ පේරාදෙණියේ මහාචාරියකු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කළමාස්ටර්පීස් හැඳින්වීම හේතුකොට ගෙනයි.

උන්නැහේ ලියා තිබුණේ, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග’ ‘Let her cry’ . මාස්ටර්පීස් එකක් බවයි. දැන් අපට සලකා බලන්නට ඇත්තේ සහසුද්දෙන්ම මූලික කරුණු දෙකකි. ඒවා නම්, මහාචාරී මහතාගේ ප්‍රකාශය යම් විශ්වසනීයත්වයකින් යුතු වූ ප්‍රකාශයක් ද යන්න සහ ඔහු එම ප්‍රකාශයට පාදක කැරගත් උක්ත සිනමාපටය එවැනි මාස්ටර්පීස් එකක් ද යන්න කරුණුය. මෙම විමැසීම් දෙකටම ඇත්තේ එක් විමසුමකට ඍජුව පිළිතුරක් සැපයීමෙන් ලබා ගත හැකි පහසු උත්තරයකි. එයනම්, ඉහත සිනමාපටය මාස්ටර්පීස් ගණයේ නිර්මාණයක් ද යන්න විමසා බැලීමයි. ඒ සඳහා අපට එම සිනමාපටය ගෙන එහි කලාත්මක බවත්, තාක්ෂණික හපන්කම් සහ තවත් දේත් එක් පසෙකින් විමසා බලන්නට හැකියි. තවත් පසෙකින් එහි ඇති සමාජ දේශපාලනික මෙන්ම ආගමික සංස්කෘතික දාෂ්ටිවාදී ගති පිළිබඳව ද විමසා බලන්නට හැකියි. ඒ දේවල් පිළිබඳව අඩු වැඩි වශයෙන් මම ද තවත් අය ද පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ යම් යම් විචාර විමැසුම් කැර ඇත. එහෙත්, දැන් අපට වහාම උනන්දුවන්නට සිදු වී ඇත්තේ ඒ කිසිවක් ගැන නොවෙයි. මේ කියන මාස්ටර්පීස් නිර්මාණය ඇත්තටම එහෙම එකක් ද නැත්නම්, මා ඉහතින් දැක්වූ වර්ගයේ මාට්ටුපීස් එකක් ද යන්න පිළිබඳවයි.

අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය මාස්ටර්පීස් නොව මාට්ටුපීස් බව ලංකාවේ සිනමා රසිකයන්ටත්, හඳගම වන්දනාකරුවන්ටත් පොදුවේ සියලුදෙනාටමත් මුලින්ම හෙළිදරව් කරන්නට යෙදුණේ මවිසිනි. ඒ මීට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයේ මා නමින් ඇති පිටුව ඔස්සේයි ඉන් කියැවුණේ, අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය අඩු වැඩි වශයෙන් ස්පාඤ්ඤ සිනමාපටයක කොපියක් බවයි. නමුත් එය කොපියක් වන්නේ, තේමාව සහ සිදුවීම් ද, රූප රාමු ද ඒ හැටියෙන්ම හොරකම් කිරීම නිසාය. නමුත් ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇති මනුෂ්‍යත්වය වෙනුවට මේ කොපියේ ඇත්තේ අශිෂ්ටත්වයයි. අමනකමයි.

Elegy නමින් 2008 දී මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ නිර්මාණයකි. එය අධ්‍යක්ෂණය කැර ඇත්තේ ඉසබෙල් කොයිසෙට් Isabel Coixet නම් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂිකාවයි. ෆිලිප් රොත් Philip Roth නම් ඇමෙරිකානු ලේඛකයාගේ The Dying Animal – 2001 නවකතාව පසුබිම් කැරගෙනයි එම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ.

එහි ප්‍රධාන චරිතය ඬේවිඞ් කෙපෙෂ් David Kepesh (බෙන් කිංග්ස්ලි – Ben Kingsley) මහාචාරියකු වන අතර ඔහුගේ ජීවිතය හැඳින්වෙන්නේ, emancipated manhood – මුක්තිය ලැබූ ජීවිතයක් ලෙසයි. එනම්, තම පවුලෙන් වෙන් වී එකම පුත්‍රයාගේ වෛරයට පාත්‍ර වී එහෙත් දිගින් දිගටම ස්ත්‍රී සහවාසයේ යෙදෙමින් ගෙවන ජීවිතයකි. විසි අවුරුදු කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියක් වී සිටින්නේ කැරොලින් ය. Carolyn (පැට්‍රිරෂියා ක්ලාක්සන් Patricia Clarkson – ) ඇය කෙපෙෂ්ගේ පැරණි ශිෂ්‍යාවක් වන අතර කෙපෙෂ්ගේ අලුත් පෙම්වතිය කොන්සියුලා කැස්ටිලෝ ද Consuela Castillo (පෙනිලොප් කෲස් – Penelope Cruz ) ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මෙම චිත්‍රපට දෙක දිහා සංසන්දනාත්මකව බලනවිට, කොපියේ ද ඉන්නේ මහාචාරියෙකි. ඔහුට ද වියපත් ස්ත්‍රියක් ඇත. ඇය සමාන වන්නේ, කැරොලින් ගේ චරිතටයි. එසේම අලුත් තරුණ පෙම්වතියක් ද සිටී. ඇය කොන්සියුලාගේ සමගාමී නිරූපණයයි. මෙම චිත්‍රපටයේ කෙපෙෂ් හට වැඩිහිටි වියේ පුතකු ඉන්නා අතර කොපියේ ද කියැවෙන්නේ එම මහාචාරියාට ද එවැනි පුතකු ඉන්නා බවයි. ඒ චරිත සමානකම් ය. සිදුවීම්වල සමානකම් ලෙස, කෙපෙෂ් ද රටේ පිළිගත් රූප මාධ්‍යවල පෙනී සිටිමින් තමන්ගේ චර්යාවට ප්‍රතිරෝධ වූ දේ විද්වත් සාකච්ඡාවල ප්‍රකාශ කිරීම ද, ඉතාම සමාන කාමර දර්ශන ද, වෙරළ දර්ශන ද කොපියේ ද ඇතුළත් ය. ඒ සියලු දේ අනුව, මෙම මුල් චිත්‍රපටයේ සංකල්පය concept කොපියේ අදියුරු විසින් අමු අමුවේ සොරා ගනු ලැබ ඇති බව ඉතා පැහැදිලිය. (චිත්‍රපට දෙකම නැරඹීමෙන් මේ බව ඉතා හොඳින් වැටහෙනු ඇත.) ඒ සංකල්පය සොරා ගැනීම පිළිබඳවයි.

මීළඟට මෙහිදී ඔබට කියන්නට ඇත්තේ ඉතාම වැදගත්ම කරුණ නම්, උක්ත මුල් චිත්‍රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි. මුල් සිනමාපටයේ දී අප හඳුනාගන්නා මූලිකම කරුණක් නම්, මෙහි ප්‍රධාන චරිතය වන කෙපෙෂ් එහි හැඳින්වෙන්නේ, මුක්තිය ලද ජීවිතයක් emancipated manhood ගතකරන චරිතයක් ලෙස වීමයි. (මෙය එම සිනමාපටය පිළිබඳ හැඳින්වීම් කෙරෙන අවස්ථාවල යෙදී ඇති හැඳිනුමකි.) එවැනි හැඳිනුමක් එම චරිතයට ආදේශ කරන්නට හැකි සෑම සාධකයක් ම මුල් කතාව ලියූ නවකතාකරුවා සේම සිනමාපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාව ද එකී කෘතීන් තුල සපුරා තිබීම විශේෂය. එනම්, කෙපෙෂ් පවුලක් තුල ජීවත් වන්නකු නොවීම සහ ඔහු තම ලිංගික සම්බන්ඳකම් සඳහාම ස්ත්‍රීන් ඇසුරු කරන්නකු වීමයි. නමුත්, ඔහු ඉතාම නිරවද්‍ය හෘදය සාක්ෂ්‍යයක් ද ඇත්තෙකු බව එම කතාන්දරයේ යම් යම් තැන්වල ද, විශේෂයෙන් අවසන් භාගයේ ද ඔප්පු කර සිටීම එම කලා නිර්මාණයේ ඇති මානව හිතවාදී බවයි. (මේ පිළිබඳ පුළුල් සංවාදයක දී හෝ ලිවීමක දී මෙම කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.)

මීට සාපේක්ෂව, කොපියේ ප්‍රධාන චරිතය වූ මහාචාරී පුද්ගලයා සංකේතාත්මකව හෝ ජීවත් වන්නේ පවුලක් තුලයි. (එය බිරිඳ සැමියා දුව වැනි පවුලක් බව කිීම නිර්මාණකරුවා හිතාමතාම මගහැර සිටීම ගැන මීට පෙර ලිවීමේ දී කියා ඇත. රිවිර ඉරිද සංග්‍රහය – 08.05.2016) එසේ පවුලක් තුල ජීවත් වන අයෙකුගේ මෙවැනි හැසිරීමක් ඔහුගේම තනි කේවල හැසිරීමක් ලෙස කිසිසේත්ම පිළිගන්නට නොහැකි වන්නේ පවුලක් තුල දී එම පවුලේ එක් සාමාජිකයෙකුගේ ක්‍රියාත්මක වීම එහි සිටින සියලුදෙනාට ඍජුවම බලපාන නිසායි. (විශේෂයෙන් මෙවැනි සංස්කෘතික වටපිටාවක් තුල) මේ බව දන්නා නිසාම, මුල් නිර්මාණයේ චරිත පිහිටුවා ඇති සන්දර්භවලින් ගලවා ඒවා පවුලක් තුලට ගොනු කර එම ක්‍රියාකාරකම්ම කොපියේ ද ඇතුළත් කිරීමෙන් කොපියේ නිර්මාණකාරයා බලාපොරොත්තු වන දුෂ්ට මෙහෙයුම කුමක්දැයි මෙම සිනමාපට දෙකම නැරඹීමෙන් වටහා ගන්න. (කරුණාකර හැකි අය මෙම චිත්‍රපට දෙකම නරඹන්න.) එසේම, මෙහි එන කෙපෙෂ්ගේ පළමු මැදිවියේ පෙම්වතිය කැරොලින් ද කෙපෙෂ්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නියක් නොවන්නේ, ඇය ද කෙපෙෂ් මෙන්ම මුක්තිය ලද ජීවිතයක් ගත කරන තැනැත්තියක් වීම නිසා. එපමණක් නොවෙයි, කෙපේෂ්ගේ අලුත් පෙම්වතිය වූ කොන්සියුලා ද කාමිනියක් හෝ උන්මාදයෙන් කෙපෙෂ් හඹා එන විකාරකාරියක් නොවේ. නමුත් කොපියේ රතිකා කොඩිතුවක්කු රඟන චරිතය උම්මත්තක කාමිනියක් බව ඇයම කියන ආකාරය එහිම දැක්වෙන්නේ ඇයගේ ම වචනවලිනි.

“මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගෙ මිනිස්සු විතරක් නොවෙයි, බල්ලො බළල්ලුත් ගෙට අරගෙන දොර වහගන්නවා.”

මෙසේ දෙබස් කියූ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට කියා ඇති දේ සිදුවන්නට යන දෙයක පෙර මග ලකුණු පෙන්වන බව පළමු ලිවීමේ දී මෙන්ම මෙහිදී ද මතක් කරමි. ඇය මෙසේ කියා ඇත.

“ඒ චරිතයට මමත් බයයි. ඇත්තටම සියලු දේ විනාශ කරගෙන පිපිරෙන්න සූදානම් බොම්බයක් වගේ. චිත්‍රපටිය බලනකොට මටමත් බය හිතුණා. මට දැනෙන්නෙ ඒ බය විතරයි.”

ඇත්තට ම ඇය තවම මෙහි ඇති භයංකාර බව දැනගෙන නැත. එම කොපිය සඳහා නිර්මාණකාරයා විසින් ඇය පාවිච්චි කරනු ලැබ ඇති දුෂ්ට අන්දම හොඳින්ම වටහා ගන්නට නම්, ඇය Elegy සිනමාපටයේ පෙනිලොප් කෲස් රඟන චරිතය හොඳින් විමසිය යුතුය. එය අතිශය මානුෂික චරිතයකි. කොන්සියුලා කාමිනියක් නොවේ. ඇය කෙපෙෂ්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් වන්නේ ද නැහැ. නමුත් ඇය ඔහුට ආදරය කරනවා. ඔහු ඇයට ආදරය කරන්නේ ඇයිද යන්නත් ඇය දන්නවා. (මේ ගැන දීර්ඝව විග්‍රහ කිරීම වගේ ඉදිරි ලිවීමක දී සිදුවනු ඇත.) නමුත්, කොපියේ දී මේ කිසිවක් කිසි කෙනෙකුට පැහැදිලි නැහැ. චරිත සියල්ල තනිකරම විකාරරූපී හැසිරීමක යෙදෙනවා. ඒ විකාර හැසිරීම් සියල්ල එල්ල කරන්නේ පවතින සාම්ප්‍රදායික පවුල වෙතයි. කිසිදු තාර්කිකත්වයක් නැති සිදුවීම් සහ හැසිරීම් ප්‍රමාණයකින් ව්‍යාජ ගූඪ බවක් මවා පා තමා මෙම නිර්මාණයෙන් මහා දෙයක් කියා ඇති බවක් අඟවයි. නමුත්, කියා ඇත්තේ කුමක්දැයි නිර්මාණකාරයා හෝ ඔහුගේ මුග්ධ වන්දනාකාරයෝ නොදනී. ඉන් කියැවී ඇත්තේ කුමක්දැයි එක්වරට දෙවරක්ම මේ වනවිට මෙම ලිවීම කෙරෙන් නම් හෙළිදරව් කැර ඇත.

දැන් අපි බලමු, මේ එකම සංකල්පයක්, චරිත හා යම් යම් සමාන සිදුවීම් සහිත සිනමාපට දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ තම නිර්මාණ අවසානය සටහන් තබනා ආකාරය. එයින්ම මෙම ලිවීම ද හමාර කරන්නට හැකියි. මුල් නිර්මාණකරණයේ දී, කතානායකයා මුල සිටම තම ආත්ම කථනය උත්තමපුරුෂ ඒකවචන කථනයක් ලෙස ගෙන එන අතර ඒ හරහා ඔහු සහ ඔහුගේ හැඟීම් පිළිබඳව ප්‍රේක්ෂකයාට පුළුල් දැනවීමක් කැරවයි. එසේම, වරින් වර තම ජීවිත පිළිබඳව කථෝපකථනයේ යෙදෙන කෙපෙෂ් සහ ඔහුගේ මිතුරා ඩෙනිස් හොපර් Dennis Hopper (ජෝර්ජ් ඕ‘හර්න් – George O’Hearn) අතර සංවාදවලින් මේ ජීවිත පිළිබඳව ප්‍රේක්ෂකයා වෙත හෙළිදරව් වන දේ මොනතරම් ආලෝකයක් මෙම සිනමාපටය එල්ල කරනවාදැයි එය නැරඹීමෙන්ම ඔබ දැනගත යුතුය. නමුත්, මෙහි කොපියේ ඇත්තේ සුපුරුදු මූසල, කාලකන්නි බවම මිස මිනිස් සංවාද ඇත්තේ නැත. එමගින් කොපියේ නිර්මාණකාරයා සන් කරන්නේ මේ චරිත බලෙන් සවිකැර ඇති සාම්ප්‍රදායික පවුලේ තිබෙන අවුලක් හෙයින් මේ මුස්පේන්තුකම එතුලට රිංගා ඇති බවයි. එසේම, අදහස් ප්‍රකාශ නොකිරීමෙන් මේ ගුප්ත කොපිය තුල ඇති අසාර්ථකත්වය ද හෙළිදරව් වීම වළක්වා ගැනීම ද තවත් එක් අරමුණකි. (මීට කලින් ද මෙවැනි නිර්මාණ ගැන ලියන විට මේ ගූඨ නිශ්ශබ්දතාව ගැන ලියා ඇති බව මතක් කරමි.)

නමුත්, Elegy නම් ඒ අපූරු සිනමාපටය අවසන් වන්නේ මේ වියපත් මහාචාර්ය කෙපෙෂ් සහ ඔහුගේ ළාබාල පෙම්වතිය කොන්සියුලා අතර ඇති වූ අසාමාන්‍ය පෙම් සබඳතාව මනුෂ්‍යත්වයදෝරේ ගලනා ආදරණීය, ප්‍රේමනීය ඉමකට සේන්දු කැරවමිනි. ඒ නම්, කෙපෙෂ් වඩාත්ම ආසා කළකොන්සියුලාගේ පියයුරු යුගලයෙන් එක් පියයුරක් සැත්කමකින් ඉවත් කරන්නට වීම හේතු කොට ගෙන ඇති වන මනුෂයත්වයේ සිහි එළැඹීමයි. එහිදී සැත්කමට පෙර තම පියයුරු ඡායාරූප ගත කරන ලෙස කොන්සියුලා කෙපෙෂ්ගෙන් ඉල්ලා සිටින අතර ඊට ඇය මුහුණ දෙන අවස්ථාව තරම් අනුවේදනීය මොහොතක් එවැනි තේමාවක් යටතේ වූ නිර්මාණයක පිහිටුවිය හැකිදැයි යන්න ද විමතියක් දනවයි. එතැන ඇති ලිංගික ජුගුප්සාවක් ඇත්තේම නැත. එතැන ඇත්තේ, ප්‍රේක්ෂකයාට තම මිනිස් ජීවිතය ගැනත් ඕලාරික ශරීරය ගැනත් තම හදවත සහ මොළය අවදි කැරවන අපූරු අවස්ථාවකි. නමුත් ඒ වෙනුවට, කොපියේ දී කොන්සියුලා සමගාමී චරිතය වූ කාමිනිය ඇයගේ නිරුවත් උඩුකය ප්‍රේක්ෂකයා වෙත නිකරුණේ දක්වන අවස්ථාවේ දී නම් ඇති වන්නේ තනිකරම ලිංගික ජුගුප්සාවකි. (එය එම චරිතය රඟ පෑ රිතිකා කොඩිතුවක්කුට තදින් දැනී ඇති බව ඉහත දැක් වූ ඇයගේ අදහස්වලින් හොඳින්ම ගම්‍ය වෙයි.)

තවද, එම සැත්කමෙන් පසුව, කොන්සියුලා හමුවන කෙපෙෂ් රෝහලේ දී ඇය වෙත දක්වන ප්‍රතිචාරය අනුව, ඔහු කෙසේවත් ලිංගිකාස්වාදය ම තම ජීවිතයේ එකම අරමුණ කැර ගත් මානසික රෝගියෙකු නොවන බව ඔප්පු කැර සිටින්නේ, එදා මෙන්ම අදත් ඔහු ඇය සමග සිටිනා බව කීමෙන් ය. මෙම මුල් නිර්මාණයේ අවසන් දර්ශනය කොපියේ අවසන් දර්ශනය මෙන් කෙටි චිත්‍රපටයක් වැනි උම්මත්තක විකාරයක් නොවේ. පන්සලේ පහන් වැටවල් ඔසවාගෙන මර හඬ දීගෙන තම සැමියාගේ අනියම් ස්ත්‍රිය හඹා යන විකල් ස්ත්‍රියක් හෝ ඒ අවස්ථාව ව්‍යාකූල මනසින් දරනා පිරිමින් හෝ වෙනුවට මෙහි ඇත්තේ කෙපෙෂ් සහ කොන්සියුලා අත්වැල් බැඳගෙන සුන්දර මුහුදු වෙරළක ඈතින් ඈතට ඇවිද යන ආකාරයයි. එවිට ම නාමාවලිය දැක්වෙන අතර එහි සටහන් වන්නේ, මෙම කතාන්දරය නවකතා ප්‍රබන්ධයක් ලෙස ලියූ ෆිලිප් රොත් ගේ නම සහ ප්‍රබන්ධයේ නම වූ,The Dying Aminal යන්නයි. ෆිලිප් රොත් එම නාමකරණයෙන් උදක්ම උත්සාහ කැර ඇත්තේ මිනිසා තුල සිටිනා තිරිසනා මෙවැනි කතාන්දර පසුබිමක මියැදෙමින් ඇති බව දක්වන්නටයි.

ඇත්තෙන්ම, එවැනි සිනමා සටහනක අවසානයකින් එවන් උත්තම අදහසක් කුළු ගැන්වෙන බව එය නැරඹූ විට ඔබට දැනේවි. දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළකෙපෙෂ් වැන්නකු මෙසේ පරමානන්දනීය ප්‍රේමයක් වෙත නතු වේ යැයි ප්‍රබන්ධයකින් නම් තහවුරු කිරීම මොනතරම් අසීරුද? (ප්‍රබන්ධය සහ හැබෑව පිළිබඳ ලිපිය – රිවිර ඉරිදා සංග්‍රහය- 15.05.2016)එහෙත්, ඉසබෙලා කොයිසෙට් නම් දක්ෂ නිර්මාණකාරිය ෆිලිප් රොත්ගේ කෘතියෙහි අතුරු තුළ සැඟැවී තිබූ සියල්ල නිවැරදි අයුරින්ම තිරයේ පිහිටුවා තිබීමෙන් ඇය ප්‍රබන්ධයකට විශ්වසනීයත්වයක් එක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහා පරිචයක් ඇත්තියකැයි සිතන්නට අප පොළඹවයි.

එහෙත්, නැති තිරිසන් බවක් මිනිසාට ආරෝපණය කැරවමින්, මෙම මුල් නිර්මාණයේ ඡායා සංකල්පය සහ චරිත ද සමහර සිදුවීම් ද කොපි කර සැදූ දුෂ්ට සිනමා කොපියෙන් නම් කිසිවකු හටත් සෙතක් අත් වේ යැයි කිව හැක්කේ කුමන පදනමක පිහිටාද? එවැන්නක් මාස්ටර්පීස් යැයි කීම ද එනයින් ප්‍රලාපයක්ම බවට පත් වනු ඇත.

-සේපාල් අමරසිංහ-

Let Her Cry පුර්ව ප්‍රචාරක පටය ”

Elegy පුර්ව ප්‍රචාරක පටය

Check Also

සංසාරයේ පතා ආ බැදිම වකුගඩු බද්ධයෙන් බද්ධ වු හැටි ..

වකුගඩු ආබාධයක් නිසා මරණාසන්න තත්ත්වයේ සිට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු ආධාරයෙන් ජීවිත වරම් ...